සොඳුරු කතාකරුවා තුළ සිටි ‘අඳුරු මතවාදියා’ චිංගීස් අයිත්මාතව්

376

1928.12.12 – 2008.06.10

සෝවියට් සාහිත්‍ය වංශයෙන් සිංහල සාහිත්‍යයට එක් වූ අග්‍රතම කෘතිය කවරේදැයි කිවහොත් ඒ චිංගීස් අයිත්මාතව්ගේ ‘ගුරු ගීතය’ යැයි කෙනෙකුට නම් කළ හැකිය. ‘ගුරු ගීතය’ සිංහල පාඨකයාට ඒ සා බලපෑමක් කරන්නේ ඇයි? ඒ, එහි එන කතානායක ගුරුවරයා නොහොත් දුයිෂෙන් හා සිසුවිය අල්තීනායි අතර ඇති වන අප්‍රකාශිත ප්‍රේමය නිසාද? නැත්නම් දැදිගම වී. රුද්‍රිගූ ගේ කාව්‍යමය පරිවර්තනය නිසාද? එසේත් නැත්නම් අයිත්මාතව්ගේ විශිෂ්ට කතා ගෙත්තම නිසාද? නිසැකවම ඒ සියලු දේ එහි ප්‍රබලත්වයට බලපා තිබේ. එහෙත් මෙහිදී මවිතය දනවන කරුණ අයිත්මාතව් චින්තනමය වශයෙන් ඇදහූ සෝවියට් සමාජ සත්තා යථාර්ථවාදය මෙවැනි විශිෂ්ට කෘති සඳහා මූල බීජ නොවැපිරීමය. එය ප්‍රචාරකවාදය ආත්ම කොටගෙන ඇති නිසාය. එසේ නම් මෙම කිර්ගීසියානු ලේඛකයාට ප්‍රචාරකත්වයේ ගොම බිංදු නොවැටී සිය ප්‍රබන්ධයේ කිරි සයුර රැක ගැනීමට හැකි වූයේ කෙසේද? මේ පිළිබඳව අප විමසිය යුතුය.

● මතවාදයෙන් නොකෙලෙසුණු ප්‍රබන්ධය

කතාකරුවකු අතින් උසස් කතාවක් බිහි වීමට ඇවැසි මුඛ්‍ය සාධක ලෙස විලියම් ෆෝක්නර් දක්වනුයේ සියයට සියයක් ප්‍රතිභාවත් සියයට සියයක් සතතාභ්‍යාසයත් කියාය. අයිත්මාතව් සම්බන්ධයෙන් මේ දෙකම පැවතිණි‘ ඔහුගේ ප්‍රබල ප්‍රතිභා ශක්තිය ඔහුගේ ‘ජමිලා’, ‘ලැබීම සහ නොලැබීම’ වැනි නවකතා කියවන විටම පැහැදිලි වේ. මෙබඳු ප්‍රතිභා ඥාන චක්ෂුසයක් හිමි කතාකරුවකුගේ වෙසෙස ඔහු මතවාදීමය වශයෙන් කවර දේශපාලන ආස්ථානයක සිටියත් ඔහුගේ ප්‍රබන්ධය ඉන් දූෂණය නොවීමය. අයිත්මාතව්ගෙන් සිදු වූයේ එයය. ඔහු මර්දනයෙන්, නිලධාරීවාදයෙන් හා ඒකාධිපතිත්වයෙන් වැසීගිය සෝවියට් සමාජවාදී දේශපාලනය ඇදහූවත් ඔහු කතාකරණයේදී ඒ කුණුකසළ ඊට වැද්දගත්තේ නැත. එනිසා ‘ගුරු ගීතය’ මතින් සිය පටු අභිමතාර්ථ මුදුන්පමුණුවා ගැනීමට මාන බලන දේශපාලන පක්ෂ හා බැඳුණු පොත් ප්‍රකාශකයන්ගේ, එම
විචාරකයන්ගේ හා පරිවර්තකයන්ගේ ලියවිලි පසෙක තබා අයිත්මාතව්ගේ දේශපාලනය වෙනම කියවීමත් ඔහුගේ ප්‍රබන්ධ කතා වෙනම කියවීමත් වැදගත්ය.

සැබැවින්ම චිංගීස් අයිත්මාතව්ගේ ප්‍රබන්ධ කතාවලියේ බොහෝ දෙනා නොසලකා හරින කෘතියකි, ‘ලැබීම සහ නොලැබීම’’ මේ ශෝකාන්තමය නවකතාව කියාපාන්නේ කිසිවකු මත වරද පැටවිය නොහැකි හේතුවක් නිසා බිඳ වැටෙන කුටුම්බ දිවියක අසරණ වන පියෙකු ගැනය. එය පාඨකයා කෙතරම් කම්පනයට පත් කරන්නේද යතහොත් තනි වූ පියා හට සිය බිළිඳු පුතු හමු වූ විටද ඔහුට තමා පියා යැයි කීමට නොහැකි වේ. ඔහුට සිය ඇඟ ලේ මසින් සැදි බිළිඳාට හා සිය හදින් ආලය කළ බිරිඳට ආදරය පෑමට සිදු වන්නේ ඈත සිටය. ඔවුනොවුනට එක කැදැල්ලක සෙවණ ලැබීමටද නොහැකි වේ. අයිත්මාතව්ට ඒ සා ප්‍රබල සංවේදී ආත්ම ප්‍රකාශනයක් කිරීමට හැකි වී ඇත්තේ කෙසේද? ඒ, එම ශෝචනීය අත්දැකීම ඔහුම විඳ තිබීම නිසා යැයි සිතිය හැකිය. නැත්නම් ඔහු අනෙකෙකු ගේ දුක්ඛාන්තයක් තමාගේ කරගෙන තිබීම නිසා විය හැකිය. කෙසේ වුව අයිත්මාතව්ද විවාහ දිවිය බිඳ වැටී ආත්ම කම්පනයෙන් පීඩා විඳියෙකු බව සිතද්දී මේ කතා අනුභූතියේ කර්තෘත්වය අවබෝධ කරගත හැකිය. එහෙත් මෙහිදී සැලකිය යුතු කරුණ ඔහු මතවාදීමය වශයෙන් කවර දේශපාලන දහමක සිටියත් හේ එය ප්‍රබන්ධයට බැස්සවීමට කටයුතු නොකිරීමය. ඕනෑ නම් ඔහුට එම ශෝකාන්ත කතාව සමාජවාදය ඔසොවන කතාවක් ලෙස මතු කිරීමට හැකියාව තිබිණි‘ එසේ නැත්නම් කතානායක චරිතය එම සමාජවාදයේ සංකේතයක් ලෙස හුවාදැක්වීමට ඉඩ තිබිණි‘ එහෙත් ඔහු සිය ප්‍රබන්ධකරණයේදී කර ඇත්තේ හිසට නොව හදවතට කථා කිරීමට ඉඩ දීමය. ඇත්ත වශයෙන් අයිත්මාතව් ගේ ප්‍රබන්ධය ඔහුගේ දේශපාලනයේ අඩුලුහුඬුකම් පෙන්වා දෙන්නකි. නොහොන් ඔහුගේ බුද්ධිමය දරිද්‍රතාව පෙන්වා දෙන්නකි.

● ඔහු සිටි ආස්ථානය

අයිත්මාතව් සෝවියට් සාහිත්‍යය පිළිබඳව දරන අදහස ඔහු ලියූ ‘අනාගතයට වගකීමක්’ මැයෙන් වූ ලිපියේ මැනවින් පැහැදිලි වේ. මේ, එහි උපුටනයකි.

“සෝවියට් සාහිත්‍යය (සමාජවාදී විප්ලවයෙන් පසු උපන්) අලුත් සමාජයේ, අලුත් මිනිසාගේ සත්‍යය ලෝකයට පෙන්වා දුන්නේය. මේ සත්‍යය පහසුවෙන් බිහි වූවක් නොවේ. අප රට හා ජනයා පසුකර ආ මංපෙත දෙස ආපසු හැරී එම යුගයත් අප ගැනමත් සිතා බලන කල විප්ලවයෙන් සිදු වූ අමිලම ජයග්‍රහණය එය බිහි කළ හා ඒ ඇති දැඩි කළ මිනිසුන් බව නොසිතා බැරිය. සැබැවින්ම ඒ මිනිසුනට දරුණු විපර්යාසයන් හා සංකීර්ණ දෑ සිදු වන යුගයක ජීවත් වීමට තරම් වාසනාව තිබිණි‘ ඉතිහාසයේ තරණය කළ නොහැකි බොහෝ මංපෙත් පසුකිරීමට භාග්‍යය ලැබිණි‘ එහෙත් ඔවුන්ගේ අරගලය ඔවුන් ශක්තිමත් කළේය. ඵලදායී වූ, ඓතිහාසික වූ නිර්මාණ ශක්තියක් අත්පත් කරගැනීමට දිරි දුන්නේය. දිරියෙන් නැඟී සිට ආත්මාභිමානයක් ඇති කරගැනීමට ඉගැන්වූයේය., (The Time To Speak Out – ‘හඬ නැඟීමට කාලයයි’)

අයිත්මාතව් අද ජීවත්ව සිටියේ නම් සෝවියට් විප්ලවයෙන් ප්‍රාදූර්භූත වූ මේ කියන අලුත් මිනිසා යුක්රේනය තුළ යුද අපරාද කරනු දකිනු ඇත. න්‍යෂ්ටික අවි අමෝරාගෙන ලෝකයම අමුසොහොනක් කිරීමට දත කනු නරඹනු ඇත. සැබැවින්ම සත්‍යය නම් සමාජ විප්ලවයක් සාරවත් සාහිත්‍යයකට පාර කපන්නේ නැත. විප්ලවය එකකි, සාහිත්‍යය තව එකකි. පුද්ගලයන් සමාජය තුළ අත්විඳින දුක්ගැහැට, වදවේදනා උසස් සාහිත්‍යයක් බිහි කිරීමට මඟ විවර කරන්නේ නම් යුදෙව් සංහාරක සාහිත්‍යය මගින් (Holocaust Literature) උසස් සාහිත්‍යයක් ඇති වනු ඇත. එහෙත් ඒ එසේ නොවේ. එහි උත්තම නිර්මාණ ඇත්තේ අතළොස්සකි. අනෙක් අතට රුසියාවේ උසස්ම සාහිත්‍යය බිහි වූයේ සෝවියට් සමාජවාදී පාලන තන්ත්‍රය යටතේ නොවේ, ඊට පෙරය. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, නිකොලායි ගොගොල්, ලියෝ තෝල්ස්තෝයි, ෆියදෝර් දොස්තොයෙව්ස්කි, ඇන්ටන් චොකොෆ් යන සියලු දෙනා සෝවියට් යුගයට පෙර සිටි උත්තම සාහිත්‍යකරුවන්ය. සෝවියට් සමාජවාදය කළේ මේ උත්තම සාහිත්‍ය සම්ප්‍රදාය සුනුවිසුනු කිරීමය. සැබෑ සාහිත්‍යකරුවන් මර්දනය කර එම උත්තම සාහිත්‍යය යටපත් කිරීමය.

ඔහුගේ සාහිත්යික ආස්ථානයේ දිළිඳුකම ඉහත ලිපියේ එන මේ කරුණින්ද පැහැදිලි වේ:

“ලේඛකයන් වන අපට පොදු ජනයා කෙරේ පෞද්ගලික වගකීමක් පැවරී ඇතැයි හැඟිණි‘ පක්ෂය කීවේ අපේ රටේ අනාගතයටත් අපේ ජනයාගේ අනාගතයටත් අප සියලු දෙනා වගකිව යුතු බවය. මෙය සියලු සෝවියට් ජනයාගේ සාහිත්‍යය කෙරේ ධනාත්මක බලපෑමක් ඇති කළේය.”

● වගකියන්නේ කාටද?

ලේඛකයා වගකියන්නේ තමන් ලියන දේට මිස ඉන් බැහැර පොදු ජනයා නොවේ. අයිත්මාතව් කියන ලෙස සාහිත්‍යය නමින් බිහි විය යුත්තේ පොදු ජනයාට හොඳ ලේඛනයකි. මෙය සාහිත්‍යයේ නියම අර්ථය පටලවා ගැනීමකි. සාහිත්‍යකරණයේ නියුතු වන උසස් ලේඛකයකුගෙන් ඔහු ලියද්දී පොදු ජනයා ගැන සිතන්නේදැයි, ඔහුට සමාජ වගකීමක් පැවරී ඇතැයි සිතන්නේදැයි ඇසුවහොත් ඔහු පවසනු ඇත්තේ කෙසේවත් එවැන්නක් නැති බවය. සැබැවින්ම ඔහුට ලියද්දී ඔහුවත් සිහි නොවේ. අනෙක් අතට ඔහු සිහියෙන් ලියන්නෙක්ද නොවේ. කතාකරණයේදී විදාරණය වන්නේ ඔහුගේ අසිහියය. අසිහියෙන් ගවේෂණය වන්නේ ඔහුගේ ආත්මයය. ඔහුගේ පිටතට නොපෙනෙන ඇතුළත ජීවිතයය. එහිදී ඔහු පිවිසෙන්නේ ඔහුගේ ඇතුළත අඳුරු අහුමුලු වෙතය. එහෙත් ඒ අන්දකාර ලෝකය අවසානයේ බැවහැර ලෝකය දැකීමට, ජීවිතය දැකීමට අලුත් ආලෝක කදම්බයක් විහිදුවයි. ඒ දැකීමට නව නැණසක් පාදා දෙයි.

කෙසේ වුව අයිත්මාතව් සෝවියට් සමාජවාදී දර්ශනය වැළඳගැනීම ප්‍රශ්න කළ නොහේ. ඔහු එන්නේ සමාජයේ ඉතා දරිද්‍රතාවෙන් පෙළුණු පරිසරයකිනි. ඔවුන් ගොවීන්ය. එහෙත් නිරතුරු හිම ගහන පරිසරයෙන්, ආර්ථික දුෂ්කරතාවෙන් පීඩිත වූවන්ය. මෙබඳු වටපිටාවකින් ආ ඔහු සමාජය සාධාරණ විය යුතු යැයි, හැම දෙනාටම එක හා සමාන අවස්ථා තිබිය යුතු යැයි, මුදලින් සියල්ල තක්සේරු වන ක්‍රමය අහෝසි විය යුතු යැයි සිතීම අරුමයක් නැත. එහෙත් ඔහුට වූ වැරදීම සමාජ සාධාරණත්වයේ නාමයෙන් පොදු ජනයා සමූහ ගොවිපළවල්වල ගාල් වෙද්දී ඔවුන් මෙහෙයවන නිලධර තන්ත්‍රය සුරසැප විඳින බව ඔහු නොදැකීමය. සහෝදර ලේඛකයන් දණ්ඩන කඳවුරුවල වදබන්ධනයට නතු වෙද්දී ඒ නොදුටූ නියායෙන් සිටීමය. අයිත්මාතව් එම නිලධර තන්ත්‍රයේ අතකොලුවක් වූ නිසා ඔහුට එම ක්‍රෑරත්වයට එරෙහිව හඬ අවදි කිරීමට නොහැකි විය. සැබැවින්ම ඔහු සැබෑ සාහිත්‍යකරුවකු වී නම් ඔහුට එම ඒකාධිපතිවාදය විසින් ඔජවැඩූ ලෙනින් ත්‍යාගය වැනි ඊනියා සාහිත්‍ය ත්‍යාගයක් පිළිගැනීමට නොහැකි වනු ඇත.

කරුණු මෙසේ නම් චිංගීස් අයිත්මාතව් නම් ලේඛකයා දෙස අප බැලිය යුත්තේ ඔහුගේ සාහිත්‍යය දෙස බලන ඇසින් නොවන බව පැහැදිලි වේ. ඔහු සාහිත්‍යකරුවකු ලෙස විශිෂ්ටයකු වුවත් විචාරකයකු ලෙස, සමාජ ගවේෂකයකු ලෙස, දේශපාලන චින්තකයකු ලෙස සිටියේ අන්තිම පහළ තලයකය. ඔහුගේ සාහිත්‍ය හා සමාජ – දේශපාලන ආකල්ප සංග්‍රහ කර පළ වූ The Time To Speak Out නම් කෘතිය කියවන කල මේ බව පැහැදිලි වනු ඇත. එක් අතකට ඔහුත් සිංහල සාහිත්‍යයේ මඟහළ නොහැකි සලකුණක් වූ ගුණදාස අමරසේකරත් අතර වෙනසක් නැත. දෙදෙනාම සාහිත්‍යයෙන් පෙන්වන විශිෂ්ටත්වය දේශපාලන චින්තනයෙන් පිළිබිඹු කරන්නේ නැත.

● අංකුරයනට දෙන ආදර්ශය

කෙසේ වුව අයිත්මාතව් දැනුවත්ව හෝ නොදැනුවත්ව අංකුර සාහිත්‍යකරුවනට වැදගත් දෙයක් උගන්වයි. ප්‍රබන්ධකරණයේදී තමාගේ බුද්ධිය පවසන දෙය නොව හදවත දක්වන කතාව ලියන ලෙසය. තවද කරුණක් ඇත. ඔහු ලියන්නේ තමා අත්විඳි ජීවිතයය. ඔහුගේ අත්දැකීම් ඉතා අව්‍යාජය. එහි ආරෝපිත කිසිවක් නැත. ඔහුගේ ‘ජමිලා’ කෙටි නවකතාවේ විප්ලවයට දිරිදෙන සේයාවක් ඇත. එහෙත් එහි එන සොල්දාදුවන්ගේ ජීවිත කතා කෘත්‍රිමව ගෙතූ බවක් නොපෙනේ. විචාරකයනට අනුව ඔහුගේ බසද ගැමි බසකි. එය කාව්‍යාත්මකය. ඔහු පසු කල නගරයට සේන්දු වී සාහිත්‍යකරණයේ නියැලුණද හේ ගැමි අත්දැකීම්, ගැමි ජනවහර අමතක කර නැත. මේ සියල්ල අංකුර සාහිත්‍යකරුවනට මාර්ගෝපදේශය. එසේම ජීවිතය විසින් කවර දුෂ්කර තත්ත්වයන් උරුම කළද සාහිත්‍යකරුවකු ඒ හමුවේ නොසැලී ගමන් කළ යුතු බවද ඔහු නොකියා කියා ඇත. ඔහුගේ ලේඛක දිවිය එසේ නිසාය.

චිංගීස් අයිත්මාතව් කීප වරක් මුණගැසී ඔහු හා අදහස් බෙදාගත් සිංහල ලේඛකයෙක් සිටී. ඒ, ගුණසේන විතානය. විතාන මහතා හා වරක් කළ සම්මුඛ සාකච්ඡාවකදී මේ ලියුම්කරු හා ඔහු කීවේ අයිත්මාතව් ලංකාවට පැමිණීමට මහත් ආසාවක් දැක්වූ බවත් අභාග්‍යයකට ඔහු මියයන තෙක් එය ඉටු කරගත නොහැකි වූ බවත්ය. එහෙත් ඔහු මෙරටට පැමිණියත් නොපැමිණියත් සිංහල සාහිත්‍යයට යමක් වීමට තිබුණේ යැයි සිතිය නොහැකිය. ඔහු දේවත්වයෙන් ගන්නන් මිස විචාරාත්මකව ඔහු ප්‍රශ්න කරන්නන් එදා නොසිටි බැවිනි.

කෙසේ වෙතත් ලෝක සාහිත්‍ය කෙතට සරු බීජ වපුරා එය අස්වැන්නෙන් පීදූ චිංගීස් අයිත්මාතව් හට සියලු පාඨකයන් තුති පිදිය යුතුය. ඔහු නොසිටියේ නම් තවමත් අප බොහෝ දෙනාට සිහින චරිත වූ දුයිෂෙන්ලා, අල්තීනායිලා, ජමිලලා අප අතර නැති බැවිනි. ඒ ඔස්සේ කල්පනා ලෝකයකට යෑමටද ඉඩ අවකාශ නොලැබෙන බැවිනි.

රවීන්ද්‍ර විජේවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment