ජනතාව අසරණ කරන බඩු මිල

530

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ජීවත් වන්නේ දැඩි පීඩනයෙනි. භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑම නිසා මේ රටේ බහුතර ජනතාවට තම ජීවන රටාව පවා වෙනස් කිරීමට සිදුව ඇත. අද බොහෝ පවුල්වලට තුන් වේලක් ආහාර ගැනීමට තරම් වත්කමක් නැත. බොහෝ පවුල්වල ආහාර වේල් ගණන දෙකකට සීමා වී තිබේ. අනෙක් අතට එසේ ගනු ලබන ආහාර වේල්වල ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න මතුවී තිබේ. පවතින ආර්ථික අර්බුදයේම ප්‍රතිඵලයක් ලෙස අප රටේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රමාණය වැඩි වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. දිගින් දිගටම පවතින මෙම අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා අදාළ බලධාරීන් හෝ නිලධාරීන් ක්‍රියාකරන බවක් ද නොපෙනේ. මේ සඳහා ගත හැකි අවම ක්‍රියාමාර්ග හෝ නොගැනීම කනගාටුදායකය.

ඊයේ වනවිට වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් හත්සීය ඉක්මවා තිබිණි. වෙළෙඳපොළේ පවතින ලොකු ලූනු හිඟය පියවීමට පියවර නොගොත හොත් ඉදිරි සති කීපයේදී ලොකු ලූනු කිලෝවක මිල රුපියල් දහසක් දක්වා ඉහළ යෑමට ඉඩ ඇතැයි වෙළෙන්දෝ පවසති.

ලොකු ලූනු ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර ඇති වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ එළඹෙන උත්සව සමයේදී ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 375කට බස්සන බවයි. පිටකොටුවේ තොග වෙළෙදුන් සහ ඇමැතිවරයා අතරේ වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ඇමැතිවරයාගේ ප්‍රකාශය අනුව පෙනී යන්නේ තවත් මාසයක් පමණ යනතුරු පාරිභෝගිකයාට වැඩි මිලට ලොකු ලූනු කෑමට සිදුවන බවයි. යම් භාණ්ඩයක වෙළෙඳපොළේ හිඟයක් ඇතිවිය හැකි නම් එය කලින් පුරෝකථනය කර අදාළ හිඟය පියවීම සාමාන්‍යයෙන් සිදුවිය යුත්තකි. ලොකු ලූනු ප්‍රශ්නය දිහා බලන විට පෙනී යන්නේ එවැනි පියවරක් ගැනීමට අදාළ බලධාරීන් කටයුතු නොකර ඇති බවයි.

ලොකු ලූනු අප රටේ ද වගා කරන බෝගයකි. රටේ පාරිභෝජනයට දැඩි ඉල්ලුමක් පවතින භෝගයක් ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර නොගන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. එය කෘෂි කර්මාන්ත අමාත්‍යාංශයට පහසුවෙන් කළ හැකි වැඩකි. ගොවියාටත් පාරිභෝගිකයාටත් වාසි සැලසෙන අයුරින් ලොකු ලූනු වගාව ව්‍යාප්ත කළ හැකි නම් එම දෙපිරිසටම සහනයක් සැලසෙනවා සේම ලොකු ලූනු ආනයනය සඳහා පිට රටට ඇදී යන විශාල ඩොලර් ප්‍රමාණයෙන් ද ඉතිරි කර ගත හැකි වනු ඇත. කෘෂිකර්මාන්තය සම්බන්ධ බලධාරීන් සහ නිලධාරීන් විශාල පිරිසක් නඩත්තු කරන රටකට රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් බී ලූනු නිෂ්පාදනය සඳහා යොමුවීමට නොහැකි නම් එවැනි ආයතන නඩත්තු කිරීමෙන් ඇති ඵලය කුමක් දැයි ඇසිය යුතුය. එසේම තවත් විශාල මුදල් කන්දරාවක් වැය කරමින් වාර්ෂිකව අප රටට බිහිකරන කෘෂි විද්‍යාර්ථින් ගෙන් වැඩක් නොගැනීම ද බරපතළ ඛේදවාචකයකි. මෙය ලොකු ලූනුවලට පමණක් සීමා නොවුණු ප්‍රශ්නයක් බව ද මතක් කිරීමට කැමැත්තෙමු.

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ දුප්පතාට පෝෂණීය ආහාර ලබා ගැනීම ගැටලුවකි. අදටත් මාළු ගිනි ගණන්ය. හොඳ මාළු කෑල්ලක් රස විඳීමට දුප්පතාට හැකියාවක් නොමැත. ඒ සඳහා ඔවුනට තිබූ එකම විකල්පය වූයේ බිත්තරයය. නමුත් අද වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 60-65 දක්වා ඉහළ ගොස් තිබේ. බිත්තර සඳහා පාලන මිලක් ඇතත් වෙළෙඳුන් බිත්තර විකුණන්නේ තමන්ගේ හිතු හිතු මිලටය. බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉන්දියාවේ බිත්තර සතොස හරහා ලබාදුන්න ද එය ප්‍රමාණවත් නැත. විශේෂයෙන් උත්සව සමයේදී බිත්තරවලට ඉහළ ඉල්ලුමක් පැවතීම නිසා බිත්තර මිලෙන් ගසා කෑමට වෙළෙන්දෝ මේ වනවිටත් කටයුතු කරමින් සිටිති. මෙය වහා නැවැත්විය යුතුය.

පාරිභෝගික අධිකාරිය මේ සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් කළ යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ පාරිභෝගිකයා අසරණ වීම පමණි.

අප ඉහතින් සඳහන් කළ ලොකු ලූනු, බිත්තර පමණක් නොව අනෙකුත් භාණ්ඩවල මිල ගණන් ද මේ වනවිට දැඩි ලෙස ඉහළ ගොස් ඇත. මෙම මිල ගණන් ඉහළයෑමට සාපේක්‍ෂව ජනතාවගේ අතමිට සරු නැත. එනිසා ජනතාව සිටිනුයේ දැඩි පීඩනයකිනි. ජනතාවට ලබාදිය යුතු අවම සහනවත් ලබාදීම බලධාරීන්ගේ යුතුකමකි. වගකීමකි. විශේෂයෙන් වෙළෙන්දන්ට පාරිභෝගික ජනතාව සූරාකෑමට ඉඩ නොදිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment