ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ගෙන්වූ ඉන්ධන නැව් ප්‍රමාද ගාස්තු ඩොලර් ලක්ෂ 500 පනී!

299

ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ මෙරටට ගෙනා ඉන්ධන නෞකා සඳහා ඉකුත් මාස හතර හමාරක කාලයේදී ගෙවීමට සිදුවී ඇති ප්‍රමාද ගාස්තු, ද්විත්ව හැරවුම් ගාස්තු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ලක්ෂ 500 ඉක්මවා ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

මේ වනවිටත් කොළඹ වරායේ ඉන්ධන නෞකා තුනක් නැංගුරම්ලා තිබෙන අතර එම නෞකා සඳහා ද තවත් ඇමරිකානු ඩොලර් ලක්ෂ හතළිහකට ආසන්න ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බව ද ඒ මහතා කීය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය මත ලබාදුන් ඩොලර් මිලියන 500ක ඉන්ධන තොග ලබා ගැනීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් මෙරටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන ඇණවුම් කළත් ඊට අදාළව ණයවර ලිපි නිකුත් කිරීම පමාවීම නිසා නිරපරාදේ මෙලෙස ප්‍රමාද ගාස්තු ගෙවන්නට සිදුවී ඇතැයි ද ආනන්ද පාලිත මහතා පැවසීය.

ඉකුත් මාර්තු 28 වැනිදා ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ගෙන්වාගත් පෙට්‍රල් (ඔක්ටේන් 92, ඔක්ටේන් 95) නෞකාව දින 50ක් තිස්සේ කොළඹ වරායේ තිබෙන බවත් ඊට අමතරව මෙටි්‍රක් ටොන් 89,000ක් අඩංගු බොරතෙල් නෞකාවක් අප්‍රේල් 25 දා සිට වරායේ තිබෙන බවත් පැවසූ ඒ මහතා ඊට අමතරව දැවිතෙල් මෙටි්‍රක් ටොන් 30000ක් අඩංගු නෞකාවක් ද දින අටක් තිස්සේ වරායේ තිබෙන බව ද කියා සිටියේය.

ඉන්දීය ණය පහසුකම යටතේ මෙරටට අවශ්‍ය ඉන්ධන ලබාදීමට එකඟතාවකට පැමිණ තිබියදී මේ ආකාරයට ප්‍රමාද ගාස්තු ගෙවමින් ක්‍ෂණික මිලදී ගැනීම් කරන්නේ කොමිස් ලබා ගැනීමට බව ද ඒ මහතා පවසයි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment