පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල ඇවිත් මාස 2න් මහ ආණ්ඩුව හදනවා

221

● සෝමාලියා මුහුදු මංකොල්ලකාරයෝ වගේ රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා රට අල්ලාගෙන
● රටේ සමස්ත ජාතික ධනය දේශපාලනය හරහා කුඩා පවුල් කීපයක් එකතු කරගෙන
● රටේ විනාශයට ප්‍රධානම හේතුව හොරකමයි

එදා ගෝඨාභය ගෙනැල්ලා රට හදයි කියලා බලාපොරොත්තු වෙච්ච අය, අද දන්නවා පොහොට්ටුවට යළි එය කරන්න බැරි බව. ඒ නිසා ඒ අයත්, එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අය අද ජාතික ජන බලවේගයට එකතු වෙලා තියෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසන සමුළුව අමතමින්ය. අනුර කුමාර දිසානායක මහතාගේ උපන් ගම් පියස වන තඹුත්තේගම නගරයේ බස් නැවතුම්පළෙහි මෙම ජනහමුව පැවැත්විණි. එම ජනහමුව සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ මවද සහභාගි වී සිටියහ. මෙම ජනහමුව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා විසින් සංවිධානය කර තිබිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“අසූගණන්වල අග භාගයේ ආවා දුප්පතාගේ හිතවතා කියලා. 1994 ආවා විහාර මහාදේවි ලෙස. 2005 දී ආවා

දුටුගැමුණු ලෙස. 2015 දී ආවා පොළොන්නරුවේ ගැමියා ලෙස. ඊට පස්සේ ආවා වැඩකරන විරුවා. ඊට පස්සේ වැඩකරන විරුවා පට්ටන්ගහගෙන ගෙදර ගියා. දැන් ආසියාවේ ලොකුම මොළය ඇවිල්ලා කියනවා. දේශපාලනය හරහා ඉතා කුඩා පවුල් සංස්ථා කීපයක් අපේ රටේ සමස්ත ජාතික ධනය එකතු කරගෙන තියෙනවා. මේ රටේ පහළ පන්තියේ මිනිසුන්ටත් මේ රටේ දේශපාලන සුක්කානම හසුරුවන්න පුළුවන් වර්ගයේ නව දේශපාලනයක් මේ රට තුළ ස්ථාපිත කරනවා. අපේ රටේ මේ විනාශයට ප්‍රධානම හේතුව හොරකම. මේක සරල ප්‍රශ්නයක් නෙමෙයි. අපේ රටේ විශාල ජාතික ධනයක් මේ ඉතා කුඩා කණ්ඩායමක් පොදි බැඳගෙන තිබෙනවා. හැබැයි දේශපාලනඥයෝ විතරක් නෙමෙයි අපි මේ හැප්පෙන්නේ… රනිල් එක්ක, සජිත් එක්ක, මහින්ද එක්ක. ඒ ගොල්ල එක්ක එකතු වුණ විශාල ජාලයක් තියෙනවා. එක දේශපාලකයෝ, දෙක අපේ රටේ හොඳ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් නොවන අතළොස්සක් වන ජාවාරම්කරුවන්. ඒ ජාවාරම්කාරයෝ තමයි කොවිඩ් වසංගතය එනකොට ඇන්ටිජන් කිට්වලින් ගහන්නේ. ඒ ජාවාරම්කාරයෝ තමයි සීනී ටික ගේන කොට බද්දෙන්

ගහන්නේ. ඒ ජාවාරම්කාරයෝ තමයි ගල්අඟුරු ටික ගේනකොට, තෙල් ටික ගේන කොට ඒකෙන් ගහන්නේ. ඒ ජාවාරම්කරුවන්ට ඉතා හොඳින් අත්උදව් දෙන නීතිය නමලා දෙන නිලධාරීන් ටිකක් ඉන්නවා.

අපේ රටේ පරිපාලන සේවයේ නිලධාරීන් 2400 ක් ඉන්නවා. ඒකෙන් 100 ක් විතර උඩ නිලධාරීන් ඉන්නවා. මේ වළල්ල හැදෙන්නේ එහෙම. අද ගොවි ජනතාවගේ ජීවිතයට මොනවද සිද්ධවෙලා තියෙන්නේ.

පහුගිය ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ඉස්සරලාම කරපු දේ පොහොර සහනාධාරය කපපු එක. ගොවිබිම් පාළුවුණා. ගොවි ජනතාව පාරට බැස්සා. තමන්ගේ ඇස් ඉදිරිපිටම කුඹුර කණාටු වෙනවා. ගොවියෝ කඳුලු පෙර පෙර කිව්වේ, කුඹුරට යන්න බෑ, පොහොර නෑ, ගොයම කහවෙලා කියලා. ගොවි ජනතාව ගැන වගක් පාලකයන්ට තිබුණේ නෑ. ගොවිතැන අපේ රටේ ප්‍රධාන ජීවනාලිය බවට පත් කරන්න ඕන. ලෝකයේ හැම රටක්ම ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ තමන්ගේ ආහාර නිෂ්පාදනයට. ආයුධ තිබ්බට, තාක්ෂණය තිබ්බට වැඩක් නෑ කන්න බොන්න නැත්නම්. ඒ රට අසරණයි. අපේ පාලනයක් යටතේ කෘෂිකර්මාන්තය අපේ රටේ ප්‍රධානම අංගයක් බවට පත් කරනවා. අපේ රටේ කෘෂිපර්යේෂණ ආයතන දියුණු කරලා, බීජ නිෂ්පාදනය වර්ධනය කළ යුතුයි.

ජාතික ජන බලවේගයේ අපි මේ ලෑස්ති වෙලා තියෙන්නේ ආණ්ඩුවක් ගැනීම සඳහා නෙමෙයි. ආණ්ඩුවක් අරගෙන මේ රට හදන්න. ඒ සඳහා පළාත් පාලන මැතිවරණය එන්න නියමිතව තිබෙනවා, මැතිවරණ කොමිසම දින නොදී කල්දදා ඉන්නවා. කොමිසම අද රැස්වුණා. ඒ අය අද කියන්න ඕන නාමයෝජනා ගන්න දිනය කවදාද කියලා. මාර්තු 10 ට කලින් පළාත් පාලන මැතිවරණය තියන්න ඕන. රනිල් වික්‍රමසිංහලා දස අතේ කල්පනා කරනවා පළාත් පාලන මැතිවරණය නොතියා ඉන්න. මැතිවරණ කොමිසම නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නේ නැත්නම් ජාතික ජන බලවේගය සටන් කරලා හරි මේ ඡන්දය ලබා ගන්නවා.

මේ පළාත් පාලන ආයතනවල කාලය අවසන් වුණේ 2022 මාර්තු 20. දැන් වැඩිපුරත් එක්ක අවුරුද්දක් ඉන්නේ. සෝමාලියාවේ මුහුදු මංකොල්ලකාරයෝ නැවක් අල්ලන් ඉන්නවා වගේ රාජපක්ෂලා, වික්‍රමසිංහලා රටක් අල්ලගෙන ඉන්නවා..

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය ඇවිත් මාස 02 – 03 ක් ඇතුළත මහ ආණ්ඩුව හදනවා. ඊට පස්සේ අපි ඔක්කොම එකතුවෙලා, මේ වැටුණු රට ගොඩනඟමු යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික ජන බලවේගයේ කමිටු සාමාජිකයන් හා ක්‍රියාකාරීන් ඇතුළු අති විශාල පිරිසක් සහභාගී වූහ.
තිසර සමල් – අනුරාධපුර සහ සී. එම්. ආරියපාල – තඹුත්තේගම

advertistmentadvertistment
advertistmentadvertistment