ගාසා තීරයේ රෆා පිවිසුම ඊශ්‍රායල හමුදා යටතට

1186

සටන් පවතින ගාසා තීරයත් ඊජිප්තුවත් අතර පිහිටි වැදගත් ප්‍රදේශයක් වන රෆා දේශසීමා පිවිසුම් මංතීරුවේ පාලනය ඊශ්‍රායල හමුදාව විසින් ඊයේ (07දා) සම්පූර්ණයෙන් සියතට ගෙන තිබේ. මෙතෙක් රෆා මංතීරුව පැවතියේ ඊජිප්තුවේ පාලනය යටතේ වන අතර එය ගාසා තීරයේ පවතින පිව්සුම් මංතීරුවලින් මෙතෙක් ඊශ්‍රායල පාලනය යටතේ නොපැවති එකම මංතීරුව ද විය. සඳුදා රාත්‍රිය පුරා රෆා දේශසීමා මංතීරුව පිහිටි ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටි ඊශ්‍රායල හමුදා එහි පාලනය සියතට ගැනීමෙන් පසු ගාසා තීරයේ දකුණු දිග ප්‍රදේශය දෙසට ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම තත්ත්වයත් සමගම ඊශ්‍රායල හමුදා හා හමාස් සංවිධානය අතර ඇති කරගැනීමට යෝජනා වී ඇති සටන් විරාමය මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක පවත්නා බව වාර්තා වේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය පෙරේදා (06දා) පවසා ඇත්තේ මැදිහත්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති ගාසා සටන් විරාම ගිවිසුම තමන් පිළිගන්නා බවයි. මේ අතර මේ වන විට හත් වැනි මාසයට එළඹ ඇති ගාසා තීරය තුළ ඊශ්‍රායල හමුදා හා හමාස් සංවිධානය අතර පවතින සටන් හේතුවෙන් ගාසා වැසියන් මිලියනයකට අධික පිරිසක් එම තීරයේ දකුණට සංක්‍රමණය වී තිබේ. හමාස් සංවිධානයේ සාමාජිකයන් දහස් ගණනක් මෙන්ම එම සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් වැඩි පිරිසක් සිටින රෆා මංතීරුව ආක්‍රමණය කරන බවට පසුගිය කාලයේ ඊශ්‍රායලය විසින් කිහිප වතාවක් තර්ජනය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment