ආර්ථිකය සෘණාත්මකද ..?

206

ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවට ලෝක බැංකුව විසින් පසුගිය ඔක්තෝම්බර් 3 වැනිදා අඅඅගඅදරකාඉ්බනගදරට යන තම වෙබ් අඩවිය හරහා අනාවැකි දක්වා ඇත. මෙහිදී; උද්ධමනය අඩු වීම, සංචාරක ආදායම් වැඩිවීම සහ රුපියලේ අගය ඉහළ යෑම ශ්‍රී ලංකාව මෑත කාලීනව ලබන ලද ජයග්‍රහණයන් ලෙස දක්වා ඇත. 2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.7% කින් ප්‍රසාරණය වනු ඇතැයි ලෝක බැංකුව මේ වනවිට අපේක්ෂා කරන අතර, එම අගය මීට පෙර පුරෝකථනය කර තිබූ අගයට වඩා ඉහළ අගයක් වේ. මීට අමතරව, ලෝක බැංකුව 2023 වසර සදහා 3.8% ක මෘදු ආර්ථික හැකිලීමක් බලාපොරොත්තු වන අතර එයද පෙර ප්‍රක්ෂේපනය කරන ලද ආර්ථික හැකිලීමට වඩා අඩු තත්ත්වයක් වේ.

මේ අතර ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් 2023 වසර සඳහා 2% ක මෘදු ආර්ථික හැකිලීමක් පුරෝකථනය කර ඇති අතර 2024 දී 3.3% ක ආර්ථික වර්ධන වේගයක් පුරෝකථනය කරමින් ඉහළ ශුභවාදී මගක ගමන් කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් – රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර සංඛ්‍යා ලේඛණවලට අනුව 2023 මාර්තු සිට මේ දක්වා 12% කින් ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය ලංකාවේ ආර්ථිකයට නව බලාපොරොත්තුවක් ගෙන දෙන අතර, මෙමගින් රජයට මෙන්ම ජනතාවටද විවිධ ප්‍රතිලාභ හිමි වේ. විශේෂයෙන් ආනයන වියදම් අඩු වීමද, ආනයනික නිෂ්පාදනවල මිල අඩු වීම ද සිදු විය හැකි බවට බලාපොරොත්තු දැල්විය හැකි වේ. එපමණක් නොව, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ආර්ථික වර්ධනයට ඉවහල් වන විදේශ විනිමය වෙළෙඳපොළේ ස්ථාවරත්වය පිළිබඳවද ධනාත්මක බලාපොරොත්තු මෙමගින් ඉහළ නංවයි.

ඉහළ මිල ගණන් හේතුවෙන් පාරිභෝගික ඉල්ලුම දුර්වල වී ඇතත්, ආනයනික උද්ධමනය හේතුවෙන් ව්‍යාපාර ඉහළ යෙදවුම් පිරිවැයකට මුහුණ දී සිටීම – බඩු මිල පහත නොවැටීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත. නමුත්, 2022 සැප්තැම්බර් මාසයේදී 69%ක වාර්තාගත ඉහළ අගයක් ගත් ශ්‍රී ලංකාවේ උද්ධමනය පසුගිය කාලය පුරා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. මෙම සතියේ නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 1.3% දක්වා අඩු වී ඇත. රටේ උද්ධමනය අඩු වෙමින් පවතින නමුත් එදිනෙදා අවශ්‍ය වන භාණ්ඩ මිල තවමත් ඉතා ඉහළ මට්ටමක පවතී. කෙසේ නමුත් මෙම උද්ධමනය පහත වැටීම,

පසුගිය වසර කිහිපය තිස්සේ ඉහළ යන බඩු මිල සමඟ අරගල කරන සාමාන්‍ය මහජනතාවට ඉදිරියේදී සහනයක් වනු ඇති බවට උපකල්පනය කළ හැකි වේ.

ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් තවත් සතුටුදායක සිදුවීමක් ලෙස, විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික විදේශිකයන්ගෙන් ලංකාවට ගලා එන මුදල් මෑත මාස කිහිපය තුළ ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. මෙම මුදල් රටේ ආර්ථිකයේ ජීවනාලිය ලෙස කටයුතු කරමින් රටේ ආර්ථිකයට මේ මොහොතේ අත්‍යවශ්‍ය වන ජවය සපයා ඇත. 2022 දී ඩොලර් බිලියන 8 සිට 2023 දී ඩොලර් බිලියන 9 දක්වා වන මෙම වැඩිවීම ශ්‍රී ලංකා ආර්ථිකයේ දීප්තිමත් අනාගතය පිළිබඳ බලාපොරොත්තු දනවයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය තීරණාත්මක ලෙස අඩු මට්ටමක පවතී. කෙසේ වෙතත්, පෙර වසරවලට සාපේක්ෂව මෑත මාස කිහිපය තුළ සංචිතවල සුළු වැඩිවීමක් දක්නට ලැබෙන අතර, එය රටේ අනාගත මූල්‍ය තත්ත්වය ස්ථාවර වීමේ සුබ ලකුණු පහළ කර ඇත. ශ්‍රී ලංකා රජය සහ මූල්‍ය ආයතන මෙම අරමුදල් පරිභෝජනය සඳහා පමණක් යොදා නොගෙන ඵලදායී භාවිතයන් සඳහා කාර්යක්‍ෂම ලෙස යොමු කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිපල ලබාගත හැකි වනු ඇත. මෙම මුදල් – ව්‍යවසායකත්වය, කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත වැනි ආර්ථිකයේ ජනනිය අංශයන් වෙත යොමු කළ හැකි අතර එමගින් ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය පෝෂණය කිරීම සිදුකළ හැකි වේ.

ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ් (Faris Hadad-Zervos) මහතා ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව කරුණු දක්වා ප්‍රකාශ කර සිටින්නේ; “ආර්ථික අර්බුදය ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව තීරණාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරල තියෙනවා. තිරසාර වර්ධනයක් ඇතිකිරීම සඳහා අඛණ්ඩව අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීම ඉතා වැදගත් වෙනවා. මහජන විශ්වාසය ගොඩනැඟීමට ප්‍රතිසංස්කරණවල වියදම්වල විනිවිදභාවය ඇතිකළ යුතු වෙනවා” යනුවෙනි.

මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ; “නිතරම බඩුමිල වැඩිවීමත් එක්ක රටේ ආර්ථිකය හොඳ තත්ත්වයක නැති බව අපි කාටත් තේරෙන දෙයක්, ස්ථාවර වැටුප් ගන්න ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයකින් මිරිකිලා ඉන්නේ. ලෝක බැංකුව පෙන්නලා තියන දත්ත එක්ක සුබ අනාගතයක් පේනවා, කොහොම වුණත් රටේ අපි හැමෝම එකතු වෙලා, ජාතික නිෂ්පාදනයට කරන දායකත්වය තමන්ට හැකි පමණින් වැඩි කිරීම තමයි මහජනතාව විදියට අපිට කරන්න තියෙන්නෙ, ඒ වගේම ජාතික නිෂ්පාදනය තුළ අපනයන අභිමුඛ නිශ්පාදන ඉහළ නංවාලීම, අගය එකතු කළ සංචාරක සේවා සහ රාත්‍රී ආර්ථික ක්‍රියාවලීන් උත්තේජනය කිරීම තුළින් රටේ අනාගත ආර්ථික බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් වෙනවා”

රටේ අනාගතය පිළිබඳව සුබවාදී අපේක්ෂා එසේ තිබියදී, ආර්ථිකයේ යථාර්ථවාදී අනාගතය තවමත් සැලකිය යුතු අවිනිශ්චිතතාවයකින් වැසී ගොස් ඇති බව ලෝක බැංකුව විසින් තවදුරටත් පෙන්වාදී ඇත. රටේ ආර්ථිකය ප්‍රකෘති තත්ත්වය කරා යන ගමන සංකීර්ණ ප්‍රහේලිකාවක් ලෙස පවතින අතර, එම ප්‍රහේලිකාවේ කොටස් නිසි තැන්වලට දැමීමෙන් පමණක් එම ප්‍රහේලිකාව සාර්ථක කරගත හැකි බව වගකිවයුතු පාර්ශ්වයන් අවධාරණය කරගත යුතු වේ.

ආචාර්ය – ඩබ්ලිව්. කේ. කොළඹගේ
www.wkcolombage.com

advertistmentadvertistment
advertistmentadvertistment