ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 34 ක්

86

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට පෙත්සම් 34 ක් අධිකරණය වෙත ඉදිරිපත් වී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17දා) දැනුම් දුන්නේය.

එම පෙත්සම්වලින් 04 ක් පසුගිය 04 දා සහ 06 දා ලැබී තිබූ අතර පසුව පෙත්සම් 30ක් මේ වන විට ලැබී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

ඔන්ලයින් කෙටුම්පතට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගෙනුත් පෙත්සමක්

ඊයෙන් කාලය අවසන් වෙද්දී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 50 පනී

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් පස් දෙනෙක්, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් සිව්දෙනකු ද සමඟ ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකරනු ලැබූහ.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන, ලේකම් එම්.එෆ්.එම්.ෆසීර්, කැඳවුම්කරු ශාලික විමලසේන, භාණ්ඩාගාරික නිරෝෂ් මෛත්‍රී සහ උප සභාපති බී. නිරෝෂ් කුමාර් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු සහ ඒ පිළිබඳ ජාත්‍යන්තර පුහුණුකරුවකු වන රුකී ප්‍රනාන්දු, මානව හිමිකම් පිළිබඳ නීතිඥ සහ ක්‍රියාකාරිකයකු වන සුරේන් ඩී. පෙරේරා, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු, බලපෑම්කරුවකු සහ නීති ශිෂ්‍යයකු වන අනුරුද්ධ බණ්ඩාර, නීති උපාධිධාරිනියක වන ඩිෂාරා ප්‍රනාන්දු යන පිරිස SC/SD/120/23 අංක දරන මෙම පෙත්සමේ පෙත්සම්කරුවෝ වෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය, වධ හිංසාවලින් සහ මානසික පීඩාවලින් ආරක්ෂාවීමට ඇති අයිතිය, වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂාවීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් රැසක් මෙම පනත් කෙටුම්පතින් උල්ලංඝනය වන බවත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සමේ සඳහන්ය. කෙටුම්පතේ සඳහන් වන ආකාරයට ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසමකට අධිකරණ බලතල ලබාදීම මගින් ද පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කරුවෝ සඳහන් කරති.

එම නිසා මෙම කෙටුම්පත නීතියක් බවට පත්කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සමඟ ජනමත විචාරණයක් ද අවශ්‍ය වන බවට තීන්දුවක් ලබාදෙන්නැයි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

පසුගිය 03දා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලද මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකිරීමේ දින 14ක කාලය ඊයෙන් අවසන් විය. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් 34 ක් ඉදිරිපත් වී ඇති බව ඊයේ පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍ය වෙත පවසා තිබිණි. එහෙත් ඊයේ පස්වරුව වන විට මෙම කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 50 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබිණි. ජනමාධ්‍ය සංවිධාන, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීතිඥ සාමූහිකය සහ ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තික සංවිධාන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සිවිල් සහ රාජ්‍ය නොවන සංවිධාන විවිධ වෘත්තිකයන් රැසක් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment