සුබසාධක ප්‍රතිලාභ ගෙවීමට සුදුස්සන් අලුතින් සොයයි

1083

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් අලුතින් හඳුනා ගැනීමට රජය තීරණය කර ඇති බවත් මේ පිරිස ලක්ෂ 39 ක් පමණ වනු ඇති බවට අපේක්ෂා කරන බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (05දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

මේ ප්‍රතිලාභ ගෙවීම සඳහා දැනටමත් තිබෙන මහජන ආධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී යන ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන ප්‍රතිලාභීන්, එම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පවුල් හා පුද්ගලයින් ද ඊට අමතරව වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව ප්‍රතිලාභ අපේක්ෂා කරන සියලු පිරිස් ද ඉලක්ක කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.

මුලින්ම කරන්නේ ප්‍රතිලාභ ලැබිය යුතු නිවැරදි පිරිස් හඳුනා ගැනීම සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම බවත් නිවැරදි පිරිස් හඳුනා ගැනීමෙන් පසු ලබන වසර (2023) මුල වනවිට අදාළ සහනාධාර මුදල් ගෙවීමට හැකිවනු ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ නව ක්‍රමවේදය හරහා නව ප්‍රතිලාභීන් හඳුනා ගැනීම මෙන්ම දැනට තිබෙන සහනාධාර වැඩසටහන්වල සිටින ප්‍රතිලාභීන් ඇගයීමට ලක් කෙරෙන බව ද රජය අපේක්ෂා කරන්නේ සහනාධාර ලැබිය යුතු නිවැරදි පුද්ගලයින් හඳුනාගෙන අදාළ ප්‍රතිලාභ ලබාදීම බව ද මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.

සමෘද්ධි ඇතුළු දැනටමත් ක්‍රියාත්මක ජීවනාධාර වැඩසටහන්වල ප්‍රතිලාභී පවුල් 22,77817 ක් සිටින බවත් ඒ සඳහා ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තවත් පවුල් 10,33940 ක් පොරොත්තු ලේඛනවල සිටින බවත් සඳහන් කළ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් කීවේ ලක්ෂ හයක පමණ පිරිසක් අලුතින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයැදුම් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අප ගත කරමින් සිටින්නේ ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයක් බව ද විශාල පිරිසක් මේ නිසා බලපෑමට ලක් වී ඇති බව ද කියා සිටි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහන ලැබිය යුතු අයට සහන සැලසීමට අතුරු අයවැයෙන් ද විශාල මුදලක් වෙන් කර ඇති බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී සමෘද්ධි, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි සහ සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලයේ සභාපති බී. විජයරත්න යන මහත්වරු ද කතා කළහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment