ආයතන අටක් පිරමීඩ ජාවාරමේ – නඩු පවරන්නැයි මහ බැංකුව නීතිපතිගෙන් ඉල්ලයි

559

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතන අටක් (08ක්) තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට හෝ පවත්වාගෙන ගොස් ඇති බවට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙසේ නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 (ඇ) වගන්තිය යටතේ අපරාධමය නඩු පැවරීමට සලකා බැලීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.

මෙසේ තහනම් ව්‍යාපාර පවත්වාගෙන යන බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති සමාගම් හා ආයතන වන්නේ Tiens Lanka Health care (Pvt) Ltd, Best Life International (Pvt) Ltd, Global Lifestyle Lanka (Pvt) Ltd, Mark – wo International (Pvt) Ltd, Fast 3Cycle International (Pvt) Ltd (F3C), Sport chain App, Sports chain ZS Society Sri Lanka සහ OnmaxDT යන ඒවා බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.

දැනට පිරමීඩ යෝජනාක්‍රම පවත්වාගෙන යන බවට හෝ පවත්වාගෙන ගිය බවට මහ බැංකුව විසින් තීරණය කර ඇති මෙම ආයතන සමග ශ්‍රී ලංකා මහ බැංකුව යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්‍ෂේප කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම්දී සිටී.

යම් තැනැත්තෙකු 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තියේ විධිවිධාන කඩකරන ආකාරයේ යෝජනා ක්‍රම කෙලින්ම හෝ අන්‍යාකාරයෙන් ආරම්භ කිරීම, අර්පණය කිරීම (යෝජනා කිරීම), ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම, පැවැත්වීම, එවැනි යෝජනාක්‍රම සඳහා මුදල් සැපයීම හෝ එවැනි යෝජනාක්‍රම කළමනාකරණය කිරීම හෝ විධාන කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව මහජනතාවට අනතුරු අඟවා සිටී.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment