අපි කොහොමද අකුරු කරන්නේ – දැයේ දරුවෝ

230

ෆයිල් කවරය  රු. 100 කට නැගලා

රු. 160 ට තිබූ  පිටු 200 සී. ආර්. පොත  රු. 400 ඉක්මවලා

පේපර් කට්ටලය රු. 1500 පැනලා,  පාට පැන්සල් පෑන් මිලත් ඉහළ ගිහින්


උපකාර පොත්  මුද්‍රණයත් නැවතිලා

කඩදාසි අර්බුදයෙන්  පොත් ප්‍රකාශකයනුත් හාන්සියි

ජනපති  අධ්‍යාපන ඇමැති  අවධානය පතති

දිවයින ජන දුක

පොත් පත්, ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ ශීඝ්‍ර ලෙස මිල ඉහළ යමින් පැවතීම හේතුවෙන් පාසල් අධ්‍යාපනය බරපතළ ලෙස කඩා වැටීමට ලක් වෙමින් පවතින බව දෙමව්පියන් හා දූ දරුවන් පවසති.

අපි කොහොමද අකුරු කරන්නේ - දැයේ දරුවෝ



දිනෙන් දින පොත් මිල ඉහළ යෑම තමන්ට දරාගත නොහැකි බවයි දෙමාපියන් පෙන්වා දෙන්නේ.

පොත් පත් නිෂ්පාදනය කරන ආයතන විවිධ මිල ගණන් යටතේ සැපයුම් කිරීමෙන් පොත් මිලදී ගන්නා අය දැඩි ලෙස අසරණ වන බවත් ඒ හේතුවෙන් රජය විසින් සහතික මිලක් පැනවිය යුතු බවද පොත් අලෙවි හල් හිමියන් පවසති.

රුපියල් 450 ට තිබූ පේපර් කට්ටලය 1500 දක්වාත්, රුපියල් 160 ට තිබූ පිටු 200 ක්‍ඍ පොතක මිල 400 – 500 දක්වා මිල ඉහළ ගොස් ඇති බවද මෙලෙස විවිධ ගම් වර්ග, පාට පැන්සල්, පාට කූරු, දිය සායම් ඇතුළු සියලුම පාසල් උපකරණ සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන බවද පෙන්වා දෙති.

පොත් අලෙවි හල් ව්‍යාපාරිකයකු වන කවින්ද ලක්සිරි ධර්මසේන

රටේ ජීවනාලිය කියන්නේ අධ්‍යාපනය. අධ්‍යාපනය නිසි ලෙස ගොඩනැඟුනොත් තමා රටක් ඉදිරියට යන්නේ. ඇත්තටම අද අපි ලොකු අසීරුතාවයකට, අභියෝගයට මුහුණ දීලා තියෙනවා පොත්පත් විකිණීමේදී. දෙමාපියන් සහ දූ දරුවන් නඟන චෝදනා සම්බන්ධව. ඒගොල්ලො හැමදාම ප්‍රශ්න කරන්නේ දිනෙන් දින මිල ඉහළ යන පොත් මිල සහ පාසල් උපකරණ සම්බන්ධව. සමහර දවස්වලට දෙමව්පියන් දූ දරුවන් මිල ගණන් අහලා ප්‍රමාණවත් මුදල් නැති නිසා ආපසු හැරිල යනවා. අපි හරියට අසරණ වෙනවා ඒ අවස්ථාවේ. ඇත්තෙන්ම මම සමහර දූ දරුවන්ට සල්ලි නැතුව පොත්පත් දීලා තියෙනවා. ඇත්තටම අද රුපියල් 200 ට තිබුණ පොත රු.600යි, 650යි. අනිත් දේවල්වල මිලත් ඒ හා සමානයි. පොත්පත්වල කිසිම මිල පාලනයක් නෑ. පොත්පත් නිෂ්පාදනය කරන අය විවිධ මිල ගණන්වලට තමයි අපට පොත් අලෙවි කරන්නේ. ඉතින් මම රජයට යෝජනා කරන්නේ මේ සම්බන්ධව හොයලා බලලා රජය මැදිහත් වීමෙන් සැලකිය යුතු මිලක් අඩු කරල පාලන මිලක් දාලා මේ රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කඩිනම් පියවර ගන්න කියලා.

මේ සම්බන්ධව අදහස් දක්වන දරුවන්ගේ දෙමාපියන්

සුදත්සිරි ලාල්…………

අද ජනතාව කතා කරන්නේ ආහාර ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය එහෙම නැත්නම් ගෑස් ප්‍රශ්නය. නමුත් මෙතනදී තියෙන සැබෑ තත්ත්වය සමහර අයට දැනෙන් නෑ කියලයි මට හිතෙන්නේ. අද මං මේ බුක්ෂොප් එකට ආවෙ මගේ ළමයට පාස් පේපර් කට්ටලක් ගන්න. එදා රුපියල් 400 ට 450 ට තිබුණු පේපර් කට්ටලය රුපියල් 1500 ක් වෙලා. එතකොට අද පාසල් පොත්වල මිල ගණන් පාසල් උපකරණවල මිල ගණන් ගැන කවුරුත් කතා කරන්නේ නෑ. මහ උජාරුවට උසස් අධ්‍යාපනය කියලා කිව්වට පළක් නෑ. පෑනක් පොතක් අරගෙන ළමයින්ට අධ්‍යාපනය දෙන්න සිස්ටම් එකක් අද මේ රටේ නෑ. ඒ නිසා කරුණාකරලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පාසල් උපකරණවල මිල නියාමනයන් හදලා එහෙම නැත්තම් සහතික මිලක් ලබාදීලා ළමයින්ගේ අනාගතය අඳුරු නොකර අපි වගේ දුප්පත් අයට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

එම්. ඒ. නිලන්ති…..

මේ පොත්පත්වල මිල ඊයේ ගත්තු මිල නෙවෙයි අද තියෙන්නේ. ඇත්තෙන්ම අපේ ආදායමට අනුව මෙයාකාරයෙන් වියදම් කරන්න හැකියාවක් නෑ. නමුත් ළමුන්ගේ අනාගතය ගැන හිතලා අපිට ඒ දේවල් නොකර ඉන්නත් බැහැ. හැබැයි කනගාටුයි කියන්න අපි ඒ දේ කරන්නේ සමහරවිට අපේ තියෙන සියලු අවශ්‍යතාවයන් පැත්තකට දාලා. ඒව මොනවද කියලා කියන්නත් දුකයි.

ආර්. ඩී. කාන්ති ………..

අද පැන්සලේ රබර් කෑල්ලෙ මිල වල සිට සියලුම පාසල් ද්‍රව්‍යවල මිල ඉහළ ගිහිල්ලා. විශේෂයෙන් පාසල් සපත්තු විශාල ලෙස මිල වැඩි වෙලා. ඒ වගේම පොත්පත් සියලු දේවල්වල මිල අපිට අද දරන්න බැරි තත්ත්වයක් ඇවිල්ල තියෙන්නේ. අපි ඉල්ලන්නේ ජනාධිපතිතුමා සෘජුවම මැදිහත් වෙලා මේ මිල ඉහළ යෑම පාලනය කරලා සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා.

ජගත් ජයවීර…….

අයියෝ පොත් මිල ගැන කියලා වැඩක් නෑ. මිල අහස උසට නැගල. ළමයිව පාසල් යවන්න විදිහක් නෑ. ඒ අය ගෙදර ඇවිල්ලා එයාලගේ වුවමනාවන් ගැන කියද්දී අපි අන්ත අසරණ වෙනවා. ඇයි මේ වගේ ලොකු ප්‍රශ්නයක් විසඳන්න බලධාරීන් උනන්දුවෙන්නෙ නැත්තේ.

පොත් අලවිහලක ඉදිරිපිට කොල කැඳ විකුණමින් ජීවත් වන ශ්‍රියාලතා ජයසිංහ…….

අයියෝ මහත්තයෝ මෙතනට පොත් ගෙනියන්න එන අය කියන දේවල් අහනකොට කලකිරෙනවා. අද ඉස්කෝලෙකට ළමයෙක් දාන්නෙ කොහොමද. අම්මලා තාත්තලා මේ කාලේ අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් ළමයින්ට උගන්වන්නේ කොහොමද කියලා හිතෙනවා.

පාසල් සිසුන්ගේ අදහස්

අවිශ්ක හසරක

අද අපිට විභාගය. ඉතින් මම ෆයිල් එකක් ගන්න ආවෙ ෆයිල් එකක් රුපියල් සියයක් වෙනවා. පෑනක් රුපියල් තිහයි. අපි කොහොමද ඉගෙනගන්නෙ අපිට අම්මලාගෙන් සල්ලි ඉල්ලන්න බෑ. ඒ අයට බල කරන්නත් බෑ. අම්මා ගොඩක් මහන්සි වෙලා සල්ලි හොයන්නෙ. මට අම්මා ගැන ගොඩක් දුකයි.

දිනූෂා පූර්ණිමල්

අද අපිට පොත්පත් ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒව වගේම තමයි අපිට පාසලට ඕන දේවල් ගෙදර ගිහිල්ලා කියන්න අවශ්‍ය වුණත් ඒව කියන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. සමහර වෙලාවට දෙමව්පියන්ට කියන් නැහැ. අමාරුවෙන් කොහොමහරි ඉගෙන ගන්නවා. නමුත් හැමදේම ඒ විදිහට කරන්න බෑ. අපි අන්ත අසරණ වෙලා තියෙන්නේ. අපි වගේ දුප්පත් කීදෙනෙක් මේ වගේ දුක් විඳිනවද. අපි කරුණාකර බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පොත්පත්වල මිල අඩු කරලා සාධාරණයක් ඉටු කරන්න කියලා.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment