කරකාර බඳින්න ගීතය මගේ සංගීත ජීවිතයට ලොකු ආශිර්වාදයක් වුණා – කාංචනා අනුරාධි

274

වෙසක් වෙනුවෙන්ම ගීතයක් කළා

උදුරාවී” දැනෙන තුරු මා” නාදෙන් ගීත තුළින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැඟි ඇය මේ දිනවල ජනප්‍රියම චරිතයක් බවට පත්වී තිබෙනවා.

මේ ඇගේම නිර්මාණ වුවත් ලොකු පොඩි සැවොම ඇය බොහෝ සේ විඳින්නට පටන් ගත්තේ උපාලි කන්නන්ගරගේ කරකාර බඳින්නට ගීතය ගායනයෙන් පසුවයි. එහි ඇගේ ගායන ශෛලිය මෙන්ම ඉදිරිපත් කිරීමේ විලාශය ප්‍රේක්ෂක සිත් ආකර්ෂණයට හේතුවක් වුණා. ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කාංචනා අනුරාධි සමග මීවිත මෙලෙස කතාබහක නියැළුණේ ඇගේ අලුත්ම වැඩකටයුත්ත ගැන කියන්නයි.

කරකාර බඳින්න ගීතය මගේ සංගීත ජීවිතයට ලොකු ආශිර්වාදයක් වුණා - කාංචනා අනුරාධි

කාංචනා මේ දිනවල වැඩකටයුතු මොන වගේද?

මේ දවස්වල සුපුරුදු පරිදි මගේ වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම මම මේ දිනවල සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කලා උපාධිය දෙවැනි වසරේ හැදෑරීම් කටයුතුවල ද නියැලී සිටිනවා. ඉතිං ඒ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන ගමන් මගේ නිර්මාණ කටයුතුවලට වෙහෙසෙනවා. ඒ වගේම ප්‍රසංග පැවැත්වෙනවා. ඒවටත් පුළුවන් විදිහට සහභාගි වෙනවා.

වෙසක් බැති ගී වැඩසටහන්වලට ආරාධනා නැතිද?

ඔව්. ආරාධනා ලැබිලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා සහභාගි වෙන්න.

කරකාර බඳින්න ගීතය මගේ සංගීත ජීවිතයට ලොකු ආශිර්වාදයක් වුණා - කාංචනා අනුරාධි

සම්බුදු තෙමඟුල වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළා කියන්නේ?

ඔව්. මම වෙසක් වෙනුවෙන්ම ගීතයක් නිර්මාණය කළා. ඒකත් මේ වෙසක් මාසය ඇතුළත එළිදක්වන්න සූදානමින් ඉන්නේ. මගේ අලුත් ගීතයක් වන මේ ගීතය බෞද්ධ දර්ශනය හා සම්බන්ධ ගීතයක්. මේ ගීතය පද රචනා කරලා තියෙන්නේ කැම්පනේ සිරි අනුරුද්ධ හිමි වගේම සංගීතවත් කරලා තියෙන්නේ බිබිලාදෙණියේ මහානාම හිමි විසින්.

මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම 2015” 2016 වසරවල තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඉතිං දැන් අවුරුදු හයක් හතක් ගෙවීගෙන යන ගමන් තියෙන්නේ. ඉතිං මේ තාක් දුරට මට ළඟා කරගන්න පුළුවන් වුණ හැමදෙයක් ගැනම ලොකු සතුටක් තියෙන්නේ.

මෙතෙක් ආ ගමන් මගේදී වැඩිපුර මුහුණදුන්නේ කටුක අත්දැකීම්වලටද?

හැමෝගේම ජීවිතවල ඉදිරියට යනකොට අපිට කටුක අත්දැකීම්වලට මුහුණදෙන්න වෙනවා. ඒ කටුක අත්දැකීම් ඇතුළේ බොහොම සුන්දර දේවල් අපේ ජීවිතවලට කොහොමද ළඟා කරගන්නේ කියලා දැනගන්න ඕනෑ. ඉතිං ඒ සතුට තමයි අපේ සියලුම වැඩකටයුතුවලට එකතුවෙන්නේ.

කරකාර බඳින්න ගීතය මගේ සංගීත ජීවිතයට ලොකු ආශිර්වාදයක් වුණා - කාංචනා අනුරාධි

කැපිලි කෙටිලිවලට එහෙම මුහුණදුන්නාද?

මම ඒවා ඇත්තටම දකින්න අකැමැති වුණා. එහෙම දැක්කොත් මට මේ ගමන මේ තරම් දුරක් එන්න බැහැ කියලා හිතෙනවානේ. ඉතිං මොන දේ ආවත් ඒවා බැහැර කරලා මානසික ඒකාග්‍රතාවයකින් යුත්කව අවශ්‍ය දේ කරා යන්න තමයි උත්සාහ කළේ සහ අදටත් උත්සාහ කරන්නේ. ඒ හින්දා බාහිරින් එන දේවල් මට එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ.

නාදෙන් ගීතය මේ තරම් දුරක් යාවි කියලා හිතුවද?

නාදෙන් ගීතය සංගීතවත් කළේ චමත් සංගීත් අයියා. පද රචනය දුලාන් ඒ. ආර්. එක්ස්. මගෙත් එක්ක ගීතය ගායනා කළා සුපුන් පෙරේරා අයියා. ඒ ගීතය ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද ලංකාවෙන් එළියට ගෙනියන්න පුළුවන් ගීතයක්. බංග්ලාදේශයේ” නේපාලයේ” ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල මේ ගීතය අදටත් ප්‍රචාරය වෙනවා. හරිම සතුටුයි. මගේ එකම බලාපොරොත්තුව අපේ රට ජාත්‍යන්තරයට ගෙනියන්න. නාදෙන් ගීතය ඒක කරන්න ලොකු හයියක් වුණා.

කාංචනා එක්ක කතා කරන කොට නාදගම ගැනත් කතා කරන්නම වෙනවා?

නාදගම කියන්නෙත් ඇත්තටම එකම පවුලක්. නාදගම අනෙක් ප්‍රසංගවලට වඩා වෙනස් හරිම වෙනස්. පළමුවැනි නාදගම ප්‍රසංගය 2018 වසරේ දී මාතරින් තමයි ආරම්භ කළේ. මේ වෙනකොට නාදගම හැමෝටම නැතිව බැරි කොන්සර්ට් එකක් වෙලා තියෙනවා. නාදගම කියන්නේ වෙනස්ම අත්දැකීම් ගොන්නක් එකතු කරන සංගීතයමය සැඳෑවක්. නාදගමේදී අපි ප්‍රේක්ෂකයන් එක්ක හරි සමීපයි.

මේ ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. මොකද මගේ අම්මට තාත්තාටත් මට ලැබෙන ආදරය ඒ ආකාරයෙන්ම ලැබෙනවා. මොකද මගේ ජීවිතයේ අම්මයි තාත්තයි තමයි අදටත්. ඔවුන් මේ ගමන පුරාවටම හෙවනැල්ලක් වගේ ඉන්නවා.

කාංචනාගේම කොන්සර්ට් එකක් කරන්න අදහසක් තියෙනවාද?

අනිවාර්යයෙන්ම එහෙම අදහසක් තියෙනවා. ඒකට දැන්ම මට කාලය එළැඹිලා නැහැ. විවිධ මාතෘකාවල සහ විවිධ ශෛලීන්වල” විවිධ භාෂාවල බොහෝ නිර්මාණ රැසක් කරලා තියෙනවා. ඒවා රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං ඒ හැමදේම මගේ රසිකයන්ට රසවිඳින්න අවස්ථාවක් ලබාදීලා දැන් මට ප්‍රසංගයක් කරන්න කාලය හරි කියලා හිතුණ වෙලාවට ප්‍රසංගයක් කරන්න ඉතාම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා.

උපාලි කන්නන්ගර ගායනා කළ කරකාර බඳින්නට ගීතය ඔබ ගායනා කළ පසු හිතුවටත් වඩා ජනප්‍රිය වුණා නේද?

එතුමාට වඩා කියනවාට වඩා මම කැමැති එතුමා ගායනා කළ ගීතයට මට යම්කිසි අරුතක් ලබාදෙන්න පුළුවන් වුණා කියලා. මට හරිම සතුටුයි. එතුමාගේ පවුලේ අයගේ ආරාධනයෙන් තමයි මම කරකාර බඳින්න ගීතය එතුමාට උපහාරයක් විදිහට ගායනා කළේ. ඉතිං ඒක අපි හිතුවේ නැති විදිහට මුළු ලංකාවේම වගේම විදෙස්ගතවෙලා සිටින ලාංකිකයන් පවා නොකඩවා අහපු ගීතයක් බවට පත්වුණා. ඒකේ සියලුම ගෞරවය උපාලි කන්නන්ගර මහතාට පුදකරනවා. ඒ වගේම මම මේ වෙලාවේ එතුමාව ආදරයෙන් සිහිපත් කරනවා. වයස් බේදයකින් තොරව හැමෝම අතරට යන්න කරකාර බඳින්න ගීතය මගේ සංගීත ජීවිතයට මට ලොකු ආශිර්වාදයක් වුණා.

කාංචනා දායක වෙන සියලුම වැඩසටහන් පසුගිය දවස්වල හරියට කතාබහට ලක්වුණා?

ඒ ගැන ගොඩක් සතුටක් වගේම සැනසීමක් තමයි දැනෙන්නේ. මම මේ ලෝකයට බිහිවුණා නම් මට කරන්න යම්කිසි කාර්යයක් තිබුණා නම් ඒ කාර්යය තමයි මම මේ කරන්නේ. මම සහභාගි වෙන වැඩසටහන් හා නිර්මාණ ඒ ආකාරයන් වැළඳගන්නේ එයාලාගේ ආදරය හින්දා. මේ තරම් ආදරයක් ලබන්න මම සසරේ පින් කරලා තියෙනවා කියලා හැමවෙලාවේම මෙනෙහි කරනවා.

දිනේෂ් විතාන
ඡායාරූප ඩයන් ප්‍රදීප්

ඇඳුම් නිර්මාණය – අනූෂි ගුණරත්න
හැඩගැන්වීම – මූඩ් සමන්ත ගුණසේකර, ජොනී ගුණසේකර
පසුතලය – මොට්ටුන්න ශ්‍රී කිරීටාරාම පුරාණ ටැම්පිට විහාරය

advertistmentadvertistment
advertistmentadvertistment