ධර්මද්වීපයේ දරුවන් කතුන් අනාරක්‍ෂිතය

598

අප රට කාලයක් හැඳින්වූයේ ධර්මද්වීපයක් ලෙසිනි. බුදු දහමින් සුපෝෂිත අධ්‍යාත්මයන් සහිත වැසියෝ ඊට අනුරූපීව තම ජීවිත පැවැත්ම සාදා ගත්හ. හින්දු, මුස්ලිම්, කතෝලික ඇතුළු සෙසු ආගමිකයෝ ද සහජීවනයට ගරු කොට ජීවිකාව කරගෙන ගියහ. ලොව පුරා අප රට ප්‍රචලිත වූයේ ආගන්තුක සත්කාරයට ලැදි මනුෂ්‍ය ගුණධර්මවලින් පෝෂිත ජාතියක් ලෙසිනි.

එහෙත් අද වන විට අප රටෙන් ඇසෙන්නට ලැබෙන පුවත් සසර කලකිරවන තරම් ය. පසුගිය දිනෙක පූගොඩ පැපිලියවල ප්‍රදේශයේදී අසන්නට ලැබුණේ හද කම්පා කරවන පුවතකි.

ඒ සිද්ධිය සැකෙවින් මෙසේය.

පූගොඩ පැපිලියවල ප්‍රදේශයේ නිවසක මවක සිටියේ තම බිලිඳාට කිරි දෙමිනි. එම අවස්ථාවේදී එම නිවසට කඩාපැන ඇති 21, 22 සහ 23 වියේ පසුවන නරුමයන් තිදෙනකු විසින් එම බිලිඳාව මවගේ ඇකයෙන් බලෙන් ඉවතට ගෙන උස්සා පොලවේ ගසන බවට පවසමින් තම තිරිසන් අවශ්‍යතා ඉටුකරගෙන ඇත. මෙම මවට අතවර කළ දෙදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකා පලාගොස් ඇති බව වාර්තා වෙයි.

මෙවැනි අපතයන්ට රජ කාලයේ දුන් දඬුවම් දිය යුතුය. වර්තමානයේ පවතින නීති රීති ප්‍රමාණවත් නොවේ නම් නීති සකසා හෝ මෙම අපතයන්ට දඬුවම් දිය යුතුය.

අපේ රටේ මාතෘත්වය පිළිබඳව ඇත්තේ උදාර හැඟීමකි. කුඩා දැරියක, දියණියක, ගෘහනියක සහ මවක ලෙසින් අප සමාජයේ පැවැත්ම උදෙසා නොනිමි මෙහෙවරක නිරත කාන්තාවට සමාජය තුළ ඇත්තේ ගෞරවනීය හැඟීමකි. එම ගෞරවනීය භාවය අදටත් එලෙසින් පවතින නමුත් ඉහත අප සඳහන් කළ නරුම වනචරයන් නිසා අප සමාජ දේහයට සිදුවන හානිය සුළුපටු නොවේ.

මේ අතර පසුගිය දිනක පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී දැරියකට දුම්රියකදී ලිංගික අතවර කළ සිද්ධියක් වාර්තා විය. එම දැරියට ලිංගික අතවර සිදුවන බව නිරීක්‍ෂණය කළ දුම්රියේ සිටි පිරිසක් එම පාහරයාව අල්ලා පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ආරක්‍ෂක නිලධාරීන්ට භාර දී ඇත. නමුත් අවාසනාවට එම ආරක්‍ෂක නිලධාරීන් විසින් ඒ පිළිබඳව නිසි ලෙස ක්‍රියාකර නැත. අවම වශයෙන් මෙම පාහරයාට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අංශවලට භාරදීමේ වගකීමක් ඔවුන් සතුව තිබිණි. වාර්තාවන අන්දමට එවැනි දෙයක් සිදුවී නොමැත. රටේ කොතැනකදී හෝ දරුවකුට යම් අතවරයක් සිදුවේ නම් ඒ ගැන නොසලකා ක්‍රියාකිරීම ද ඊට අනුබල දීමක් බව කිව යුතුය.

මේ අතර නිකගොල්ලේ සිට කුරුණෑගල දක්වා ධාවනය කෙරුණු සිසු සැරිය බස් රථයක් තුළදී පාසල් දැරියකට අතවර කිරීමේ සිද්ධියක් වාර්තා විය. ඊට අනුබල දුන් රියැදුරු, රිය සහායක ද අත්අඩංගුවට ගෙන ඇත.

අද වන විට අප රට දරු දැරියන්ට මෙන්ම කාන්තාවන්ට ද ආරක්‍ෂාකාරී නොවන ස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පැවතීම කනගාටුවට කරුණකි. නිවෙස්වලදී ඇතැම් ඥාතීන් අතින් අගතියට පත්වන දරුවන් සමාජයට ගිය විට ද ආරක්‍ෂාවක් නැති විය. මෙය බරපතළ සමාජ ඛේදවාචකයකි. මෙම තත්ත්වයෙන් අපේ රටේ දුවා දරුවන් මෙන්ම කාන්තා පාර්ශ්වය බේරා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම අත්‍යවශ්‍ය ය.

අප රටේ දරුවන්ට ද ඔවුන්ට වෙන් වූ දිනයක් තිබේ. එය සමරනු ලැබනුයේ ලෝක ළමා දිනයට සමගාමීව ය. එසේම කාන්තාවන්ට වෙන් වූ දිනයක් තිබේ. ලෝක කාන්තා දිනයට සමගාමීව අපි ද එය මහත් ඉහළින් සමරන්නෙමු. එම දිනවලදී ළමා අයිතිවාසිකම් පිළිබඳව මෙන්ම කාන්තා විමුක්තිය ගැන අපි මහත් ඉහළින් සමරන්නෙමු. එම දිනවලදී ළමා අයිතිවාසිකම් පිළිබඳව මෙන්ම කාන්තා විමුක්තිය ගැන අපි මහත් ඕනෑකමින් උදම් අනන්නාහ. නමුත් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ විමුක්තිය සහ ආරක්‍ෂාව සැණකෙළි සන්දර්ශන සහ උත්සව සැමරුම් පැවැත්වීමෙන් පමණක් තහවුරු නොවන බව අප ඉහතින් පෙන්වා දුන් කාරණාවලින් වුවද තේරුම් ගත හැකිය.

සැබෑ ලෙසට දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්‍ෂාව තහවුරු කරමින් ඔවුන්ට විශ්වාසයෙන් යුතුව අප මාතෘභූමිය තුළ ජීවත්වීමට අවැසි පසුබිම සැලසීම අප සැම දෙනාගේ යුතුකමකි. කාන්තා සහ ළමා අතවර සිද්ධීන් නොවන තැනකට රට මෙහෙයවීම සඳහා අප රට අධ්‍යාත්මික මෙහෙයුමක් කළ යුතුය. නිවෙස, පාසල, රැකියා කරන ස්ථානය මෙන්ම මහමඟ ද දරුවන්ට සහ කාන්තාවන්ට සුරක්‍ෂිත ස්ථාන බවට පත් කිරීම සඳහා අවැසි පියවර ගැනීමට කතිකාවක් වහාම ඇතිකළ යුතුය. මේ සඳහා අප රටේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, ආගමික නායකයන්ට මෙන්ම දේශපාලන අධිකාරියට ද සුවිසල් මෙහෙවරක් කළ හැකිය. එසේම අප රටේ සන්නිවේදන කටයුතුවල නිරතව සිටින සියලුම මාධ්‍යන්ට, මාධ්‍ය සගයන්ට මේ සඳහා සමාජයේ ඇස් කන් ඇරවීමට කළ හැකි මෙහෙය අතිවිශාලය.

advertistmentadvertistment
advertistmentadvertistment