කේන්දරයක අපල යෙදෙන්නේ කෙලෙසටද?

1237

කේන්ද්‍රයක අපල යෙදිය හැකි ආකාර බොහෝය. අප ජන්මපත්‍රයක් පරීක්ෂා කරවා ගැනීමට ජ්‍යොතිෂවේදියෙකු වෙත යන්නේ යම් අපලයක් ඇත්දැයි දැන ගැනීමටය. ඵල නැතිවීම අපලයයි. කෙසේ වෙතත් සපලය මෙන් නොව අපලය නම් අප හට හොඳාකාරවම දැනේ. අපල යනු අප පෙර ආත්මවලදී සිදු කළ අකුසල කර්මයනට අනුරූපව මෙලොවදී ලබන විපාකයන්ය. ඒරාෂ්ඨක අපල, මාරක අපල ආදී ලෙස ජන්ම කේන්ද්‍රය තුළින් අපලය මතුවන අවස්ථා බොහෝය. එලෙස අපල යෙදෙන ආකාර මෙසේය.

  1. ජන්ම කේන්ද්‍රයේ අටවැන්න අධිපතියාගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබන කාලය
  2. මාරක ස්ථානය වන 7 වැන්න හෝ ද්විතික මාරක ස්ථානය වන 2 වැන්න අධිපති ග්‍රහයෙකුගේ දශාවක් ලබන කාලය
  3. ජන්ම කේන්ද්‍රයේ 6, 8, 12 යන දුෂ්ට ස්ථාන අධිපති ග්‍රහයෙකුගේ දශාවක් හෝ එම දුෂ්ට ස්ථානයක සිටින ග්‍රහයෙකුගේ දශාවක් ලබන කාලය.
  4. ශනි ගෝචරය තුළින් ඇති වන්නාවූ ජන්ම, ලග්න, අෂ්ටම හා චන්ද්‍රාෂ්ටම ආදී ඒරාෂ්ඨක කාලසීමාවක් ලබා තිබෙන කාලය.
  5. නෛසර්ගික පාපියෙකුගේ දශාවක් ලබා තිබෙන කාලය.
  6. දශාධිපති සිටි රාශිය හරහා පාපියෙකු ගමන් කරන කාලය.
  7. විපත්, ප්‍රත්‍යාරී, වධ වැනි නැකතක් අධිපතියෙකුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබන කාලය.
  8. 22 වන දෙර්කානාධිපති ග්‍රහයාගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් හෝ ලබන කාලය.
  9. සඳු සිටි රාශිය කෙරෙන් 6, 8, 12 යන රාශියක සිටින ග්‍රහයාගේ දශා කාලය.
  10. බාධක ස්ථානයේ සිටින ග්‍රහයාගේ දශා කාලය.
  11. බාධක රාශිය අධිපති ග්‍රහයාගේ දශා කාලය.
  12. ද්විතික මාරක ස්ථානයේ හෝ මාරක ස්ථානයේ සිටින ග්‍රහයෙකුගේ දශා කාලය.
  13. සඳු සිටි රාශිය කෙරෙන් 6, 8, 12 යන රාශියක යම් ග්‍රහයෙකු ගෝචර වෙතොත් එම ග්‍රහයාගේ දශාවක් ලබන කාලය.
  14. ලග්නාධිපති පීඩා වී දුබලව ගමන් කරන කාලය,
  15. කේන්ද්‍ර හිමියාගේ පියාගේ කේන්ද්‍රයේ 5 වැන්න හෙවත් පුත්‍ර ස්ථානය හරහා පාපියෙකු ගෝචර වන කාලය.
  16. දශාධිපති ග්‍රහයා ග්‍රහ යුද්ධයකින් පැරදී සිටින අවස්ථාව.
  17. 22 වන දෙර්කානාධිපති ග්‍රහයාට අයත් රාශියක් හරහා ශනි ගෝචර වන කාලය.
  18. දශාධිපතිට අයත් රාශිය හරහා ශනි ගෝචර වන කාලය.
  19. කේන්ද්‍රයක 6, 8, 12 අධිපතියෙකුගේ නැකතක සිටින ග්‍රහයාගේ දශා කාලය, එම ග්‍රහයාට ලැබෙන ශුභ අශුභ දෘෂ්ටි මත අපලකාරී ස්වභාවය අඩු වැඩි වේ.
  20. සෙනසුරු 8 වැන්නේ ගමන් කරන විට දශාව සඳුට අයත් වීම.
  21. රවි මහ දශාවක ශනි 10 වැන්නේ ගමන් කිරීම.
  22. ශනි 7 වැන්නේ ගෝචර වනවිට දශාව කුජට අයත් වීම.

ඉහත අවසානයට සඳහන් අපල තුන ස්ලෝකයකින් මෙසේ දක්වා ඇත.

අෂ්ට වන්දේ දශා චන්දෝ
දශා මන්දේ දිවාකරෝ
සප්ත මන්දේ මහී පුත්‍රෝ
ඒවං ප්‍රාණ විනාශනං

ඉහත සඳහන් අපලකාරී පිහිටීම්වලට අතිරේකව යෙදෙන තවත් අපල වර්ග කිහිපයකි. ඒ මෙසේය.

  1. කර්ම ගුරු අපලය – ගෝචරයේදී උප්පත්ති චන්ද්‍රයාගෙන් 1, 4, 10 ස්ථානයක ගුරු ග්‍රහයා ගමන් කිරීම. මෙය ද ඒරාෂ්ඨක අවස්ථාවකි. මෙහි කාලසීමාව වසරකි.
  2. පාඩක අපලය – ජන්ම කේන්ද්‍රයේ රවි සිටින රාශිය මතට පාපී දශාධිපතියා හෝ අතුරු දශාධිපතියා ගෝචර වීම.
  3. භේදක අපලය – යම් ග්‍රහයෙකුගේ මහා දශාවක් ලබා තිබියදී එම ග්‍රහයාගේ සතුරු ග්‍රහයෙකුගේ අතුරු දශාවක් ලැබීම.
  4. ජිද්‍රක අපලය – යම් පාප ග්‍රහයෙකුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා තිබියදී එම පාප ග්‍රහයා ගෝචරයෙන් ලග්නය, 4, 7, 10 යන කේන්ද්‍ර ස්ථානවල ගමන් කරන කාලය. එසේ ගෝචර වීමේදී තවත් පාප ග්‍රහයෙක් එම රාශියේ සිටියේ නම් අපලය දරුණුය. උක්ත ගෝචරය චන්ද්‍ර ලග්නයෙන් සතර කේන්ද්‍රයේ වුව ද බලපායි.
  5. වේද අපලය – යම් දශාවක් ලබා තිබියදී එම දශා අධිපතියාට අයත් රාශිය තුළ පාප ග්‍රහයෙකු ගෝචර වීම.

තවද ගර්ග සෘෂිවරයා ඒරාෂ්ඨක අපල කාලය කොටස් 7 කට බෙදා දක්වා ඇත. එසේම ඒරාෂ්ඨක කාලය තුළ අශුභ මෙන්ම ශුභද ලැබිය හැකි බව විග්‍රහ කරයි. එම බෙදීම මෙසේය.

  1. අජ වාහන ඒරාෂ්ඨකය
  2. කැක වාහන ඒරාෂ්ඨකය
  3. තුරඟ වාහන ඒරාෂ්ඨකය
  4. හස්කි වාහන ඒරාෂ්ඨකය
  5. හංස වාහන ඒරාෂ්ඨකය
  6. මහීෂ වාහන ඒරාෂ්ඨකය
  7. වෘෂභ වාහන ඒරාෂ්ඨකය

මෙම ඒරාෂ්ඨක අපලය බෙදී යන සප්ත ආකාරය හා යෙදෙන අයුරු මෙසේය. මෙහිදී පදනම වී ඇත්තේ උපතේදී සෙනසුරු සිටි නැකතයි. එම සෙනසුරු සිටි නැකතේ සිට ගණන් කළ විට ලැබෙන අංක අනුව උක්ත බෙදීම සිදුකර ඇත.

  1. එලෙස සෙනසුරු සිටි නැකතේ සිට ගණන් කළ විට 1, 2, 3, 8, 9, 10, 11, 12 හෝ 13 නම් අජ වාහන ඒරාෂ්ඨකයයි.
  2. 4, 5, 6, 7 නම් තුරඟ වාහන ඒරාෂ්ඨකයයි.
  3. 14, 15, 16, 17 හෝ 18 නම් හස්ති වාහන ඒරාෂ්ඨකයයි.
  4. 19 හෝ 20 නම් මහිෂ වාහන ඒරාෂ්ඨකයයි.
  5. 21, 22, 23 නම් හංස වාහන ඒරාෂ්ඨකයයි.
  6. 24 හෝ 25 නම් වෘෂභ වාහන ඒරාෂ්ඨකයයි.
  7. 26 හෝ 27 නම් කැක වාහන ඒරාෂ්ඨකයයි.

ඉහත සඳහන් ඒරාෂ්ඨක අතුරින් තුරඟ, හස්ති,

හංස හා වෘෂභ යන ඒරාෂ්ඨක සතර ශුභය. ඉතිරි ඒරාෂ්ඨක වන අජ, කැක, මහීෂ යන ඒරාෂ්ඨක තුන අශුභය. ගර්ග සෘෂිවරයා මෙම ඒරාෂ්ඨක කාලය වන, වසර 7 1/2 පමණ කාලය වර්ෂ, මාස දින ලෙස තවදුරටත් බෙදා ශුභාශුභ තත්ත්වය පහදා ඇත. ඒ සඳහා යොදා ගෙන ඇත්තේ ජන්ම ඒරාෂ්ඨක කාලයයි. ඒ මෙසේය.

  1. සෙනසුරු ග්‍රහයා සඳු සිටි රාශිය කෙරෙන් 12 වැන්නට පැමිණි මාස 03 දින 10 ක කාලය අශුභය.
  2. ඉන්පසු අවුරුදු 01 මාස 01 දින 10 ක් ශුභය. එය විජය ලෙස හඳුන්වා ඇත.
  3. ඉන්පසු අවුරුදු 01 මාස 08 ක් අශුභය.
  4. ඊට පසු අවුරුදු 01 මාස 04 ක් ශුභය. එය ධන ශ්‍රී ලෙස හඳුන්වා ඇත.
  5. ඉන්පසු අවුරුදු 01 මාස 01 දින 10 ක් අශුභය.
  6. ඊට පසු එළඹෙන මාස 06 දින 20 ශුභය. එම කාලසීමාව රාජ ශ්‍රී ලෙස හඳුන්වා ඇත.
  7. ඊළඟ මාස 06 දින 20 අශුභය.
  8. ඊට පසු එළඹෙන මාස 06 දින 20 ශුභය. එම කාලසීමාව සැප ශ්‍රී ලෙස හඳුන්වා ඇත.
  9. අවසන් මාස 06 අශුභය.

ජන්ම ඒරාෂ්ඨක අපල කාලය වසර 7 1/2 යයි කීවද එය ඊට වඩා තරමක් වැඩිය. ඉහත සඳහන් කාලවකවානු එකතුව තුළින් එය පැහැදිලි වේ.

අපලය විවිධ ස්වරූපයෙන් අප කරා පැමිණේ. එය එසේ වුව ද හැකිතාක් උපරිමයෙන් ධාර්මිකව කුසල කර්මවල යෙදීම, ඒ ඒ අපලවලට අදාළ වත්පිළිවෙත් ශාන්ති කර්ම පුද පූජා ආදිය ක්‍රමවත්ව භක්තිමත්ව නිවැරදිව සිදුකිරීම ආදිය තුළින් අපලය වළකාලීම හෝ අපලයේ දැඩි බව අඩුකර ගැනීම කළ හැක. එසේ සිදු කිරීමට අප අපලය සම්බන්ධව නිවැරදිව දැනුවත්ව සිටිය යුතුය. ඒ සඳහා දක්ෂ උගත් ජ්‍යොතිෂවේදියකුගේ උපදෙස් අත්‍යාවශ්‍යය.

කේන්දරයක අපල යෙදෙන්නේ කෙලෙසටද?

ජ්‍යොතිෂවේදී, දේශබන්දු,
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment