විරෝධතාවේදී  හමුදාවෙන් පැහැර ගත් ටී.56 දියවන්නාවෙන් ගොඩගැනේ

137

පාර්ලිමේන්තුව අසල විරෝධතාව පැවැති අවස්ථාවේ යුද හමුදා සෙබළුන් දෙදෙනකුට පහරදී පැහැරගත් බව කියන ටී. 56 ගිනි අවි දෙකෙන් එකක් පොල්දූව සමනල පාලම අසල දියවන්නා ඔයේ ගිල්ලවා තිබියදී නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් පෙරේදා (24දා) සොයාගෙන ඇත.

මෙම ටී. 56 අවියට සවිකර තිබූ මැගසිනයද එහිදී සොයාගෙන තිබේ.

අරගලකරුවන් පිරිසක් විසින් හමුදා සෙබළුන්ට පහරදී පැහැරගත් අවි ආයුධ දියවන්නා ඔයට දැමූ බවට ලැබුණු තොරතුරු මත නාවික හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් කළ සෝදිසි මෙහෙයුමකදී මෙම අවිය හමුවී තිබිණි. සොයාගත් ටී. 56 අවිය සහ මැගසිනය වැලිකඩ පොලිසියට භාරදී ඇත.

අතුරුදන් වූ අනෙක් ගිනි අවිය සහ පතරොම් තොගය දියවන්නා ඔයට දමන්නට ඇති බවට සැකකරන අතර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඉකුත් 13 වැනිදා අරගලකරුවෝ පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කර දැවැන්ත විරෝධතාවක නිරත වූහ. එහිදී හමුදා සෙබළුන් දෙදෙනකු අරගලකරුවන්ගේ දැඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ අතර පැහැරගෙන තිබුණේ එසේ පහරකෑමට ලක්වූ සෙබළුන් දෙදෙනා සතුව තිබූ ටී. 56 ගිනි අවි සහ ජීව උණ්ඩය.

වැලිකඩ පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment