ජනාධිපතිවරණය කල් දැමීමට ජනපති වක්‍රාකාරව විවිධ උපක්‍රම භාවිතා කරනවා – නිරෝෂන් පෙරේරා (සජබ)

34

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට තිබෙන කාල වකවානුවක බවත් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් ආණ්ඩුව විවිධ නීති තර්ක ගෙනැවිත් ජනමත විචාරණයත්, ජනාධිපතිවරණයත් නොතියා සිටීමේ උත්සාහයක නිරතවන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් සමගි ජනබලවේගයේ විදේශ කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.

නිරෝෂන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (15 දා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් පෙරේරා මහතා මෙසේද පැවැසීය.

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් කියනවා ජනාධිපතිවරණය නියමිත කාල සීමාවේදී පවත්වනවා කියලා. ජනාධිපති මාධ්‍ය අංශය කුමන ප්‍රකාශ නිකුත් කළත් වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණය කල් දාන්න කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ජනාධිපතිවරණය කල් දාන්න ජනාධිපතිවරයා විවිධ උපක්‍රම භාවිතා කර ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වා ඊටපසුව මහ මැතිවරණයේ ප්‍රතිඵලය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරග කරන්න සුදානම් වන බවට ආරංචි ලැබෙමින් තිබෙනවා.

මේ අතර විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න ඕන කියලා පාර්ශ්ව රැසක් ප්‍රකාශ කරනවා. ඔවුන් කියනවා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා කියලා. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න යන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට තිබෙන කාල වකවානුවක. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ඕන නම් ජනමත විචාරණයක් තියන්න ඕන. ජනමත විචාරණය නඩුවක පටලවලා විධායක ජනාධිපති ක්‍රමය ගැන නීති තර්ක ගෙනල්ලා ජනමත විචාරණයත්, ජනාධිපතිවරණයත් නොතියා ඉන්න ආණ්ඩුව කටයුතු කරන බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්ද ලක්ෂ 100 ක් ගන්න පුලුවන් කියලා එක්සත් ජාතික පක්ෂය කියනවා. නමුත් ජනාධිපතිවරණය වෙනුවෙන් ජනතා රැස්වීමක් පවත්වන්නට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වෙලා තිබෙනවා. 2020 මහමැතිවරණයේ දී අන්ත පරාජයක් ලැබු එක්සත් ජාතික පක්ෂයට ප්‍රාදේශීය සභාවකට තරග කරන්න මැතිවරණ යාන්ත්‍රණයක් නෑ.

වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ජනතාව විශාල පීඩනයකට පත් කරලා. බදු වැඩි කරලා , ජීවන බර වැඩි කරලා, කර්මාන්ත කරුවන් සමතලා කරලා, අපනයනය කඩා වට්ටලා, ඇඟලුම් කර්මාන්තය කඩා වට්ටලා, විදුලිබිල වැඩිකරලා, ඉන්ධන මිල වැඩිකරලා තිබෙන මොහොතක වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී ලක්ෂ 100 ක් ඡන්ද ගන්නවා කියලා කියන්නේ මොළේ අමාරුවක් තිබෙන පුද්ගලයින්.

ජනාධිපතිවරයාගේ මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයකරගැනීමට තිබෙන බදු ප්‍රමාණය ට්‍රිලියනයක් පමණ වෙනවා. ඒ මුදල් ප්‍රමාණය අයකර ගන්නේ නැතිව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවලට අයකරන බද්ද සියයට 18 කින් වැඩි කරලා තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය කියනවා වැට් බද්ද සියයට 15 දක්වා අඩුකරනවා කියලා. මෙයින් පෙනී යන්නේ රජයට කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් නැති බවයි. මේ හේතුවෙන් රටේ තිබෙන කර්මාන්තශාලා දැඩි අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නිසා රටට පැමිණෙන ආදායම් මාර්ග අවහිරවෙනවා. කඩාගෙන වැටුණ ව්‍යාපාර නගා සිටුවන්න, අලුත් ආදායම් මාර්ග ඇතිකරන්න රජයට කිසිදු වැඩපිළිවෙළක් නෑ. රජයේ එකම පරමාර්ථය සාමාන්‍ය ජනතාවට බදු ගහලා රට තව තවත් බංකොලොත් කිරිමයි.

රාජපක්ෂලා විනාශ කරපු බංකොලොත් කරපු රට යළි ගොඩගන්න ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි. ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙන්නේ සමගි ජනබලවේගයට පමණයි.

සමගි ජනබලවේගය ආරම්භ කළ දවසේ සිට ශක්තිමත් සම්බන්ධතාවයක් විදෙස් රටවල් සමග පැවැත්වුවා. රටේ ප්‍රශ්න විසඳන විදේශ ප්‍රතිපත්තියක් සමගි ජනබලවේගය ක්‍රියාත්මක කරන්නේ. ඉන්දියාන යනු ලෝකයේ දියුණුතම රටවල් අතරින් එකක්. ආර්ථික වශයෙන් බලවත් වන රටක් ලෙස ඉන්දියාව හඳුන්වා දෙන්න පුලුවන්. එනිසා ඉන්දියාව සමග ශ්‍රී ලංකාව ගණුදෙනු කළ යුතුයි. ඉන්දියාව සමග ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රයෝජනයක් වන ආකාරයේ කටයුතු සිදුකළ යුතුයි. කිසි වෙලාවක රට බාල්දු වන විදේශ ප්‍රතිපත්තියක් සමගි ජනබලවේගය අනුගමනය කරන්නේ නෑ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත නිර්මාණය කරද්දි සමාජ මාධ්‍යවල තිබෙන කරුණු හොඳින් අධ්‍යනය කරලා ඒවා ක්‍රියාත්මක කරන්න පුලුවන් ආකාරයේ නීති රිති සැකසිය යුතුයි. රජයකට සමාජ මාධ්‍ය ජාලාවල පාලනය කරන්න පුලුවන් දේවලුත් තිබෙනවා. පාලන කරන්න නොහැකි දේවලුත් තිබෙනවා. ශේෂ්ඨාධිකරණය විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනනේ සංශෝධනය විය යුතු කරනු කිහිපයක් පෙන්වා දුන්නා. නමුත් රජය කඩිමුඩියේ මෙම පනත සම්මත කරගත්තා. රජය මේ පනත හදිසියේ සම්මත කර ගත්තේ ආණ්ඩුවට එන විරෝධය මර්දනය කර ගන්න.

නැවත මේ පනත සංශෝධනය කරන්න කටයුතු කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. නිසි අධ්‍යනයක් නැතුව තමයි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්මත කර තිබෙන්නේ. මෙවැනි මර්දනකාරි පනත්වලින් ජනතාවගේ කට වහන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. ඒ වගේම අද වනවිට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අනුව ජාත්‍යන්තර සමාගම් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා රජයට තේරුම් ගිහින් තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment