සුදුලූනු මගඩිය සමග වහන්න හදන තවත් දූෂණ වංචා රැසක්… විශේෂ හෙළිදරව්වක්

997

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ බාල සහෝදරයකු වන ඩඞ්ලි සිරිසේනගේ නායකත්වයෙන් වී මෝල් හිමියන් කණ්ඩායමක් පසුගියදා රජයට කළ අභියෝගය සුළුපටු නොවේ. වී මෝල් හිමියන් ඇති කළ ප‍්‍රබල තෙරපුම හේතුවෙන් වී සහ සහල් මිල පාලනය කිරීමට වර්තමාන රජය ගත් සමස්ත ක‍්‍රියාමාර්ගය උඩු යටිකුරු විය. මිල පාලනය ක‍්‍රියාත්මක කිරීමට අදාළ ගැසට්ටුව කැබිනට් මණ්ඩලය අතුරුදන් කර දැම්මේය. ගැසට් නිකුත් කිරීමෙන් මෙන්ම එම ගැසට් නැවත හැරවීමෙන් මෙම රජය වාර්තාවක් තබා ඇත. එය වෙනමම කතාවකි.

පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් වී මෝල් හිමියන්ට ද කැබිනට් බලතල ක‍්‍රියාත්මක කළ හැකි බව ඩඞ්ලි සිරිසේන අවධාරණය කළේය. වී සහ සහල් සඳහා තොග එමෙන්ම සිල්ලර මිල නියම කිරීමේ වගකීම වී මෝල් හිමියන් සතු කර ගැනීම වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනට සහ කෘෂිකර්ම ඇමැති මහින්දානන්දට ද අලූත් අත්දැකීමක් වන්නට ඇත. එම අමාත්‍යවරුන් දෙදෙනා වී මෝල් හිමියන් සමඟ ජුලි 21 දින ගිවිසුම් ගත විය. රජයේ පාලන මිල අනුව කටයුතු කිරීමට වී මෝල් හිමියන් එකඟතාවය පළ කළ බව රජය පැවසීය. නමුත් සති 10 ක් යෑමට පෙර රජය සහ මෝල් හිමියන් සියල්ල කණපිට හරවා ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමිය. පාර්ලිමේන්තු කණ්ඩායම 145 කි. අවශ්‍යතාවය මත විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් ද රජයට ඇත. ආන්දෝලනාත්මක 20 වැනි සංශෝධනයට තුනෙන් දෙකේ අනුමැතිය ලබා ගත්තේ ඒ ක‍්‍රමවේදය අනුවය. නමුත් වී මෝල් හිමියන් රජයට එල්ල කරන බලපෑම මැඬපැවැත්වීමට ක‍්‍රමයක් නැත. රජයේ යම් කණ්ඩායමක් වී මෝල් හිමියන් සමඟ එකට කටයුතු කරනවාදැයි යන සැකය නැගේ. යම්කිසි කුමන්ත‍්‍රණකාරී මෙහෙයුමක් ක‍්‍රියාත්මකදැයි විමසා බැලිය යුතුය. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි.

මෙම තත්ත්වය පිළිබඳව තවදුරටත් විමසීමට පෙර ඩඞ්ලි සිරිසේනගේ සොහොයුරු මෛත‍්‍රිපාල සිරිසේන වර්තමාන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු නොවන බව අවධාරණය කළ යුතුය. ශ‍්‍රීලනිප නායක පොලොන්නරුව දිස්ත‍්‍රික්ක මහජන නියෝජිත මෛත‍්‍රිපාල සිරිසේන අමාත්‍ය ධුරයක් ලබා ගත්තේ නැත. ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු 14 දෙනෙකි. එම කණ්ඩායම තුළ ශ‍්‍රීලනිපයෙන් තේරී පත්වූ එක මන්ත‍්‍රීවරයකු සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ 13 ක් සිටිති.

සහල් ගැසට්ටුවට අතුරුදන් කිරීම පිළිබඳව විමසා බැලිය යුතු වන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට මෙම රජය හදිසි නීතිය යටතේ යම් ප‍්‍රතිපාදන අගෝස්තු 31 දින ක‍්‍රියාත්මක කිරීමත්, සක‍්‍රිය සේවයේ නියුතු මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් ලෙස පත් කිරීම ද සැලකිල්ලට ගැනීමෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කළේ සහල්, සීනි සහ කිරිපිටි ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබා දීමටය. නමුත් සහල් රජයේ පාලනයෙන් හදිසියේ මිදීම පෙන්නුම් කරන්නේ වර්තමාන දේශපාලන ව්‍යාකූලත්වයයි. ජනතාවට වඩාත්ම බලපෑමක් කළ හැකි සහල් රජයේ පාලන මිලෙන් ගිලිහීම අවාසනාවන්ත තත්ත්වයකි. ජනතාව ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහණයෙන් මුදා ගැනීමට හදිසි නීතිය ක‍්‍රියාත්මක කිරීම ජිනීවා මානව හිමිකම් කොමිසමේ දෝෂදර්ශනයට ලක්විය. ජාත්‍යන්තර සහ දේශීය සිවිල් සංවිධාන ද හදිසි නීතිය ක‍්‍රියාත්මක කිරීමට එරෙහි වූහ. ද්‍රවිඩ ත‍්‍රස්තවාදී නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්, පොට්ටු අම්මාන් ද වෙනුවෙන් පෙනී සිටියවුන්ට හදිසි නීතිය අරහං ය. නමුත් රජය අවශ්‍ය පියවර නිර්භයව ගත්තේ පාරිභෝගිකයා ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහණයෙන් ගලවා ගැනීමටය. නමුත් දැන් තත්ත්වය වෙනස්ය.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වැනි මහා සැසියට සහභාගී වී, දින කීපයක් ඇමෙරිකාවේ වෙසෙන තම එකම පුතා මනෝජ්, ඔහුගේ ලේලිය සෙව්වන්දි සහ ඔවුන්ගේ දරුවා සමඟ ගතකර නැවත ශ‍්‍රී ලංකාවට ආ පසු මෙම තත්ත්වය විමසීමක් කරනු ඇත. ඒ ජනාධිපතිවරයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් රටින් පිට වී ගිය දෙවැනි අවස්ථාවයි. බිරිඳ අයෝමා ද ගමනට එක්විය.

රජයේ පාලන මිලෙන් සහල් ඉවත් කිරීම වෙළෙඳ අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක ලංකා සතොස පාලන අධිකාරිය කළ සුදු ලූනු වංචාවට වඩා බෙහෙවින් බරපතලය. කිලෝව රුපියල් 105 බැගින් වරායෙන් සතොසට ලබා දුන් සුදු ලූනු කිලෝ 56,000 එම ආයතනයේම සැපයුම්කරුවකුට කිලෝව රුපියල් 135 බැගින් විකුණා නැවතත් එම මිල මෙන් තුන් ගුණයකට එම තොගයම නැවත ගැනීම බරපතල වංචාවකි. නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගත් නිර්භීත ක‍්‍රියාමාර්ගය හේතුවෙන් එම දූෂිත මෙහෙයුම සම්පුර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට නොහැකි විය. ලංකා සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) සුසිරි පෙරේරා ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට පත්විය. කොවිඞ් වෛරසයෙන් බැටකා අතිශය සංකීර්ණ මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති ශ‍්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් රජයේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් වංචා සහ දූෂණ වීමට ඉඩ සලසා දිය නොහැක. මෑතකදී වඩාත්ම මාධ්‍ය අවධානයට ලක්වූ සතොස වංචාව සහ සහල් ගැසට්ටුව අතුරුදන් කිරීම තුළ ක‍්‍රියාත්මක දේශපාලනය විමසා බැලිය යුතුය.

නමුත් සහල් කෙළිය සමග සුදු ලූනු ගනුදෙනුව කිසිසේත් සම කළ නොහැක. ඒ ආකාරයෙන් බලන විට සතොස වංචාව සිල්ලර වැඩකි. සතොස පාලන අධිකාරිය එවැනි මෙහෙයුම්වලට අත ගැහුවේ අද ඊයේ නොවේය. දේශපාලන ආරක්ෂාව නැතිව මෙවැනි ක‍්‍රියා විය නොහැක.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක පාර්ලිමේන්තුව සමස්ත රාජ්‍ය මූල්‍ය ක‍්‍රියාවලියට වගකියන, වගවියයුතු තරු පහේ තුළ ක‍්‍රියාදාමය තුළ සිදු වූ එක වංචාවක් පමණි. දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා දහසක් අතර එක වංචාවකි.

පාරිභෝගික අධිකාරියේ එවකට හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන කළ හෙළිදරව්ව නොවන්නට සුදු ලූනු වංචාව හේතුවෙන් කිසිදා රජයට බලපෑමක් වන්නේ නැත. වෙළෙඳ ඇමැතිවරයා රහස් පොලිසියේ මැදිහත්වීම පතන්නේ ගුණවර්ධනට එරෙහිවය. සතොස වංචාව සම්බන්ධයෙන් සියලූම හෙළිදරව් කිරීම් සිදු කළේ තමන් පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටින අතරේ බව ගුණවර්ධන ප‍්‍රකාශ කර ඇත. තොරතුරු සපයන්නා ජනාධිපතිවරයාගේ ද ආශීර්වාදයෙන් එම පත්වීම ලබා ඇති තත්ත්වයක් තුළ මාධ්‍යයෙන් කරුණු විමසා සිටීම අවශ්‍යද?

සතොසට ලැබෙන/ආනයනය කරන භාණ්ඩ තත්ත්වයෙන් බාල බව වංචාකාරී ලෙස නිගමනය කර පිටට විකිණීම සහ එලෙස විකුණූ යම් දෑ නැවත වැඩි මිලට ගැනීම පුරුද්දක් ලෙස සියලූම රජයන් යටතේ කාලයක සිට සිදුවන බව රහසක් නොවේ. අති බහුතර ජනතාවකට නිසියාකාරව ආහාර වේලක් ගැනීමට ආදායම් මාර්ග නැත. එවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවය තවදුරටත් ජනතාව පෙළීම අපරාධයක් නොවන්නේද?

තම අස්වීමේ ලිපිය පාරිභෝගික අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකට සැප්තැම්බර් 21 දින යැවූ තුෂාන් ගුණවර්ධන මෙම ලියුම්කරු සමඟ පැවසුවේ කොවිඞ් ව්‍යසනයෙන් බැටකන ශ‍්‍රී ලංකාව ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහණයට හසුවී ඇති බවයි.

රජයේ ගිණුම් කාරක සභාව (සභාපති මහාචාර්ය තිස්ස විතාරණ/ජාතික ලැයිස්තු මන්ත‍්‍රී), පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව (සභාපති මහාචාර්ය චරිත හේරත්/ජාතික ලැයිස්තු මන්ත‍්‍රී) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (සභාපති කුරුණෑගල දිස්ත‍්‍රික්ක මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා) වර්තමාන පාර්ලිමේන්තු කාලය තුළ දැනට නිල වශයෙන් පෙන්වා දී ඇති දූෂණ, වංචා, අක‍්‍රමිකතා අප‍්‍රමාණය. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එම කාරක සභා ක‍්‍රියාත්මක කර ඇති විමර්ශන සම්බන්ධයෙන් මාධ්‍යයට නිල වශයෙන් නිකුත් කර ඇති තොරතුරු අනුව සමස්ත රාජ්‍ය මූල්‍ය ක‍්‍රමයම දූෂිතය. තුෂාන් ගුණවර්ධන ඇත්තවශයෙන්ම හෙළිකර ඇත්තේ සිල්ලර වංචාවකි. මෙම කිසිදු හෙළිදරව්වක් සම්බන්ධයෙන් අදාළ කාරක සභා අද වනතුරු කිසිදු අමාත්‍යවරයකු ගෙන් අවම තරමින් විමසීමක්වත් කර නැත. අමාත්‍යවරුන් කැඳවීමේ බලයක් එම කාරක සභාවලට නැත. පාර්ලිමේන්තුව තම මූල්‍ය සම්බන්ධයෙන් වගකීම ඉටු කරන්නේ එසේය. දශක ගණනාවක් තිස්සේ ක‍්‍රියාත්මක එම කාරක සභා හෙළිදරව් කර ඇති සියලූම දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා සිදු කර ඇත්තේ ජනාධිපතිවරයා හෝ ඇමැතිවරුන් පත්වීම් ලබාදුන් පුද්ගලයින් විසිනි.

සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයම සම්බන්ධයෙන් විමසා බැලිය යුතුය. වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් දූෂණය රජ කිරීමේ ‘රාජකාරියට’ වගකිව යුතුය. තුෂාන් ගුණවර්ධන මාධ්‍යයේ පළවූ අදාළ පාර්ලිමේන්තු වාර්තා අධ්‍යයනය කළහොත් ලංකා සතොස පමණක් නොව සමස්ත ආර්ථිකයම අනතුරේ බව තේරුම් ගනු ඇත. තත්ත්වය එතරම්ම බරපතලය. රාජ්‍ය අංශය සහ පෞද්ගලික ව්‍යවසායකයින් එක්වී ක‍්‍රියාත්මක කර ඇති මෙහෙයුම් අදහාගත නොහැක. හෙළිදරව් වූ ලංකා සතොස වංචාව සමස්ත දූෂිත ක‍්‍රියාවලිය තුළ ප‍්‍රමාණයෙන් අබ ඇටයක් පමණය. වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන රහස් පොලිසියට පැමිණිලි කිරීම සාධාරණය. සැබෑ පරීක්ෂණයක එල්ලය විය යුත්තේ ලංකා සතොසය. එය වාර්තා කළ මාධ්‍යවේදීන් සහ එම ආයතන නොවේ. ගුණවර්ධන අමාත්‍යවරයා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් රහස් පොලීසිය උපාලි පුවත්පත් ආයතනයේ පාලනාධිකාරිය හරහා ඉරිදා දිවයින කර්තෘ අනුර සොලමන්ස්, ‘දි අයිලන්ඞ්’ කර්තෘ ප‍්‍රභාත් සහබන්දු ඇතුළු මාධ්‍යවේදීන් කණ්ඩායමක් කැඳවීය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහගේ ද ප‍්‍රකාශයක් රහස් පොලීසියට අවශ්‍ය විය. රහස් පොලීසියට මෙම ලියුම්කරුගේ මෙන්ම නෝමන් පලිහවඩන සහ චමින්ද සිල්වාගේ ප‍්‍රකාශ ද අවශ්‍ය විය. නමුත් මාධ්‍ය වාර්තා කර ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණ පැවැත්විය හැකිද?

පාර්ලිමේන්තුවම හෙළිදරව් කර ඇති සිද්ධීන් විමර්ශනය කිරීමට කථානායක මහින්ද යාපා රහස් පොලීසිය සහ අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට ආරාධනා කළ යුතු නොවේද? ඊට පෙර සිටි කථානායක කරු ජයසූරිය ප‍්‍රකාශ කළේ ලොව හොඳම පාර්ලිමේන්තු කීපය අතර ශ‍්‍රී ලංකා මැති සබය ද සිටින බවය. මෙම ප‍්‍රකාශය කිසිසේත් පිළිගත නොහැක. එදා කථානායකවරයා එලෙස පැවසුවත් භූමියේ තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයම දූෂිත බව අවධාරණය කිරීමට ඉහත නම් කළ කාරක සභා තුන විගණකාධිපතිවරයාගේ ද හෝ ඔහුගේ නියෝජිතයෙකු ගේ සහභාගිත්වයෙන් කළ හෙළිදරව් හොඳටම ප‍්‍රමාණවත්ය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල කතාබහට ලක්වූ ‘අපි තමයි හොඳටම කළේ’ කතාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂවලට අදාළය.

සැබෑ තත්ත්වය අවධාරණය කිරීමට පාර්ලිමේන්තුව විසින්ම නිකුත් කර ඇති මාධ්‍ය වාර්තාවලට අදාළ අංශය දී තිබූ ශීර්ෂයන් පමණක් මෙලෙස සටහන් කිරීම සෑහේ. (1). රිදියාගම ගොවිපොළ 2017 හා 2018 වසරවල රුපියල් මිලියන 173 ක් පාඩු ලබන මට්ටමට පත්ව ඇති බව කෝප් කාරක සභාවේදී හෙළිවෙයි (2021.04.08) (2). පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මූල්‍ය වංචාවක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි. (2021.03.30) (3). 2020 දෙසැම්බර් 31 දිනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අගරු වූ චෙක්පත්වල වටිනාකම රුපියල් කෝටි 24ක් (2021.03.26) (5). ඛනිජ මෙ.ටොන් 85,000 අලෙවිය පිළිබඳ වහාම විමර්ශනයට කර මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න – කෝප් කමිටුව නිර්දේශ කරයි (2021.03.23), (6). රාජ්‍ය මුල්‍ය පරිපාලනය අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලය ඇතැම් අවස්ථාවලදී අභියෝගයට ලක්ව තිබෙනවා – කෝප් සභාපති මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් (7). ගල් අඟුරු ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේ දුර්වලතා නිසා රටට විශාල මුදල් ප‍්‍රමාණයක අලාභයක් (2021.03.10), (8). දීර්ඝ කාලීන අධිකරණ ක‍්‍රියාවලිය හේතුවෙන් රු. බිලියන ගණනක බදු අයකරගැනීම ප‍්‍රමාදයි -කෝපා කමිටුවේදී අනාවරණය වෙයි (2021.03.10) (9).

නැගෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතියේ අක‍්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි 06 ක පාඩුවක් – කෝපා කමිටුවේදී හෙළි වෙයි (2021.03.12) (10). ද්විත්ව කාර්යය වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවන අක‍්‍රමිකතා සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහභාගිත්වයෙන් කමිටුවක් (11). ලිට්රෝ ගෑස් ලංකා සහ ලිට්රෝ ටර්මිනල් සමාගමේ විගණන කටයුතු විගණකාධිපතිවරයා හරහා සිදු නොකිරීම කෝප් කමිටුවේදී ප‍්‍රශ්න කරයි (2021.02.24), (12). සීනි බදු සංශෝධනය පිළිබඳව අපක්ෂපාති සහ විමර්ශනාත්මක වාර්තාවක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව කැඳවයි (2021.01.07) (13). සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු හිඟ බදු මුදල

රු. මිලියන 237.3 ක් -රජයේ ගිණුම් කාරක සභාව (2020.12.09) (14). ඉක්ටා ආයතනයේ අසාර්ථක ‘ඊ’ විශ‍්‍රාම වැටුප් ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 278-කෝප් කමිටුව (15). පාම් ඔයිල් සමාගම් දෙකක් නිසා ශ‍්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6,130 ක් අහිමි වෙයි (2020.12.04) (17). 2017 දී විදේශ ඇමැතිවරයාගේ මැදිහත් වීම හේතුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට දැඩි බලපෑම් -කෝප් කමිටුවේදී අනාවරණය වෙයි (2020.12.06).

ඉහත සඳහන් විමර්ශන නිසියාකාර අධිකරණ ක‍්‍රියාවලියකට ලක්වන්නේ නැත. වර්තමාන මූල්‍ය අර්බුදයට ව්‍යසනයක් කිරීමට කොවිඞ් හේතුවක් වූවාට සැකයක් නැත. නමුත් මූල්‍ය වගකීම දරන පාර්ලිමේන්තුව කටයුතු කරන වගකීම් විරහිත තත්ත්වය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ වගකීම සහ වගවීම විමසා බැලිය යුතුය. ලංකා සතොස ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහණයෙන් ගලවා ගැනීම විමසා බැලිය යුත්තේ සමස්ත ආර්ථිකය නිවැරදි මාර්ගයකට ගෙන ඒම තුළය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment