ආණ්ඩුව පමණක් නොව රටම තිබෙන්නේ ගිනි කන්දක් උඩදැයි විටෙක සිතේ. ආණ්ඩුව ඇතුළු විපක්‍ෂවලට තිබෙන්නේ දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් ජනතාවට විශේෂයෙන් වරප්‍රසාද අහිමි පොදු ජනතාවට ඇත්තේ ජීවත්වීම පිළිබඳ උභතෝකෝටිකයයි. එයට වගකිවයුත්තන් ලෙස මේ රට පාලනය කළ අය මූලිකව වගකිවයුතු වෙති. එසේම ඒ ඒ පාලන යුග හා බැඳුණු ජනතා වගකීම්වල දුහුල් බවද එයට හේතු වූ බව නිසැකය. දේශපාලන විඥානයකින් තොර, තවත් ආකාරයකින් කියන්නේ නම් දේශපාලන සාක්‍ෂරතාව අතින් දිළිඳු ජන කොටස් රිසි රිසි අයුරින් රවටා ආණ්ඩු අටවා ගැනීමේ ඛේදවාචකයට ජනතාවද වගකිවයුතු වෙති. එහෙත් අපට තිබෙන ප්‍රශ්නය අදටත් ඒ අවිඥානයෙන් මුලා වූවන් සිටීමය. ජගත් බුහමනට පාත්‍රවූ සුවිශිෂ්ට කලාකරුවකු වන බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් වරක් ප්‍රකාශ කළේ ‘ඔබ අරගල කළ යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමට බවය’ එහි අරුත රටකට බුද්ධිමත් පුරවැසියන් වුවමනා බවය. බුද්ධිමතුන් හා වියතුන් නිහඬ වන්නේ නම් හොරුන් හා තක්කඩියන් රට පාලනය කරන බව ප්ලේබෝද අවධාරණය කර තිබේ.

අද මේ රට හොරුන්ගේ පාරාදීසයකි. තක්කඩියන්ගේ ගුහාවකි. හොරකම, බොරුව, වංචාව, දූෂණය රටට වසාගත් ගනඳුරකි. මේ වසරක අවසානයයි. තව දින කීපයකින් නත්තලත් ඉන්පසු නව වසරත් උදාවේ. නත්තල් සැමරිය හැකි කිතුනුවෝ කොපමණ සිටිත්ද? අලුත් අවුරුද්දට කිරිබතක් ඉදෙන නිවෙස් කොපමණ තිබේද? මර්සලින් ජයකොඩි පියතුමා සිහිපත් වේ. උන්වහන්සේ කීවේ ‘මගේ නත්තල දුගියා බත් කනදාය’ යනුවෙනි. අද සිටියේ නම් ‘මගෙ නත්තල වැට් බදු නැතිවනදාය’ කියා පවසනු ඇත. අද බතක් සමග එළවළු දෙකක් කෑම වේලකට එක්කර ගැනීමද හාස්කමක් වැන්න. සිනහවක් නැති සතුටක් නැති මුහුණු ඔබ දකිනු ඇත. දුකට හඬන අයගේ විලාප සුසුම් ඔබට වැටහෙනු ඇත. ජනාධිපතිවරයාගේ සිට ඇමැතිවරයා, මන්ත්‍රීවරයා දක්වාම පවසන්නේ ජනතාවට තිබෙන දුක, ප්‍රශ්න ආදිය පිළිබඳ අවබෝධයක් තිබෙන බවය. එය සැබෑවකි. එහෙත් ඒ බොහෝ දෙනෙකුට නැත්තේ මුදු කරුණා ගුණයයි. සීතල හදවතයි. සහනුකම්පාවයි. මහාකරුණාව මෙන්ම ප්‍රඥාව පිළිබඳ පරමාදර්ශය බුදුන් වහන්සේ බව බොදුනුවෝ පමණක් නොව කිතුනුවන් ඇතුළු බොහෝ ආගම්වල පිළිගනිති. මේ ජේසු ස්වාමිදරුවන්ගේ වදන්ය.

‘නුඹලා සොරකම් නොකළ යුතුය. වංචා නොකළ යුතුය. කෙනෙකු අනෙකකුට බොරු නොකිව යුතුය…’

‘නුඹලා අසල්වැසියාගෙන් අයුතු ලෙස වාසි නොගත යුතුය. ඔහුගෙන් කොල්ලකෑම කළ යුතු නැත. කම්කරුවාගේ වේතනය ඔහුට නොදී පසුදා උදේ වනතුරු එය නුඹලා ළඟ තබා නොගත යුතුය…’

‘දිළින්දාගේ පහත් තත්ත්වයත්, බලවතාගේ උසස් තත්ත්වයවත් නොසලකා සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතුය. යමෙකු මරණයට තීන්දු විය හැකි නඩුවකදී නුඹේ සාක්‍ෂියෙන් ඔහුගේ පණ බේරා ගැනීමට ඉඩ තිබේ නම් එය කියා පෑ යුතුය.

මේ බයිබලයෙන් උපුටා ගත් පාඨ කීපයකි. දුප්පතුන්ට නත්තල අහිමි කළ පාලකයන්ට මෙන්ම වෙළෙඳ මාෆියාවටද ස්වර්ගයේ දොරටු වැසෙන බව කිතුනුවෝ දනිති. එලෙස අයුතු ලෙස නිර්ධනීන් පෙළන අයටද යහපතක් නොවන බව බුද්ධ වචනයයි. ඇත්තටම ආගම් ඇදහීම මානසික තෘප්තිය හෝ විලාසිතාවක් නොවිය යුතු බව මේ බොහෝ ආගම්වල අවධාරණයකි.

කෙසේ හෝ මේ මොහොත වන විටත් සමාජ දේශපාලන මෙන්ම ආර්ථික වශයෙන්ද ඇත්තේ දැඩි ව්‍යාකූලත්වයකි. ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහී ගිය ආයතන ගණනාවක් ගැන විවිධ සංවාද ඇසෙයි. අතිශය විවාදිත සේවාවක් ලෙස සෞඛ්‍ය, විදුලිය, කෘෂිකර්ම, වෙළෙඳ ඉදිරියෙන්ම සිටියි. මේවාගේ නිල භාරකාරත්වය හිමි ඇමැතිවරුන්ට පමණක් නොව නිලධාරීන්ටද දැඩි විවේචන හා චෝදනා රැසකි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය අතිශය පරිහානිගත ආයතනයකි. නිදහස් සෞඛ්‍ය සේවයක් අද නැත. ජාවාරම්කාරයෝ එහි දූෂණ ක්‍රියාකාරකම්වල නිරතව සිටිති. සමහරු මේ වන විටත් බන්ධනාගාර ගතව සිටිති. රෝහල් ගණනාවක් ලෙඩින්ය. ඇත්තටම මේ රටක්ද? එය ජනතාවට ජීවත් වීමට සුදුසුද? වගකීමක් නැති පාලනයක, ජනතාව ගැන හැඟීමක් නැති නිලධාරීන්ගේ හිතුවක්කාරකම් මැද රටම හිරවී තිබෙන සෙයකි හොරකම, වංචාව ආයතනවල රජකරන බව ජනාධිපතිවරයාද දනී. සුළං විදුලි බලාගාර හා සූර්ය පැනල සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ වන්නේ ඒවායින් කොමිස් ලබාගත නොහැකි නිසා බව ජනාධිපතිවරයාම කියයි. ඒ විදුලිබලය සම්බන්ධයෙන් අනුර කුමාර විසින් පාර්ලිමේන්තුවේදී මතු කරන ලද ප්‍රශ්නයකට (අය-වැය විවාදයේදී) පිළිතුරු වශයෙනි. පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ කතාවල නම් අඩුවක් නැත. එහෙත් අද දැවෙන ප්‍රශ්නයක් වී තිබෙන විදුලි බිල අඩු කිරීමට ආණ්ඩුව අසමත්ය. ලබන ජනවාරියේ ඒ සඳහා සහනයක් දිය හැකි බව කියනු ඇසෙයි. ඒ අතරම විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමේ පනතක් ගැනත් එයට වෘත්තිය සංවිධාන විරුද්ධ බවත් වාර්තා වේ.

මගේ නත්තල වැට් බදු නැති වුණුදාය!

මේ සියල්ල යටපත් කරමින් මේ වන විටත් රටේත් දේශපාලන අංශවලත් ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ ආණ්ඩුවේ වැට් බද්දය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි ඡන්දවලින් ආණ්ඩුවේ වැට් බදු සංශෝධනය සම්මත කිරීමෙන් පසු එයට අත එසවූ එම පක්‍ෂයේ නායක මහින්ද වැට් බදු ගැන විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබේ. වසරකටත් අධික කලක් තම පක්‍ෂයේ ශක්තියෙන්, එහි මන්ත්‍රීවරුන්ගේ ඔළුගෙඩිවලින් රැකගත් ආණ්ඩුව සම්බන්ධයෙන් එහි නායක මහින්ද විසින් කරනු ලබන විග්‍රහය අප තේරුම් ගන්නේ කෙසේද? තම පක්‍ෂයේ ගැලවුම්කාරයා, ආරක්‍ෂකයා ලෙස මෙන්ම ජාතික ආරක්‍ෂාව තහවුරු කළ බවට පැසසුම් පවා ලබුණු ජනාධිපති රනිල් මේ වන විට වෙනස් ආකාරයකින් දැකීමේ සැබෑ හේතුව කුමක්ද?

ලබන වසරේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා මහජනයා ඉදිරියට යාමට ජනාධිපති රනිල් ද සූදානම් බව කියනු ඇසුණි. ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳ පොහොට්ටුව තුළ තිබෙන තරගය ගැනද මාධ්‍ය වාර්තා පළවී තිබේ. එබඳු පසුබිමක් තුළ මේ ආණ්ඩුවේ නායකයා හා ඔහුගේ ප්‍රතිපත්ති තම පක්‍ෂයට වඩා වෙනස් බවට නිවේදනයක් නිකුත් කිරීම සුළුවෙන් තැකිය නොහැකිය. එම නිවේදනයේ හරයත් විශ්ලේෂණයත් ගැඹුරින් සලකා බලද්දී එයින් සිදුකෙරෙන ඇඟවීම්වලට අමතරව චෝදනා කීපයක්ද ඇති බව පෙනේ.

‘මා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා වන්නේද අපට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනස් දේශපාලන පක්‍ෂයක නායකයෙකි.‘ පොහොට්ටුවේ නායක මහින්ද මෙබඳු සෘජු විග්‍රහයක් මෙයට පෙර ප්‍රකාශ කර නොමැත. එසේම අවසන්වූ සුගතදාස ක්‍රීඩාංගණ සංකීර්ණයේ පැවති පක්‍ෂ සම්මේලනයේදීත් මහින්ද වචන භාවිත කළේ ඉතා ශූර ලෙසය. මෙයට පෙර පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් පැසුවේ නම් ඔවුන්ගේ තේරීම වූයේ රනිල් බවය. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන හිටපු ඇමැතිවරුන් බොහෝ දෙනෙක් කතා කළේද රනිල්ගේ හපන්කම් ගැනය. එහෙත් එළඹෙන මැතිවරණ බිමේදී පොහොට්ටුවට ඔවුන්ගේම ආණ්ඩුවක් වුවමනා බව පුන පුනා කියා තිබේ. තම පක්‍ෂයේ හා තමාගේ බදු ප්‍රතිපත්තිය මෙම ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට වඩා වෙනස් වූවක් බවද මහින්ද කියයි. 2024 දේශපාලන සටන් බිමේ ප්‍රධාන මාතෘකාව මෙම වැට් බද්ද බව මහින්ද නිවැරදිව තේරුම් ගෙන සිටියි. අද ඔහු පවසන්නේ රටට ඔරොත්තු නොදෙන තරම් විදේශ ණය ලබාගෙන ඇත්තේ 2015 සිට 2019 කාලයේදී බව මහින්ද සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. එසේම එදා තමන්ට අත්වූ පරාජය රට විනාශයකට ඇදගෙන යාමේ ආරම්භය බවද මහින්දගේ ඇඟවීමය. එසේ වුවද මහින්ද පසුව මෛත්‍රිද තම පක්‍ෂයට එක් කරගත්තේය. මෛත්‍රී යහපාලනයේදී මහින්දව අගමැති පුටුවට ගෙන ආවේ ඒ වන විට එම ධුරය හෙබවූ රනිල් ඉවත් කරමින්ය. අද ඔහුගේ දේශපාලන පස මිතුරාවූ රනිල් ඔහුගේම පක්‍ෂයේ අභිමතය පරිදි ජනාධිපති ධුරයද හොබවයි. 2022 දී රාජපක්‍ෂ පාලනයට එරෙහිව නැඟුණු අරගලය නිසා ගෝඨාභයට ජනාධිපති ධුරයත් මහින්දට අගමැති ධුරය හා බොහෝ දෙනෙකුට ඇමැති ධුර අහිමි වී ගිය බවද මහින්ද දනී. එහෙත් ඒ පිළිබඳව පැහැදිලි දේශපාලන කියවීමක් මහින්දට හෝ නැත. ඔහු යළිත් බලය සඳහා සූදානම් වන්නේ නිවේදනය මගින් දේශපාලන පව් සෝදා ගත හැකිය යන මුලාවෙන් විය නොහැක. ඔහු තවදුරටත් මේ තමන්ට වඩා වෙනස් බව කියන රාජ්‍ය නායකයා හා ඒ පාලනය රැක ගත යුතු බවද පවසා තිබේ. එසේම ‘අප තවමත් ජීවත් වන්නේ 2015 ජනවාරියේ ඇතැම් ඡන්දදායකයන් අපරීක්‍ෂාකාරී ලෙස ගත් තීන්දුවල ප්‍රතිවිපාක තුළ බවද’ ඔහු සඳහන් කර තිබේ. තවත් එබඳු වැරැද්දක් මේ රටට දරාගත නොහැකි බවද ඔහුගේ අවධාරණයකි.

මෙසේ වංගු ගහමින්, වහෙන් ඔරෝ බසින් මහින්ද කියන්නේ 2015 දී මෙරටේ ජනතාව විසින් ගන්නා ලද තීන්දුව වැරදි බවය. එහෙත් සත්‍යය එයද? මෙරටේ ආර්ථිකය බිඳ වැටීම සම්බන්ධයෙන් රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ එවක සිටි නිලධාරීන් කීප දෙනෙකුද වග උත්තරකරුවන් බවට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද ඓතිහාසික නඩු තීන්දුවක්ද ඇත. එයට පෙර රාජපක්‍ෂ සහෝදරයකු වන ගෝඨභයගේ පාලන සමය පිළිබඳව මහින්දට විවේචනයක් නැද්ද? ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු ඔහුගේ බලතල වැඩිකළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ආපසු හැරවූ බවද ඔහුට අමතකය. එදා මහින්ද කඳවුරේ සිටි සියල්ලන්ම ඔහුගෙන් ඈත්වී සිටින අතර අද ඒ අයගෙන් ඔහු සමග සිටින්නේ ම.එ.පෙ. දිනේෂ් ගුණවර්ධන පමණි. ඔහු රනිල්ගේ අගමැතිය. පාර්ලිමේන්තුව ඇතුළේ විධායකය සුරකින්නේද ඔහුය. එහෙත් මහින්දගේ නිවේදනය කියවා බලන විට මතුවන එක් ප්‍රශ්නයක් වන්නේ ජනාධිපති රනිල්, අගමැති දිනේෂ් හා පොහොට්ටුවේ නායක මහින්ද ගෙවී ගිය වසරකටත් වැඩි කාලය තුළ සාධනීය දේශපාලන කථිකාවක නොසිටියෝද? යන්නය. සිය පක්‍ෂයට ලැබුණු ජනවරම අනුව ඔවුන් විසින් පත්කරන ලද අනුප්‍රාප්තිකව ජනාධිපතිවරයා මෙහෙයවීම ඔවුන්ගේ වගකීම විය යුතුය. එසේ නොකර ආඩාපාලි කතා කීම නිෂ්ඵලය. හදිසියේම නින්දෙන් අවදි වූවාක් මෙන් දැන් සිදුකරන විවේචන ජනතාව එලෙසම පිළිගනු ඇතැයි මහින්ද ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයෝ කල්පනා කරත්ද?

ජනාධිපති රනිල් විධායක බලය අභ්‍යාස කළ ආකාරය විවාදයට තුඩුදුන්නකි. නීතිඥ සාමූහිකය ඇතුළු සිවිල් සංවිධාන බොහෝ අවස්ථාවල ඒවා දැඩි ලෙස විවේචනය කර ඇත. ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිවූ ප්‍රශ්නකාරී තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණයට හානියක් බවට චෝදනා පවා නැඟුණි. පළාත් පාලන මැතිවරණ අහෝසි කළ ආකාරයද ශිෂ්ට නැත. ඒ හැම අවස්ථාවකම පොහොට්ටුව පය බුරුලෙන් තබා යන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. වෘත්තිකයන් වීදි බැස බදු සංශෝධනයක් සඳහා අරගල කරද්දී හික්මීයන් සේ කරබාගෙන සිටි මහින්දලා අද ඒ බදු බර ගැන කනස්සල්ලට පත්වීම වංක දේශපාලන ප්‍රතිචාරයකි. වෙනකක් තබා ක්‍රිකට් දූෂණ ගැන හඬක් නැඟූ රොෂාන් රණසිංහට ඇමැතිකම අහෝසි වීම ගැන හෝ මහින්ද මුනිවත රැක සිටියේය. ක්‍රිකට් රණ්ඩුවේදී ආණ්ඩුව සිටියේ ක්‍රිකට් පාලකයන් සමග බව රොෂාන් ද කියා තිබේ. එසේම ෂම්මි සිල්වා පාර්ශ්වය ක්‍රීඩා ඇමැති ලෙස නම් කළ කීප දෙනා අතර හරීන් මෙන්ම නාමල් ද සිටි බව අපට මතකය. ඇත්ත වශයෙන්ම හැටනව ලක්‍ෂයක ජනවරමට යුක්තියක් ඉටු නොකළ අසාර්ථක පාලනයේ වගඋත්තරකරුවෝ රාජපක්‍ෂවරුම වෙති. ගෝඨාභය තනි මතයට වැඩ කළේ යැයි විවේචනයක් තිබේ. එහෙත් මෙරටේ කෘෂිකර්මයේ කොඳු නාරටිය වැනි වී ගොවිතැන විනාශ වී ගියේ ඒ මුග්ධ තීන්දු තීරණ නිසාය. කුප්‍රකට පොහොර හොරකම මෙන්ම ගෝඨාභයගේ බදු සහන ගැන තිබෙන චෝදනා බරපතළය.

ගෝඨාභය බලයට ගෙනා වියත්මග ප්‍රබල සංවිධානයක් වුවද අද ඔවුන්ගේ බහුතරය රාජපක්‍ෂ කඳවුරේ පස මිතුරෝය. එදා සීනි බදු සහන දුන්නේ ඔවුන්ගේ ගජ මිතුරන්ටය. එබඳු දේශපාලන ප්‍රතිලාභ ගජමිතුරන්ට ලබාදුන් ඔව්හු අද බදු බර ගැන නහයෙන් අඬති. මේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කෙරෙන අණ පනත් සම්බන්ධයෙන් වුවද පොහොට්ටුවට මතයක් නැත. විදුලිබල මණ්ඩල පනත
ගැසට් කළ ආකාරය විපක්‍ෂයේ දැඩි විවේචනයට ලක් විය. ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) පෙන්වූයේ එම පනතේ තේරුම් ගත නොහැකි විකෘති ඉංග්‍රීසිද තිබෙන බවය. එම පනත කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ජ.ජ.බ. අනුර කුමාරගේ ද විවේචනයට ලක් වූවකි. පසුව එම පනතේ සදොස් තැන් හතළිස් දෙකක් තිබෙන බව ඇමැති කංචන ද කීවේය. මේ ප්‍රශ්නකාරී පනත ලබන ජනවාරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඉඩ ඇත. වෘත්තීය සංවිධාන මෙන්ම විදුලිබල ශක්ති ක්‍ෂේත්‍රය ගැන දැනුමක් ඇති අය විසින්ද මෙම පනත ගැන විවිධ අනතුරු ඇඟවීම් කරන ලැබ තිබේ. එපමණක් නොව යෝජිත මහා පරිමාණ විදුලි උත්පාදක සමාගම් ගැනද වාද විවාද සිදුවෙයි. මෙම විදුලි බල ආයතනය දූෂිත එකක් බවට කලක සිටම චෝදනා තිබේ. එහෙත් අදත් විදුලි මාෆියාවක් ගැන හැර වෙනත් කතාවක් අපට නොඇසෙයි.

මහින්දගේ විවේචන මෙන්ම දේශපාලන ප්‍රතිචාර අපට පෙනෙන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවීමක් ලෙසය. මැතිවරණයක් පවත්වා රට රැක ගැනීම මෙන්ම ඒ රටේ ජන ජීවිතවලට සුළු හෝ සහනයක් දීම මහින්දලාගේත් වගකීමකි. පොහොට්ටුවේ සම්මේලනයට ගෝඨාභය එක් නොවූවත් ඔහුගේ මුදල් ඇමැති ධුරය හෙබවූ බැසිල් මල්ලී කියා සිටියේ මෙය ආණ්ඩුවක් නොව පාණ්ඩුවක් බවය. මේ වන විට පොහොට්ටුව ජනාධිපති අපේක්‍ෂකයා තෝරන බැරෑරුම් කාර්යයට මැදිවී සිටිනු පෙනේ. තම පක්‍ෂයෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව සාගර ද කියයි. එසේම රනිල් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසා තිබේ. රවි කරුණානායක කියන්නේ ඔහු නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා බවය. වජිර අබේවර්ධනට අනුව රනිල් ලක්‍ෂ සියයකින් ඊළඟ ජනාධිපති වනු ඇත. වජිර විහිළුකාරයෙක්ද? නැතහොත් මෝඩයෙක්දැයි අපි නොදනිමු. එහෙත් මේ පක්‍ෂ දෙකට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින්නේ ස.ජ.බ. හා ජා.ජ.බ. බව සමීක්‍ෂණවලින්ද හෙළිවී තිබේ.

රනිල් මෙරටේ ආර්ථිකයේ ගැලවුම්කාරයා නොවන බවද පොහොට්ටුවේ නායක මහින්දගේ නිවේදනයේ යටි පෙළ බව නිසැකය. දැන් මහින්ද සූදානම් වන්නේ තම කඳවුර බේරා ගැනීමේ අවසන් සටනට විය හැකිය. එහෙත් නිම නොවූ ආර්ථික අර්බුදයක අමිහිරත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පටුවීමත් නිසා යම් දේශපාලන විඥානයක් සහිත ජනතාව යළිත් ඔවුන්ගේ බස් පිළිගනු ඇද්ද යන්න සැක සහිතය. උද්ධමනය ඉහළයෑමේ අනතුර සමග උදාවෙන 2024 තුළ බහුතර ජන කොටසකගේ ගෘහස්ථ ජීවිතය මෙන්ම ජීවන රටාවද අතිශය අර්බුදයක් කරා ඇදී යනු නොවැළැක්විය හැකිය. කුමක් වුවත් 2024 වසරේ මේ සියලු අර්බුද උත්සන්න වීමක් විනා ලිහිල් වීමක් සිදුනොවනු ඇත. ස.ජ.බ. හා ජා.ජ.බ. විසින් ජනතාවට ආමන්ත්‍රණය කළ යුත්තේ ඒ සියල්ලට උචිත සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් සමගය. පවතින දේශපාලන පක්‍ෂවලට පමණක් නොව ස.ජ.බ. වුවද ජා.ජ.බය ද හිස එසවීමට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැක.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment