පරපුටු අසමතුන්ට බලයේ සිටීමට අයිතියක් නෑ

210

නිදහස් ජනතා සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය
ජනගත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියයි

මාර්තු 9 වැනිදාට, මේ පරපුටු අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට අයිතියක් නොමැති බව පෙන්විය යුතුව ඇති බවත් ඒ සඳහා අනිවාර්යෙන්ම රට වළපල්ලට ඇදදැමූ බැසිල් රාජපක්ෂලාගේ ‘පොහොට්ටුව’ පළාත් පාලන මැතිවරණයේදී බිංදුවට වට්ටවා, පවුල් පාලනයේ ක්‍රියාන්විතය නතර කළ යුතු බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කොළඹ කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවති නිදහස් ජනතා සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ නිල තේමා පාඨය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“මාර්තු 9 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ ඉතාම තීරණාත්මක අර්බුදයක ගොදුරක් බවට පත්ව සිටින අවස්ථාවක. ඒ ආර්ථික අර්බුදය අද දේශපාලන අර්බුදයක් නිර්මාණය කරලා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ පාලනය ගෙන ඒමටත්, ‘යහපාලන’ පාලනය ගෙන ඒමට වක්‍රවත් ජනතා විමුක්ති පෙරමුණ හවුල් වුණා. ගෝඨාභය රාජපක්ෂ පාලනය ගෙන ඒමට අපි හවුල් වුණා. එසේ හවුල් වුණත් 69 ලක්ෂයේ ජනවරමට පටහැනිව යන සෑම අවස්ථාවකදීම තනතුරුවලට අනතුරක් වෙයි කියලා චකිතයෙන් නොසිට සත්‍ය තත්ත්වය වෙනුවෙන් අපි කතා කළා, පෙනී සිටියා. ඒ නිසයි අපට අද සදාචාරාත්මක අයිතියක් තිබෙන්නේ මේ රටේ දේශපාලනයේ ඊළඟ පරිච්ඡේදය අලුතින් නිර්මාණය කරන්න ඕන කරන මගපෙන්වීම සපයන්න.

දැන් වෙනත් බාහිර රටවල් බලනවා මේ අර්බුදය තමන්ගේ අරමුණු වෙනුවෙන් යොදාගන්න. ආණ්ඩුව බලනවා, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ අර්බුදය යොදා ගන්න, විවිධ පාර්ශ්ව බලනවා මේ අර්බුදය තමන්ගේ උපායමාර්ගික සැලසුම්වලට අනුව යොදාගන්න. ඒ අනුව තමයි ආණ්ඩුව බලන්නේ මෙතෙක් කලක් විකුණා ගැනීමට නොහැකි වූ සියලු රාජ්‍ය සම්පත් සහ ජාතික සම්පත් කුණුකොල්ලයට විකුණා දමා කීයක් හෝ කඩා වඩා ගන්න. පෞද්ගලීකරණය කියන්නේ අතමිට සරු වන ව්‍යාපාරයක්. ආණ්ඩුව බලනවා දැන් ඒක කරන්න. අපි හොඳටම දන්නවා, බලශක්ති අමාත්‍යාංශය නැව වුවමනාවෙන්ම මුහුදේ තබලා ප්‍රමාද ගාස්තුව ගෙවන බව. ප්‍රමාද ගාස්තුවෙන් 60%ක් ගොඩබිමට; 40%ක් නැවට. මේ තමයි මේ පිරිස අර්බුදය පාවිච්චි කරන විදිහ. මෙවැනි චෞර රැලකට මෙවැනි අර්බුදයක් පාවිච්චි කිරීමට ඉඩ දී බලා සිටීම වැරදියි.

ඒ නිසා තමයි ආණ්ඩුව විවිධ උත්සාහයන් දැරුවත් නොවැළැක්විය හැකි ලෙස මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණයේදී ‘මේ පරපුටු, අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට සදාචාරාත්මක අයිතියක් නැහැ‘ කියලා පෙන්විය යුත්තේ. එම ඡන්දයේදී අපි අනිවාර්යයෙන් කළ යුතු දේවල් දෙකක් තිබෙනවා. එකක් තමයි පොහොට්ටුව බිංදුවට වට්ටන එක, අනෙක පවුල් පාලනයේ ක්‍රියාන්විතය එතැනින්ම නතර කරන එක. අදටත් පොහොට්ටුව මෙහෙයවමින් සිටින බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ එක්රැස් කරගෙන තිබෙන දේපළ ලැයිස්තුව අපි මේ රටට ඉදිරියේදී හෙළිදරව් කරන බවත් මේ මොහොතේ දී කියන්න ඕනේ.

එසේම මෙම නිල තේමා පාඨය ජනතාව ඉදිරියේ තබමින් එමගින් අවධාරණය කෙරෙන අභියෝගය ජය ගැනීමට මෙවර පළාත් පාලන මැතිවරණ ඇරඹුමේ සිටම එක්ව සටන් වැදීමට මෙරට ප්‍රගතිශීලී, වාමවාදී, ජාතිකවාදී සියලු ජනකොටස් වෙත ඇරයුම් කරන බව නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව මෙහිදී පැවසූහ. මෙම අවස්ථාවේදී නිදහස් ජනතා සන්ධානයේ නිල ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් එළිදැක්වීම ද සිදුවිය.

ජනජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස්, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා යන නිදහස් ජනතා සන්ධානයේ විධායක සභිකවරු ද මෙහිදී කෙටි දෙසුම් පැවැත්වූහ.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment