අරගලකරුවන්ට පහරදීම ගැන දේශබන්දුට එරෙහි පෙත්සමේ කරුණු තහවුරු කිරීම ලබන 16 දා

127

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 16 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (29දා) නියම කළේය.

නීතිඥ රාමලිංගම් රන්ජන් මහතා විසින් ගොනු කර තිබූ එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් සිය ගණනක් අරලියගහ මන්දිරයෙන් පිටත් වී අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී අයුරින් විරෝධතාවයක නිරතව සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් පහරදීමෙන් අනතුරුව පොලු මුගුරු රැගෙන පෙළපාලියකින් ගාලු මුවදොර පිටියට යෑම හෝ ගෝඨා ගෝ ගමට කඩා වැදී එහි අරගලකරුවන්ට සිදුකළ අමානුෂික පහරදීම් වැළැක්වීමට නිසි පියවර නොගැනීමෙන් හතරවන වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුගේ රාජකාරි වගකීම් පැහැර හැර ඇති බැවින් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු ඔහුගේ සේවය අත්හිටුවන හෝ අනිවාර්ය නිවාඩු යවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනා ලෙසට ද පෙත්සම්කරු එමගින් අධිකරණයෙන් ඉල්ලා තිබේ. එකී පහරදීම්වලින් විශාල පිරිසක් තුවාල ලැබූ බවත් ඉන් බහුතරයකට ඉතා බරපතළ තුවාල සිදුවී සති ගණනාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවූ බවත් සිය පෙත්සම මගින් පෙන්වාදී තිබූ නීතිඥ රාමලිංගම් රන්ජන් මහතා අරගල භූමියේ සිටි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහු සතුව තිබූ රාජකාරි වගකීම් පැහැර හැරීමෙන් වක්‍රාකාරව එකී අපරාධවලට සහාය දීමක් සිදුකර ඇතැයි ද අධිකරණයට පෙන්වාදී තිබිණි.

එකී පහරදීම්වලට සම්බන්ධ හා ඒ සඳහා ආධාර අනුබල දුන් එවකට පැවැති රජයේ අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරූ පිරිසකට හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත කැඳවූ අවස්ථා කිහිපයකදීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් අනුගමනය කරනා මන්දගාමී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් අප්‍රසාදය පළකර ඇති බවත් පෙත්සම්කාර නීතිඥවරයා සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වාදී තිබිණි. ඉදිරිපත් වන සාක්ෂි අනුව දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර සුදුසු පියවර ගන්නා ලෙසට විමර්ශන අධීක්ෂණය කරනා නීතිපතිවරයා පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇතැයි ද පෙන්වා දෙමින් ගොනුකර තිබූ එම පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හා නීතිපතිවරයා නම් කර තිබිණි.

වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ සුගත් කල්දේරා මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා නියෝජනය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකු අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටීමට නියමිත බවත් පෙත්සමට අදාළ ලේඛන තමන්ට ලැබුණේ පෙර දින රාත්‍රියේ වන බැවින් ඒවා අධ්‍යයනය කර කරුණු දැක්වීමට කාලය අවශ්‍ය බවත් නීතිඥ සුගත් කල්දේරා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ එකී පහරදීම්වලට සම්බන්ධ නඩු කටයුතු අද (30 දා) කැඳවීමට නියමිත බැවින්, නඩුව කැඳවීම සඳහා කෙටි දිනයක් නියම කරන ලෙස පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment