චන්ද්‍රග්‍රහණයෙන් පසු වියළි සීත සමයක්

5189

2023 වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය 2023 ඔක්තෝම්බර් මස 28වන පොහොය දින අලුයම 1.45 මධ්‍ය කොට සිදු වේ. මෙය අර්ධ චන්ද්‍ර ග්‍රහණයකි. ජ්‍යොතිෂ්‍ය තුළ සඳුගෙන් විකාශය වෙන කරුණු රැසකි. පුද්ගල මානසික තත්ත්වය, ජල ධාතුවේ ස්වභාවය, වඩදිය බාදිය, රටක නම් අග්‍රාමාත්‍ය තනතුර, නිවසක නම් මව, රටක නම් මාතෘ පාර්ශ්වය ලෙස සැලකිය හැක. මෙම සියල්ල වන්නේ මීන රාශියේයි. මීන යනු මාළුවායි. සඳු වැසෙන්නේ මාළුවාට අයිති නිවසේදීයි. එහෙත් අර්ධ වශයෙනි.

එනම් ඉදිරියේදී අර්ධ වශයෙන් වැසි ලැබීම අඩුවනු ඇත. ඒ අනුව ඉදිරි කාලය තරමක සීතල මිශ්‍ර වියළි කාලගුණයක් නිර්මාණය විය හැක. මීන රාශිය අයිතිවන්නේ ආකාශ ගණයටයි. එනම් ජලය අඩක් අහසට ඇදෙනු ඇත. නැතහොත් අහස් ජලය අඩක් සීමාවනු ඇත.

මිනිස් මනස ද යම් ප්‍රමාණයකට වංචල වන කාලයකි. ආර්ථිකය, සමාජය හා ඉතිරිකිරීම් වලට සුළු වශයෙන් හානි පැමිණේ. ලෝක මට්ටමෙන් ගත් විට මීන යනු දොළොස්වැන්නයි. ලෝකයේ අඩක් මිනිසුන්ගේ හදවතේ තෙතෙමනය වැසීයන කාලයකි. ලෝක ආහාර පීඩාවත්, ඉන්ධන පීඩාවත්, ජල පීඩාවත් විශාල වශයෙන් ළමුන් කාන්තාවන්ට පීඩා ඇසීමට සිදුවන කාලයකි.

මෙරට සිටින සෑම දෙනාම ඉතා අරපරිස්සමෙන් කටයුතු කළයුතු කාලයකි. මානසික තත්ත්වය පාලනය කරගත යුතුයි. ආර්ථිකය, ආහාර පරිභෝජනය බුද්ධිමත්ව කළ යුතුයි.

කාන්තාවන්ට, දැරියන්ට යම් අපල උදාවන කාලයකි. ඔවුන්ගේ අධ්‍යාපනයට ද බාධා එල්ල වේ.

තවද සංචාරක කර්මාන්තයට ද යම් යම් අපල පීඩා නිර්මාණය වෙයි. මෙරට අග්‍රාමාත්‍ය හෝ රටේ ප්‍රධාන පෙළේ ආයතන වල දෙවන පෙළ එනම් සාමාන්‍යාධිකාරී, අධ්‍යක්‍ෂ ජනරාල්, උප සභාපති වැනි අයට එතරම් ශුභ නැත. ඔවුන් පිළිබඳව යම් යම් මත වේගයෙන් පැතිරේ.

චන්ද්‍රග්‍රහණයේ පීඩාවෙන් මිදීමට වද කහ ගල ගා ගෙන එයට සබ්බ පාපස්ස අකරණං ගාථාවෙන් 108 වරක් ජපකර හිස, පපුව, කලව, දණහිස්, පතුල් යන ස්ථානවල නැතහොත් ශරීරයේම කහ ගල්වා ස්නානය කිරීම යෝග්‍යයි.

තවද කාන්තාවන් 07දෙනකුට බත්, යෝගට්, වතුර වැනි දේ දන් දී පත්තිනි මෑණියන්ට පින් දීම ඉතා ශුභයි.

තවද සඳුදා දින 03ක් උදේ 6-7 අතර හෝ දහවල් 1-2 අතර බත්, පොරි වැනි දේ මාළුන්ට කෑමට දැමීම දෝස හරණය වීමට හේතු වනු ඇත.

චන්ද්‍රග්‍රහණය නිසා ලග්න වලට ද සුළු බලපෑම් සිදු වේ.

මේෂ

මානසික ඒකග්‍රාතාව අහිමි වේ. ජල අනතුරු වලින් ප්‍රවේශම් වන්න. පාද ආශ්‍රිත, ඇස් ආශ්‍රිත රෝග උදාවිය හැක.

වෘෂභ

තම ආර්ථික කටයුතු පිළිබඳව සැලකිලිමත් වන්න. විශේෂයෙන් හෝටල්, හෝ ජලය ආශ්‍රිත ව්‍යාපාර නැතහොත් ඉන්ධන ආශ්‍රිත ව්‍යාපාර කරන අයට සුළු දෝස සහිතය.

මිථුන

රැකියා ආශ්‍රිත බාධා පැන නගී. සමාජය තුළ නමට හානි විය හැක. අදහස් ස්ථාවරව තබාගත යුතුයි. මානව සම්පත් කළමනාකරණයේදී ප්‍රවේශම් වන්න.

කටක

ආගමික අදහස් කඩාකප්පල් වේ. සමාජ සබඳතා බිඳ වැටේ. මානව දයාව රැකගත යුතුයි. නපුරු වැඩට සිත දුවයි.

සිංහ

හවුල් ව්‍යාපාර, විවාහයෙන් පසු මුණු ගැසුණු ඥාති සබඳතාවලට සියුම් බාධා ගෙන දේ. වෘත්තිමය කටයුතු, විදේශගත කටයුතු ආදීන්ටද අධ්‍යාපනික කටයුතු වලට ද පීඩා ගෙන දේ.

කන්‍යා

විවාහ සබඳතා පිළිබඳව මෙන්ම සමාජ සබඳතා පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි. සමාජයේ තමාට තිබූ නම නොමැති වීම නිසා ගැටුම් ඇතිකර ගනී. හවුල් ව්‍යාපාර ද ගැටලුවලට මැදි කරයි.

තුලා

තම කාය ශක්තිය හීන කරයි. ආර්ථික කටයුතු වලට බාධා එල්ල වේ. මානසික සෞඛ්‍යට ද යහපත් නොවනු ඇත. ක්‍රීඩාශීලී කටයුතුවල නිරත අය වඩාත් සැලකිලිමත් වන්න.

වෘශ්චික

ප්‍රේමයට අධ්‍යාපනයට බාධා එල්ල වේ. මූලික අධ්‍යාපනික කටයුතු වෙනස් කිරීමට සිතේ. හිත හුදෙකලා වේ. සියදිවි නසා ගැනීමට වුව සිතිය හැකි කාලයකි. ඥාතීන් තම දරුවන් ගැන අවධානයෙන් සිටින්න.

ධනු

දේපළ, ඉඩකම් පිළිබඳ ගැටලු උදාකරයි. තවද තම මව හෝ මව්පස ඥාති වරියකට අශුභ විපත් උදාවිය හැක. මානව සම්පත්, නිවාස සම්පත්, යාන වාහන සම්පත් ආශ්‍රිත කටයුතු වලදී ප්‍රවේශම් වන්න.

මකර

පපුවේ සෙම් රෝග උත්සන්න වේ. හදිසි උණ සන්නිපාත රෝග වැළඳේ. අතපය හිරිවැටීම් මෙන්ම ගුප්ත රෝග ද උදාවිය හැකි කාලයකි. විවාහ සබඳතාවලටද, ලියකියවිලි සම්බන්ධ වැඩවලටද පීඩා උදාවිය හැක.

කුම්භ

පවුලේ සාමාජිකයකුට මානසික පීඩා උදා වේ. වැඩිහිටි කාන්තාවන් පිළිබඳව අවධානයෙන් පසුවන්න. ධන හානි හෝ අනපේක්‍ෂිත වියදම් වැඩිවිය හැක. වචන භාවිතයේදී ප්‍රවේශම් වන්න. නිතර තම ආර්ථිකය පිළිබඳව සිතන්න.

මීන

හිතේ ලෙඩ නිසා කය පණ නැති වෙයි. කිසි වැඩක් පිළිවෙළට කිරීමට නොහැකි වෙයි. නිතර කම්මැලි වෙයි. ප්‍රේමය, විවාහය පිළිබඳව සංකා උපදී. සුළු දේට ලොකුවට කලකිරේ. සෞඛ්‍යද පිරිහේ.

චන්ද්‍රග්‍රහණයෙන් පසු වියළි සීත සමයක්

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment