හොර වැසියෝද මනුෂ්‍යයෝය

1009

යාපනයේ චාවකච්චේරියේ පදිංචිව සිටි 37 හැවිරිදි සුන්දරලිංගම් ශ්‍රීධරන් මීට දින කිහිපයකට පෙර වියට්නාමයේ සරණාගත කඳවුරකදී සිය දිවි නසා ගත්තේය. පසුගිය නොවැම්බර් 7 දා ශ්‍රීධරන් ඇතුළු පිරිසක් බෝට්ටුවකින් කැනඩාවට පැන යමින් සිටියහ. මේ බෝට්ටුව සිංගප්පූරුව සහ වියට්නාමයේ මුහුදු සීමාව අතරදී හදිසියේම නැවතින. එය එන්ජින් ට්‍රබල් එකකි. ඒ වනවිට යාත්‍රාවේ නීති විරෝධී සංක්‍රාමිකයන් 300 ක් වූහ. වියට්නාමයේ වෙරළාරක්ෂක හමුදා බෝට්ටු මගින් මේ පිරිස බේරාගන්නා ලද අතර පසුව ඒ රටේ සරණාගත කඳවුරක රඳවන ලදහ. මුහුදේ පාවෙන විජාතිකයන් සිය රටට කැඳවාගෙන විත් දීර්ඝකාලීනව තබාගෙන කන්න බොන්න දෙන්නට තරම් අමාරුවක් වියට්නාමයට නැත. ඒ නිසා පෙර කී සංක්‍රාමිකයන් පිරිස ලංකාවට එවීමට වියට්නාමය තීරණය කළේය.

සුන්දරලිංගම් ශ්‍රීධරන් සිය දිවි නසාගන්නේ එම තීරණයට විරෝධය පළ කරමිනි. ලංකාවට ආපසු යෑමට කිසිසේත්ම නොහැකි බව ඔහු කීවේය. එහෙත් මුහුදේ පාවෙන සරණාගතයන් කැනඩාවට ගොස් දැමීමට වියට්නාමයට බලයක් නැත. ඒ නිසා ඔවුන් සිටියේ පෙර කී නීති විරෝධී සංක්‍රාමිකයන් 300 ශ්‍රී ලංකාවටම පටවන තීරණයෙහිය. මේ වනවිට ශ්‍රීධරන්ගේ මිනිය වියට්නාමයේ සරණාගත කඳවුරේ තිබේ. එය ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය බව ඔහුගේ බිරිය කියයි. එම සිරුර ආපසු ගෙන්වා දෙන ලෙස ඇය ආණ්ඩුවෙන් ඉල්ලයි. මෙය ඉතාම සානුකම්පිත ඉල්ලීමකි. ඒ වගේම යකාගේ ඉල්ලීමකි. ශ්‍රීධරන් කැනඩාවට පනින්නට යන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ අවසරය ගෙන කැනඩා වීසාවක් ලබාගෙන නීත්‍යානුකූලව නොවේ. ඔහු සියදිවි නසාගන්නේ ද ආණ්ඩුවෙන් විමසන්නේ නැතිවය. මෙවැනි තත්ත්වයක් තුළ ඔහුගේ මළ සිරුර මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආණ්ඩුව රුපියල් ලක්ෂ 15 ක් දෙන්නේ කවර පදනමක් මතද? මේ කාරණය උදෙසා ආණ්ඩුවට ලක්ෂ 15 දිය හැකි නම් එය ඉතාම හොඳ දෙයකි. එහෙත් ආණ්ඩුවේ ආර්ථික වැල් සියල්ලම කැඩී ඇති බැවින් රුපියල් ලක්ෂ 15 ක් තබා රුපියල් 15 ක් වත් දීමට ආණ්ඩුවට වත්කමක් නැති බව අපේ හැඟීම ය.

මේ රටේ ජනයා නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට පැනීමට පටන් ගන්නේ ක්‍රි.ව. 2000 න් පසුවය. හැබැයි ඊට අවුරුදු හැට හැත්තෑවකට පමණ පෙර සිටම දකුණු ඉන්දියාවේ විසූ දුප්පත් දෙමළ ජනතාව ලෑලි කෑල්ලක් බදාගෙන මුහුදට පැන ලංකාවට පිහිනා ඒමට පුරුදුව සිටියහ. ඔවුන් හඳුන්වන ලද්දේ හොර වැසියන් හෙවත් කල්ලතෝනි යන නමිනි. ඉන්දියාවේ ධනුස්කොඩියෙන් මුහුදට පනින ඔවුහු පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනාගෙන විත් උතුරු වෙරළින් ලංකාවට ඇතුළු වූහ. මේ කියන කාලයේදී ශ්‍රී ලංකාව යනු ඉන්දියාවට සාපේක්ෂව සශ්‍රීක රාජ්‍යයකි. එහෙත් අද වනවිට එය අනෙක් පැත්ත පෙරළී ඇත. බහුදින ධීවර යාත්‍රාවලට නගින මේ රටේ මිනිස්සු මාස ගණන් මුහුදේ යාත්‍රා කර ඔස්‌ට්‍රේලියාවට, කැනඩාවට හෝ යුරෝපයට යෑමට පටන්ගෙන ඇත්තාහ. ශ්‍රී ලංකාවේ සරණාගතයන් පිළිබඳ වැඩියෙන්ම දරුණුවට ක්‍රියා කරන්නේ ඔස්‌ට්‍රේලියාව ය. ශ්‍රී ලාංකිකයන් විවිධ නීති විරෝධී මාර්ගවලින් ඔස්‌ට්‍රේලියාවට රිංගන බව වටහාගත් එරට රජය බෝට්ටුවලින් එරටට එන පුරවැසියන් වළක්වමින් 2013 දෙසැම්බර් 3 දා

නියෝගයක් නිකුත් කළේය. 2011 සහ 2012 අතර කාලය තුළ ඔස්‌ට්‍රේලියාවට පැන ආ නීති විරෝධී ශ්‍රී ලාංකික හොර වැසියන් ගණන 825 කි. සිංහල, දෙමළ, මුස්ලිම් යන තුන් ජාතියේම ජනතාව මේ 825 දෙනා අතර වූහ. මේ නිසා නීති විරෝධී මාර්ගවලින් ඔස්‌ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයන් පැමිණීම වැළැක්වීම සඳහා ඒ රටේ ආණ්ඩුව විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. ඒ අනුව “ඔස්‌ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා” යන උද්ධෘතය යටතේ ඔස්ටේ්‍රලියන් ආණ්ඩුවේ වියදමෙන් ශ්‍රී ලංකාවේ පුවත්පත් සහ රූපවාහිනීවල ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ කරන ලදි. ඊළඟට ඔස්‌ට්‍රේලියාවට එන නීති විරෝධී ජනයා අත්අඩංගුවට ගෙන පැපුවා නිව්ගිනියා සහ ක්‍රිස්මස් අයිලන්ඩ් යන දූපත්වල ගාල් කිරීම සිදුවිය. ඔස්‌ට්‍රේලියාව ඔලුවෙන් හිටගත්තත් බෝට්ටුවලින් එරටට පැනීම අපේ ජනයා නැවැත්වූයේ නැත. මෙය එක්තරා කාලයකදී මේ රටේ එක්තරා පිරිසකට හටගන්නා පිස්සුවකි. මේ පිස්සුව හැදුනු විට නීත්‍යානුකූල වීසාවක් නැති හැම කෙනෙක්ම හොර වැසියන් ප්‍රවාහනය කරන බෝට්ටු ඒජන්තලාට සෙට් වෙති. මෙබඳු එක හොර වැසියෙක් බෝට්ටුවෙන් යුරෝපයට ගෙන යෑමට රුපියල් ලක්ෂ 20 ක් අය කරනු ලැබේ.

යුරෝපයේ වෙරළවලින් බස්සන මේ හොර වැසියන් භාරගැනීම සඳහා මිනිස් ජාවාරම් සිදුකරන ඒජන්තවරු පැමිණෙති. ඔවුන්ගේ වගකීම වන්නේ අදාළ හොර වැසියන් දේශසීමා පන්නවමින් ගමනාන්ත වෙත රැගෙන යෑමය. මේ ක්‍රියාවලියේදී හොර වැසි පිරිමින්ට වෙඩි තබා මරණ දේශසීමා රක්ෂක හමුදා හොර වැසි කාන්තාවන් දූෂණය කර ඔවුන්ටත් වෙඩි තබා මරති. වෙරළට ගොඩබහින සියයකින් විසි දෙනකුට වැඩි පිරිසක් ගමනාන්තයට ළඟාවන්නේ නැත. මෙය ඉතාම ඛේදජනක කතාවකි. මේ කතාව කොනෙහි නිතරම පාහේ මරණයක්, ස්ත්‍රී දූෂණයක් හෝ අල්ලස් ගැනීමක් තිබේ. ලංකාවෙන් පැන ගොස් යුරෝපයේ බෝඩර්වලින් රිංගා කෙසේ හෝ පණ ගලවාගෙන රැකියා කරමින් ධනවතුන් බවට පත්වූ ශ්‍රී ලාංකිකයෝ අද යුරෝපයේ වෙසෙති. ඔවුහු යූ ටියුබ් චැනල් ඔස්සේ තමන් හොරෙන් රිංගූ දේශසීමා පෙන්වමින් රට පැනීමට කැමති මෙරට සිටින හරක් චූන් කරති. මේ යූ ටියුබ්කාරයන් වැඩිදෙනා 88, 89 භීෂණ කාලයේදී රටින් පැන්න අය ය. හොර වැසි සංක්‍රාමික ක්‍රියාවලිය කිසිසේත්ම හොඳ නැත. එහෙත් හොර වැසියන්ට නීච ලෙස සැලකීම ද සුදුසු නැත. ‘හොර වැසියෝද මනුෂ්‍යයෝය’ යන වාක්‍යයෙන් මේ කතුවැකිය අද අවසන් කරනු ලැබේ. ඔස්‌ට්‍රේලියාව වැනි රටවල් නීති විරෝධී සංක්‍රාමිකයන් තලා පෙළමින් ඔවුන්ට විරුද්ධව රැගෙන යන ප්‍රචාරක ව්‍යාපාරය ද මිනිස්කමට නොගැළපෙන එකකි. මේ රටවල් නීති විරෝධී සංක්‍රාමිකයන් සම්බන්ධයෙන් මීට වඩා මානුෂීය ලෙස ක්‍රියා කළ යුතුය. ඕනෑම රටක් බංකොලොත් වීමට ඉඩ ඇත. ඒ අනුව ඕනෑම රටක වැසියන් හොර වැසියන් බවට පත්වීමට ඉඩ ඇත. ඔවුන් සම්බන්ධයෙන් අමානුෂික නොවන ලෙස අපි පිටරටවලින් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment