ලස්සන වචනවලට – සටන්පාඨවලට රැවටුණොත් රටම අඳුරට යනවා – ඉමිතියාස් බාකිර් මාකාර්

38

විදේශ ප්‍රතිපත්තිය ඉබාගාතේ යනවා

ඡන්ද කල්දාන කොට ප්‍රශ්න තව මතුවෙනවා

ජාත්‍යන්තරයට ණය ගෙවන විට තව බර දැනේවි

“ලස්සන වචනවලට, සටන්පාඨ වලට රැවටිලා අපි වල්මත් වුණොත් තවදුරටත් රට අඳුරටයි වැටෙන්නේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පැවසීය.

මහනුවර මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ ඒ මහතා මධ්‍ය හමුවේ එසේ කියා සිටියේය.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

මං මගේ දේශපාලන ජීවිතයත්, මගේ පෞද්ගලික ජීවිතයත් අලලා මගේ ස්වයං චරිතාපදානය මාර්තු මාසයේ 05 වැනිදා එළිදක්වනවා. ඒ එළිදක්වන්න පෙර මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය ලබාගන්නයි මේ ආවේ.

‘ඇත්තටම මේ රට හැම පැත්තෙන්ම අවුලකට පත්වෙලයි තියෙන්නේ. ඒකත් ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන්. විදේශ ප්‍රතිපත්ති අතින් ගත්ත සමහර පියවරවල් රට අවුල් කරලා තියෙනවා. ආර්ථික ප්‍රතිපත්තිය රට අවුල් කරලා තියෙනවා. අපේ රටේ තියෙන අස්ථාවරභාවය, දුර්වලතාවය ප්‍රයෝජනයට ගන්න නොයෙකුත් බාහිර බලවේග කටයුතු කරමින් තිබෙනවා. අපිට මතුපිටින් නොපෙනුනාට මේවා විග්‍රහ කරන කොට අපට තේරුම් ගන්න පුළුවන්. අපි ප්‍රවේශම් විය යුතුයි.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ දාන තීන්දු ආණ්ඩුව ගත්තොත් අපේ රටට මොනවද වෙන්නේ. අපේ රට තවදුරටත් හුදෙකලා වෙනවා. ජාත්‍යන්තර තලයේදීම සැප්තැම්බර් මාසයේ මානව අයිතිවාසිකම් කොමිසමේදී අපිට ප්‍රශ්නවලට මුහුණදෙන්න තියෙනවා.

“දැන් ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරලා තිබුණා රතු මුහුදේ ගිහිල්ලා එක පාර්ශ්වයකට සහයෝගය දෙන තීන්දුවක්. මොකක්ද මේ කරන්නේ. මානව හිමිකම් කොමිසමේ දී අපිට සාම්ප්‍රදායිකව උදව් කරපු මැද පෙරදිග රටවල් අතරේ අපේ විශ්වාසය අපි බිඳ ගන්නවා. අනාගතයේදී ඇතිවිය හැකි ලෝක යුද්ධයකදී අපිව හවුල්කරුවෙක් කරලා අපේ මිනිසුන්ගේ ජීවිත අනතුරේ දානවා.

“වෙනත් බාහිර බලවේගවල න්‍යායපත්‍රවලට අවනත වෙලා අපේ විදේශ ප්‍රතිපත්තිය ඉබාගාතේ යනවා. මේක තුළින් රටේ අනාගතයයි අඳුරේ දාන්නේ. අපේ ප්‍රශ්න තව තවත් වනකර ගන්නවා මැතිවරණ කල්දැමීම තුළින්.

කොවිඩ් වලින් පස්සේ රටවල් 80 ගාණකට විතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කළා. අපි මොනවද කරගත්තේ. අපි ඒ වෙලාවේ ජාත්‍යන්තර අරමුදලට යෑම ප්‍රතික්ෂේප කළා. මහා වගකිවයුත්තන් කතා කරපු විදිහ මතකනේ. කවදාවත් අපි යන්නේ නැහැ කිව්වා. ආඩම්බරෙන් කතා කළේ. ඒවායේ විපාක අපි විඳිනවා. අද ඒ ගොල්ලො ගාව තියෙන කොන්දේසිවලට නතුවෙලා ආධාර ගන්න බලාපොරොත්තු වෙනවා. අපේ ණය ගෙවීම් තාමත් පටන් අරන් නැහැ. ඒවා ගෙවන්න පටන් ගත්තාම ඒවායේ බර තවත් ජනතාවට වැඩියෙන් දැනේවි. වැරදි ආර්ථික ප්‍රතිපත්තිය, වැරදි විදේශ ප්‍රතිපත්තිය, ප්‍රජතාන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය තදින් බලපා තිබෙනවා. බලය සඳහා, පැවැත්ම සඳහා අදූරදර්ශී විදියට කටයුතු කරනවා. ජනවරමක් නැති ජනාධිපතිවරයෙක්. ජනවරම අහිමි වෙච්ච ආණ්ඩුව වහාම ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ විශ්වාසය දිනාගෙන අපි අලුත් ගමනක් යා යුතුව තිබෙනවා.

“අද බංග්ලාදේශය, වියට්නාමය වගේ රටවල් අපිට පිටුපසින් සිටි රටවල්. අපට ආපු ආයෝජන ඔක්කොම පැහැරගෙන තිබෙනවා. මොනවද මේ වෙන්නේ. රටක් හැටියට අපි අවාසනාවන්ත තත්ත්වයට පත්වෙලා තියෙනවා. ලෝකයේ සාර්ථක රටවල් ගිය ප්‍රතිපත්ති අපි තේරුම් ගන්න ඕනෑ. ඒ මගට අපේ රට ප්‍රවේශකරන්නට ඕන. එහෙම නැතුව ලෝකයේ ආසාර්ථක වෙච්ච දේශපාලන ප්‍රතිපත්තිවලට, ලස්සන වචනවලට, ලස්සන සටන්පාඨවලට රැවටිලා අපි වල්මත් වුණොත් රට තවත් අඳුරටයි වැටෙන්නේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment