මං පැන්ෂන් යනවා – වෛද්‍ය බෙල්ලන කියයි

1126

සුළු සේවකයින්ගේ අණසක යටතේ වෛද්‍යවරුන්ට වැඩ කරන්න වෙලා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරාජික පාලනය හමුවේ තමා විශ්‍රාම යෑමට තීරණය කළ බවද සුළු සේවකයින්ගේ අණසක යටතේ වෛද්‍යවරුන්ට කටයුතු කිරීමට සිදුව ඇති බවද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (20 වැනිදා) පැවසීය.

තමා විශ්‍රාම ලැබීමෙන් පසු රජයේ අකාර්යක්‍ෂමතාවට සහ වංචා දූෂණවලට එරෙහිව හඬනගන බවද ඒ මහතා කියා සිටියේය. තවදුරටත් කතා කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙසේ ද කීය.

මට දැන් අවුරුදු 55 ලැබුවා. මම ජාතික රෝහලේ පරිපාලන කටයුතු හොඳින් කරනවා. ඒත් දැන් තියෙන තත්ත්වය අනුව මම විශ්‍රාම යන්න තීරණය කළා. සුළු සේවකයින්ගේ තර්ජන ගර්ජන නිසා විශ්‍රාම යෑමක් නොවෙයි.

මම රෝහලේ අඩුපාඩු පෙන්වා දුන්නා. මත් කුඩු ජාවාරම් හෙළි කළා. වෙන අකටයුතුකම් කිව්වා. මේ එක දෙයක් ගැනවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානයක් යොමු කළේ නැහැ. ඒකයි කනගාටුව.

රටේ ජනාධිපතිවරයාට රෝහල්වල ගැටලු විසඳන්න වුවමනාව තිබුණට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට ඒ ගැන කිසිම හැඟීමක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරාජික පාලනය සමග ගෞරවාන්විත රාජ්‍ය සේවයේ රැඳී ඉන්න අමාරුයි.

කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන බලධාරීන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි කරන තුරු රෝහල් පද්ධතියම දැඩි අවදානමේ. මම කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු නිසයි මට මෙච්චර බලපෑම් එල්ලවෙන්නේ.

රටේ සිවිල් පරිපාලනය බල්ලට ගිහිල්ලා. ජනාධිපතිතුමා ගැසට් පත්‍රිකාවක් ගහලා තියෙනවා සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කියලා. ඩොක්ටර් බෙල්ලනට ට්‍රාන්සර් එකක් දුන්නොත් ඔක්කොම හරි කියලා හිතන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොටසකුත් ඉන්නවා. මේ රෝහල් සේවකයන්ට කනිෂ්ඨ කාර්ය මණ්ඩලය කියලා කියනවා. සුළු සේවකයො කියලා කියනවා. සේවකයා සුළු වුණාට සේවය සුළු කියලා නෙමෙයි කියන්නේ. මේවා ආයතන සංග්‍රහයේ තියෙන වචන. දැන් සුළු සේවකයන්ගේ අණසක යටතේ වෛද්‍යවරුන්ට ඉන්න වෙලා තියෙන්නේ. ඇයි මේ අයට සුළු සේවකයෝ කියලා කිව්වාම තරහ යන්නේ? දේශපාලනඥයන්ගේ හෙංචයියො තමයි මේ රස්සාවට දාලා තියෙන්නේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment