වසර පුරා, තෙත් කලාපය ලෙසින් හැඳින්වෙන ලක් භූමියේ එක්තරා කොටසකට වරෙක ‘නාකපනා වැහි’ ද තවත් වරෙක ‘පිණිපොද වැහි’ ද ඇදහැළෙයි. එය පැය ..දින.. සති ගණන් ඇදී යන්නේ වැහිබර සමයේදීය. එසේ ඇදහැළෙන ‘වරුසාව’ ලාංකීය ගී – කව් රචනයේ යෙදෙන සාහිත්‍යකරුවන්ගේ නිර්මාණයන් ඔපවත් කරයි, රසවත් කරයි.

වැස්සට තෙමි තෙමි …… යන ලස්සන…..
සූසැට බරණින් සැරසිලා …………….
නාකපනා වැහි වැටෙන වෙලේ …………….
විසාකාතමෝ පැමිණි විලාසෙන් …………………..
මට එන්නට බෑ නිසංසලේ …………….

ගී පද රචක ජයරත්න ගමගේ විසින් 70 දශකයේ පබැඳූ මෙම ගීයේ සත්සර රටා ඇමුණුම ආචාර්ය වික්ටර් රත්නායකයන් විසිනි. නැසීගිය නීලා වික්‍රමසිංහ ශිල්පිනිය විසින් ගැයූ එකී ගීතය එදවස නොමඳ ශ්‍රාවක ප්‍රතිචාරයට බඳුන් වූ මනරම් ගුවන් විදුලි ගී නිර්මාණයකි. උක්ත ගීතය ද ඇතුළුව එදවස ලියැවුනු එවන් මනාව රසවිඳ ගන්නට නම් ඒ ශ්‍රාවකයන් සාහිත්‍ය රසාස්වාදය විඳ හුරු පුරුදුවූවෝ විය යුතුව තිබිණි.

බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන ඒ පුවතින්, බුදුන් දවස උන්වහන්සේහට මහදන් පැවැත්වූ ‘විශාකා’ සිටුදියණිය, ඇයගේ නව යෞවනයේ දී, සිය යෙහෙළියන් සමග සිදුකළ එක්තරා චාරිකාවකදී කිසියම් අවස්ථාවක ඇද හැලුනු වර්ෂාවකට හසුවුණු පුවතක් විස්තර වෙයි. එහිදී ඒ යුවතියන් ඇදහැළෙන වැහිකෝඩයෙන් බේරෙන්නට ඉක්මන් ගමනින් දිව යද්දී, ඇය පමණක් නව යොවුන් යුවතියකගෙන් එදා සමාජය අපේක්ෂා කළ සුපුරුදු සන්සුන්, තැන්පත් ගමනින් වැහි පිණි නොතකමින් ගමන් කරන්නීය. මන්ද, දුවපැන ඇවිද යෑම, එදා තරුණියකට නොපොහොනා නොහොබිනා චර්යාවක් ලෙස සලකන්නට පුරුදුව සිටි නිසා විය හැකිය.

වසර පුරා, තෙත් කලාපය ලෙසින් හැඳින්වෙන ලක් භූමියේ එක්තරා කොටසකට වරෙක ‘නාකපනා වැහි’ ද තවත් වරෙක ‘පිණිපොද වැහි’ ද ඇදහැළෙයි. එය පැය ..දින.. සති ගණන් ඇදී යන්නේ වැහිබර සමයේදීය. එසේ ඇදහැළෙන ‘වරුසාව’ ලාංකීය ගී – කව් රචනයේ යෙදෙන සාහිත්‍යකරුවන්ගේ නිර්මාණයන් ඔපවත් කරයි, රසවත් කරයි.

ඒ අනුව ඔවුහු එදිනෙදා අත්දකින ‘වරුසාව’, තම නිර්මාණයන් වෙත ඉලක්ක කරගනිති.

වසරේ එක්තරා අවධියකදී, වෙසෙසින් බක්මහේදීී‘බක්මහ අකුණු’ ද සමගින් මුදුන් හිරුගේ අවර ගමන වසන්කරන කාලවර්ණයෙන් සිත්තම් වූ අඳුරු වළාවන් විසින් මුදාහරින නාකපන වැහි කෝඩයන් මිහිකත නහවයි. එවන් කාලගුණ විපර්යාසයක පෙරනිමිති ඊට පෙරසිටම අත්දැකිය හැකිය. ඒ වළාපෙල තම කාර්යභාරය ඉටු කරන්නට පෙරාතුවම ‘හිරිකඩ’ සංග්‍රහයකින්ී‘අනෝරා වැස්සක’ පෙරනිමිති සංඥා කරයි.

මහවැස්සක පෙර නිමිති පෙනෙනවා…………
කවුළුව අතරින් හිරිකඩ එනවා…………..
මල්පැනි වඩියක උණුසුම ලබනට ……………
යන්නට ඕනෑ කඩමන්ඩිය වෙත ……………..

කබාය ඉරිලා …ඊට කමක් නැහැ….
කවුරු දකින්නද කවුරු බලන්නද ..?
මා දැන් මහළු වියේ…………..

‘වියපත් වූවෙකුගේ’ අතීතාවර්ජනයක් ලෙසින් තෙරපෙන සිතුවිලි දහර කවි සිතුවිල්ලකට නැඟුවේ එදවස පරසිඳු ගුවන් විදුලි නිවේදක – ගී පද රචක නැසීගිය කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් ය. දිවංගත පන්ඩිත් අමරදේව සිය හඬින් ඊට හැඟුම් වළාපෙළකින් පණපොවන ලද්දේ මහඇදුරු දිවංගත සනත් නන්දසිරි ගේ මියැසියකටය. හිරිමල් වියේ කන්ද උඩරට අගනගරයේ

දිවිගෙවූ ‘කේ. ඩී. කේ. ඒ නගරයත් නුදුරින් ඇති උප නගරය වූ පේරාදෙණියත් අතර එකම කුඩා දුම්රිය නැවතුම වූ ‘සරසවි උයන’ වේදිකාවේ, අසුන්ගෙන සිටිද්දී දුටු දසුනකින් ඊට ඇවැසි නිර්මාණ ආවේශය ලද බව පසුව හෙළිකර තිබිණි. ‘තෙරපි තෙරපි එකම කුඩය යටින් පියමං කරන සරසවි මානව මානවිකාවන් එහි නිරන්තරයෙන් සැරිසරති.

මහ වරුසාවට, පසුව නැගෙන සඳ ……………..
වෙනදාටත් වැඩියෙන් එළියයි …………..
නෝක්කාඩුවට පසුව ඔබේ වත ……………..
ඒ එළියට වැඩියෙන් එළියයි..

සෝමතිලක ජයමහ සූරීන් එළෙස හඬ අවදිකරන්නේ, සුනිල් සරත් පෙරේරා නම් වූ සොඳුරු කවියා විසින් ගීත ලොවට දායද කළ නැවුම් උපමා රසයක ද ‘රෝහණ ‘වීරසිංහ’ නම් වූ ගාන්ධර්වයාගේ වරුණ ද හෙළිකරමිනි. වරෙක ඒ සඳ අඳුරු වළාවෙන් මෑත්වෙන්නට පෙරාතුව ‘ඔහු අත්දුටු මහ වරුසාව’ සාහිත රස කලසක ගිල්වමින් ඔහු වරෙක මෙසේ ලියා තිබුණි. ඒ 60 – 70 දශකයන්හි ගීත ලෝලීන් හද දිනූ ගායනවේදී ‘අතුල සෝමසිරි’ වෙනුවෙනි.

වැහි කුමරිය වළාකුළෙන් බිමට වඩිනවා …………
නල කුමරුන් ආරංචිය ගමට කියනවා ……………
තම්මැට ඩංකුටු ඩංකුටු නාද නගනවා …………
ළිඳ වටකරගෙන මැඩියන් … සිංදු කියනවා…………….

ගොම්මන් යාමය එළඹෙන්නට පෙරාතුවම කඩාහැළෙන මතුකී ‘මහවරුසාවන්’ අඳුර රජයන නිශා යාමය සිහිළසකින් පොරවමින් කෙමෙන් ‘සිරිපොදවැසි’ බවට හීන වී තුනී වී යද්දී, නිවහන් තුළ ගුලිවූවන්හට එහි වගක් නැත්තේය. එහෙත් පෙර දාක පහන් කණුවක හෝ ඉඳහිට මතුවෙන රථ පහන් එළියක අබිමුවෙදී ‘මීවිතකින්’ ගත උණුසුම් කරගත්තෝ විදිසරන දසුන ඇස කරා ඇදෙයි.

සිරිපොද වැස්සේ රාත්‍රියේ ……………..
පහන් කණුව යට ඔබ හැමදාමත් …………….
රැගත් සුරා පිරූ විතින් …..
පුවත් නොදැන බමන ගතින් ………
සුරත් තඹුරු පෙති සේ නෙතින් ………………..

මහඇදුරු සුනිල් ආරියරත්න එලෙසින් සටහන් කළේ ද 70 දශකයේදීය. සංගීතවේදී නැසීගිය සරත් බාලසූරිය ගේ ජවසම්පන්න මියැසියකින් හැඩගැන්වුණු එහි හඬ ආචාර්ය නන්දා මාලිනියගෙනි. හෙළ සාහිත කෙතේ පහළ වූ මරකත මිණි ගෙත්තමකි, කිතු වසින් 1460 පමණ යුගයේදී වෑත්තෑවේ හිමියන් එක සිරූවට සංයමයෙන් තෝරාගත් හෙළ පද නියමිත පරිදි එකිනෙක අමුණා ගෙතූ, විචිත්‍රවත් ගුත්තිල කාව්‍යය. ඊට පෙම්බැඳි මෑත ඉතිහාසයේ සාහිතකරුවන් එමටය. ඔවුන් ගුත්තිල කාව්‍ය සංග්‍රහයට ණයගැතිය. නිශා යාමයේ, පියඹ සහ දරු පැටවුන් හා කැදැලි නොවී, විදී සරමින්, තැන තැන ළතවෙන, සුරාධුර්තයකු ගේ පුවත ගෙනහැර දක්වන මහඇදුරු ආරියරත්න ඒ පුවත එහි බහලන්නට ඇත.

රැගත් සුරා පිරූ විතින්………
සුරත් තඹුරු පෙති සෙ නෙතින්……….
පුවත් නොදැන බමන ගතින්……..
නටත් අයෙක් සුරා මතින්…

(ගුත්තිල කාව්‍යය – සැණකෙළි වැනුම)

දිවංගත සංගීතවේදී ‘සරත් බාලසූරිය’ කලාකරුවා මෙහි වදනකින් හෝ සිහිකටයුතුය. ආචාර්ය නන්දා මාලිනී 70 දශකයේදීම තමාගේ ගීත උදෙසා තමන් විසින්ම සිදුකරමින් පැවත ආ ‘තනු සහ සංගීත සංයෝජන’ කර්තව්‍යයෙන් බැහැර වෙන්නට අදහස් කරන්නී, ඒ භාරදුර කටයුත්ත වෙනුවෙන් තොරාගත් ශිල්පියා ඔහුය. ඒ කිනම් භාරදුර කර්තව්‍යයක්ද යත්, ඕ තමෝ සිය මංගල ප්‍රාසංගික ගී සමාධිය ‘ශ්‍රවණ ආරධනා’ හි ගැයෙන තේමා ගීතයේ ස්වර රචනය ඔහුවෙත පැවරිය (මල් හිනා පවන් සලා………..වේදනා විඩා නිවා………..),

බැතිමත් පිරිස්, බුදු පුදට නෙළන කුසුම් මත අතුරනීපිණි බිඳු මෙන්, සොබාදහම් මාතාවද හිමිදිරියේ බුදුපුදට සැරසෙන්නී, පොළෝ තලයේ පිපි දිදුලන නෙක කුසුමන් මත පිණි බිඳු තවරයි. ශ්වෙත වර්ණ ‘බිම්මල්’ මත විසිරුනු තුෂර බිඳු, ‘ස්වර්ණ ශ්‍රී බන්ඩාර’ කවියාණෝ ‘සුදු පාටින් මුතුකුඩ ඉහළා ඇති’ ලෙසින් දකිති. ළතෙත් හදවත් ඇති කලාරසවතුන් හට මුළු සොබාදහමම මහ කාව්‍යයකි. එනයින් පවසයි,

වැහි පොද වැටිලා ………. බිම මල් පිපිලා …………..
සුදුපාටට මුතු කුඩ ඉහලාලා …..
සුදුමුතු කුඩයට පිණිපාවඩ පිට ……….
කඩියෙක් යනවා රජෙක් වගේ ……

පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේව ගී මියැසි කිකිණි හඬින් රැව්දෙන ගීතයේ හඬ විශාරද නීලා වික්‍රමසිංහ ඇතුළු පිරිසගෙනි.

පරක් තෙරක් නොපෙන්නාසේ විසල් ඉන්දියානු සාගරයේ කොණක මහ භාරත මහ බිම් කඩෙහි අද්දර රැඳී සිටින ‘ලක්භූමි’ තොමෝ කලට වහින වැහි මතුනොව ‘අකලට’ වහින වැහි කොඩයන්ගෙන් ද පොහොසත්ය.

ස්ත්‍රී සොඬකුගේ පුවත මෙසේ කියන වගනම්

අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ…?
වසාගෙන දෙතන අතකින් කිමද නගෝ …?
හිමියෙක් නැති ගමන් තනිමග කිමද නගෝ..?
අම්බලමේ මදක් නැවතී යමුද නගෝ ..?
අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා ..
වසාගෙන දෙතන බිළිඳුගේ කිරි හින්දා …
බාලමස්සිනා පස්සෙන් එන හින්දා ..
යන්නම් අයියන්ඩි ගමරට දුර හින්දා…

එදවස ‘යුවතිය’ තනි ගමන් නොගියා වන්නට ඇත. එසේ යන්නිය මතුකී ලෙස සමාජයේ සැකයට භාජනය වන්නට සුදුසුකම් ලැබුවාය. තමන්ගේ පැසී උතුරා යන රාග ගින්න නිවාගත හැකි යැයි සිතා ස්ත්‍රී ලෝලියා කරන ඇරයුම ඔහුගේ කැලඹුණු සිතුවිලි මදකට සමනය කරවන අටියෙන් යුවතිය ‘අයියන්ඩි’ යැයි ළෙන්ගතු ළයාදර වදනින් ඔහුව අමතන්නීය. එපමකින් නොනැවතී තමාගේ සස්වාමිකත්වය හික්මුනු වදනින් හෙළිකර තමා යන්නේ තනිමග නොවන බව ඔහුට පවසන්නීය. ඒ ජනකවියා ය.

‘මෙම ජනකවි යුගළය සරණකොට ගත් මහඇදුරු සුනිලුන් මේ වගත් වරෙක ලියාතැබූ පුවත නම්

මානවකයා
නගේ නගේ වැහි එනවා පැළට වරෙන්නේ ………..
අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ …………
යුවතිය
වැහි බීරුම හීන් පොදයි ඇඟේ වදින්නේ ………….
මහ වැස්සට ගෙට එන්නයි හනික දුවන්නේ ……………..

මෙහි භාෂනයේ යෙදෙන මානවකයා ‘ආචාර්ය වික්ටර් රත්නායක’ ය. යුවතිය ‘විශාරද නීලා වික්‍රමසිංහ’ සංගීතචාර්යවරියයි. නාද රසය පන්ඩිත් අමරදේවයන් ගෙනි.

මතු කී ‘විශාකාතෙමෝ’ එදවස වැහිකෝඩය හමුවේ පෑ හික්මීම, ඉන් දහස් වසකට පසුවද, ලාංකීය සමාජය හිරිමල් යුවතියකගෙන් අපේක්ෂා කළේය. වැස්සකට තෙමෙමින්, ආවරණයක් නොලබා, නොපතා, ගමනෙහි යෙදුනු අද යුවතියකට වඩා එදා යුවතිය, වැඩිහිටියන්ගේ, දොස්පරොස්වලට ලක්වන්නට සිදුවිය. මින් අඩසියවසකට පෙර දිවිගෙවූ සමාජයේ, වස්ත්‍රාභරණ විවිධත්වයෙන් හීන වූ යුගයේ, නාගරික යුවතියක් ‘ගවුමකින්’ හෝ ඇතැම්විට සායකින් හෝ බ්ලවුසයකින් සැරසී සිටිද්දී, ගැමි දැරියන් නොවරදවා ‘ගවුමකින්’ හා තරුණ්‍යයෙන් දුරස් නොවූ ඔවුන්ගේ සොයුරියන්, මව්වරුන් ‘රෙදි-හැට්ට’ ඇඟලාගෙන සිටියහ.

එවැන්නියක් වැස්සකට හසුවී නම් මතු කී වැඩිහිටි කාන්තාවක් එදා කුමක් පවසනු ඇද්ද ?

බලාපල්ලාකෝ …….. යන ලස්සන……වැස්සට තෙමි තෙමි………. හරි අපූරුයි………….’

එවැනි දැරියක් ඇඟලා සිටි වස්ත්‍රය, විසින් සොබාදහම ඇයට දායාද කොට දුන් දේහ ලාලිත්‍යය තියුණු ලෙස උගුළුවා උපුටා දක්වද්දී, එහි අසිරිය නරඹන උකුසු ඇස් වදුළු අතරින්, පඳුරු අතරින්, කවුළු, දොර පියන්පත් අතරින් ඇයට එල්ල වෙයි. ඒ බව ඇය නොදනීද ?

මෙකී අවදියේ පැවතුනු, සිංහල ගීතාවලියේ මල්වසන්තයේ එහි සුගන්ධවත් ගී කුසුම් පුබුදුවාලූවන් අතර ‘අජන්තා රණසිංහ’ නාමය අමරණීය වෙයි. ‘වයඹ’ ඉසව්වේ ගැමි පරිසරයක ළපැටි විය ගෙවාදැමූ ඔහුගේ දෙසවනටද මතු කී වදන් පෙළ ළඟාවන්නට ඇත. ඒ වැස්සට තෙමීගෙන ගිය ලඳට ආරුඪ වූ ‘අජන්තා’ ගේ ‘විකසිත වූ පරිකල්පනය’ ඔහුවෙත එහෙයින් දායදා කොට දුන් පැදිපෙළ නම්,

වැස්සට තෙමි තෙමි ……………. මා යන ලස්සන ……………
කවුළු දොරින් කවුදෝ බලනවා ……………..

කම්නැත, ඇය කවර නම් හෝ සන්තාපයකින් පෙළෙන්නියකි. බාගවිට, ඇයගේ හදවත පැහැර ගත් ඔහු පසුව ඇයව හුදකලා කර දැමුවා වන්නට හැක? ඒ බව කියා සිටින්නට ගී පද රචකයාගේ අසමසම ප්‍රතිභාවය පොළඹවන්නේ එය දෙපදයකින් පමණක් පවසනු සෑහෙන බවකි.

‘පාඵ හදවතේ …’
ඉන් අනතුරුව ඇය වැඩිදුරටත් පවසන්නී
‘පාළු මාවතේ… පාළුව තනිකම වියැකී යනසේ……….
වැස්ස වහිනවා ……….වැස්ස වහිනවා………………

70 දශකයේ මතුකී ගී මල් වසන්තයේ පිපී ආ අනේනාකාර ගී පුෂ්පයන් අතර, මෙකී ‘වැස්ස’ ගීතය, අපූර්වත්යකින් හෙබියේය. ‘වැස්ස’ නම් වූ සොබාදහම් මතාවගේ මෙවළම දෙස නව මානයකින් නිර්මානාක්ෂිය යොමුකළ කවියෙකුගේ නැවුම් නිර්මාණයක් වූ එය ගීයක් ලෙස හැඩවැඩ ගැන්වූයේ එහි ගායන මාධූර්යය පෙළහර පෑ ආචාර්ය සුජාතා අත්තනායකයන්ගේ දයාබර සැමියාණන් සංගීතවේදී නවරත්න අත්තනායක විසිනි. ඔහුද ඊට අවැසි ජවය කුළුගන්වා ගීයේ හැඩතල බිඳකුඳු හෝ නොබිඳෙන පරිද්දෙන් එය සත්සරයෙන් පිරියම් කර ඇති සේය.

ඇදහැළෙන වැහිකෝඩයේ මහිමය මතුකරන්නේී‘වයලීන් කණ්ඩායම’ විසිනි. ඊ පහර මෙන් බිමකඩ මත එකපිම්මට එක සිරූවට ඇදහැළෙන වැහි බිංදු විසින් නංවන ඝෝෂාව එයින් මනසේ මනාව සිතුවම් කරයි. ශ්‍රාවකයාහට තමන් මහ වැස්සකට මැදිවී කොටුවී ඇති බවක් දැනෙන්නට සළස්වයි. එපමණක් නොව, ස්වර රචනය අනුව උස් පහත්ව මතුවී නැගී තුනී වී යන ඒ නාද රටාව, මහවැස්සක් හා අත්වැල් බැඳගෙන එන සුළං කෝඩයක රුව ගුණ මතුකරයි.

මෙතෙක් පෙළගස්වන ලද ‘වැසි ගීතාවලියේ ගැබ්වුණු සංසන්දනාත්මක අපූර්වත්වයක් ඇතිසේය. ඒවා අතරින් ඇතැම් නිර්මාණ සෞන්දර්යාත්මකය තවත් ඒවා සොඳුරු අත්දැකීමකින් විචිත්‍රවත්ය. ‘වැස්ස’ නම් වූ සොබාදහමේ ස්වභාවික සංසිද්ධීය පාදක කොටගෙන, තම මනසේ ඇඳුනු දසුන් වෙතින් ඔවුහු රසපූර්ණ පදමාලාවන් ගෙතූහ.

මේ රමණීය ගී කුසුම් විකසිත වී අඩසියවස් යුගයකට ආසන්න වෙමින් පවතිද්දී, එදාමෙදා තුර ‘මොර සූරන වැහි’ දහසකට මුහුණ දුන් විටකදී, මාරුතයෙන් සන්නද්ධව ජවයෙන් ඇදහැළෙන ඒ වැහි අතරවාරයේ මෙම ගීතයද එහි නාද රටාවද යළි යළිත් මතුවී නැගී සිතුවිලි රේඛා අතරට පිවිසෙයි. ඒ එදවස නිර්මාණකරුවන්ගේ අසමසම ප්‍රතිභා කෞෂල්‍යයයි.

● ප්‍රභාත් රාජසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment