ජනතාව තවත් දුකේ නොදමා ජනපති හා රජය  ඉවත්ව යා යුතුයි – කාදිනල්තුමෝ කියති

109

රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් සිතා තවදුරටත් ඔවුන් පීඩාවට පත් නොකර ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඊයේ (05 දා) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළහ.

ජනතාව පතන සම්පූර්ණ ව්‍යුහාත්මක දේශපාලන වෙනස විශ්වසනීයත්වයෙන් හා විනිවිදභාවයෙන් සිදුකරලීමට සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගත හැකි බවත් පිළිගත හැකි විද්වත් කමිටුවක් හා විශේෂඥ උපදෙස් ලබාගත හැකි බවත් එතුමා ප්‍රකාශ කළහ.

අද රට තුළ පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වයට හේතුව රාජපක්ෂ පවුල තවමත් බලයේ රැඳී සිටීම බව ද උන්වහන්සේ සඳහන් කළහ.

අගරදගුරුතුමෝ මෙසේ ද කීහ.

අපේ ආදරණීය මාතෘභූමිය මින් පෙර කිසි කලක නොවූ විරූ ආර්ථික බංකොලොත් බවකට පත්වීම නිසා අප ජනතාවට විඳින්නට සිදුව ඇති අපමණ දුක්පීඩා තවදුරටත් ඉවසා දරාගත නොහැකි තත්ත්වයට උත්සන්නවී දවසින් දවස වචනයෙන් විස්තර කළ නොහැකි භයානක අඳුරු අගාධයට රට ගමන් කරමින් තිබේ. නව අගමැතිතුමාගේ පත්වීමත් සමඟ ජනතාව තුළ සුළු වශයෙන් හෝ ඇතිවූ අපේක්ෂාවන්ට ඉඩදෙමින් සාධනීය වෙනසක් ඇතිකිරීමට කාලයක් ලබාදීම අවශ්‍ය වූයෙන් ඊට බාධා නොකර ටික කලක් නිහඬව සිටීමට අප තීරණය කළද සිදුවන සියල්ල කෙරෙහි දැඩි විමසිල්ලෙන් යුතුව ඉවසීමෙන් බලා සිටියෙමු. එහෙත් දැන් උදාවී ඇති තත්ත්වය ඉදිරියේ ආගමික නායකයකු සහ වගකිවයුතු පුරවැසියකු ලෙස තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට තීරණය කළෙමි.

අප රට අද පත්වී ඇති මේ උග්‍ර අර්බුදකාරී අසහනකාරී තත්ත්වයට සෘජුවම වගකිවයුතු වන්නේ ජනාධිපතිතුමා සහ රජය පසුගිය වසර 2 1/2 ක කාලය තුළ ගන්නා ලද අදූරදර්ශි සහ අත්තනෝමතික තීරණ බව පිළිගත යුතුය. ජනතා ුමුදල් සහ රටේ දේපළ දූෂිත ලෙස සහ වංචා සහගත ලෙස කොල්ලකමින්ද ජනතාව සූරාකමින්ද ගෙන ගිය මුරණ්ඩු සහ වේදනාකාරී වැඩපිළිවෙළ මුලසිටම පිළිකුලෙන් යුතුව අපි හෙළා දුටුවෙමු. එහෙත් මේ වනතුරු ඒ දූෂණ සහ වංචා පිළිබඳව විනිවිදභාවයකින් සිදුවූ කිසිම විමර්ශනයක් හෝ වරදකරුවන්ට දඬුවම් දීමක් හෝ සිදුවී නැත. තවමත් අප දකින්නේ මූල්‍ය හෝ වේවා, ඉන්ධන, විදුලිය, සෞඛ්‍ය, කෘෂිකාර්මික අධ්‍යාපන හෝ වේවා මේ කිසිදු ගැටලුවක් විසඳීමට රජයට කිසිදු සැලැස්මක් හෝ ඉදිරි දැක්මක් නැති අතර ජනතාව සැතපුම් ගණන් දිගු පෝලිම් වල දින ගණන් දුක් විඳිමින් ගෙවන අන්ත අසරණ තත්ත්වයෙන් මුදා ගැනීමට රජය අසමත් බවයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment