කප්පම් නොදුන් අත්තනගල්ලේ ව්‍යාපාරිකයා මරා ඩුබායි පනින්න ආවා – ගුවන් තොටේදී අත්අඩංගුවට පත් පාතාල ප්‍රබලයා පාපොච්චාරණය කරයි

1651

කප්පම් මුදල් ලබා නොදුන් අත්තනගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කර ආපසු ඩුබායි රාජ්‍යයට පලා යෑම සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි බව කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්වූ රොෂාන් චාතුරික නමැති පාතාල ප්‍රබලයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

මේ වන විට අත්අඩංගුවේ පසුවන ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාගේ ප්‍රධානම වෙඩික්කරුවකු බව කියන රොෂාන් චාතුරික සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම පාතාල ප්‍රබලයා පවසා ඇත්තේ අත්තනගල්ල ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගෙන් මාස කීපයක සිට තමන් කප්පම් මුදල් ඉල්ලා සිටියද ඔහු එය ලබාදීම ප්‍රතික්‍ෂේප කළ බවයි.

මේ හේතුව නිසා මෙම ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කර නැවත ඩුබායි රාජ්‍ය වෙත තමන් පලා යෑමට සූදානමින් පැමිණි බව මොහු ප්‍රකාශ කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම පාතාල ප්‍රබලයා කටුනායක ගුවන්තොටපළේදීම අත්අඩංගුවට ගැනීමට හැකි විය.

එසේ නොවන්නට මොහු අත්තනගල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය කර ආපසු රටින් පලා යන බව පොලිසිය පවසයි.

සැකකාර පාතාල ප්‍රබලයා පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික සිල්වා යන නිලධාරීන් පරීක්‍ෂණ පවත්වති.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment