ජාතියේ අලුත්ම ආඩම්බරය

1384

මොරටුව රාවතාවත්තේ පදිංචිව සිටි 60 හැවිරිදි හිලරි ප්‍රනාන්දු ඊයේ අලුයම තෙල් පෝලිමකදී මළේය. ඔහු දින තුනක් එක දිගට පයාගල IOC ඉන්ධන පෝලිමේ රැඳී සිටියේය. බොහෝ දුරට හිලරි ප්‍රනාන්දු මියයන්නට ඇත්තේ අධික වෙහෙස නිසා හටගත් හෘදයාබාධයක් හේතුවෙනි. පසුගිය දින කිහිපය තුළ මේ රටේ තෙල් පෝලිම්වලදී මියගිය ගණන 16 කි. ඊයේ අලුයම සිදුවූයේ 17 වැනි මරණයයි. ඒ අතර තවත් තෙල් පෝලිමකදී වියපත් පුද්ගලයකු මිය යන්නට ගිය බවත් පෝලිමේ සිටි සෙස්සන් එකතුවී හදිසි ප්‍රතිකාර සිදුකර ඔහු බේරාගත් බවත් දැනගන්නට තිබේ. පසුගියදා පාස්පෝට් පෝලිමේදී ගැබිනි කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදුකළාය. ශ්‍රී ලංකා යුද හමුදාව මැදිහත්වී එම මවගේ සහ දරුවාගේ ජීවිත බේරාගන්නා ලදී. හැටනම ලක්‍ෂයක ඡන්ද ප්‍රමාණයකින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ද තුනෙන් දෙකක් බලයක් ඉක්මවා ඡන්ද ලබාගෙන බලයට පැමිණි පොහොට්ටු ආණ්ඩුවද මේ මරණවලට වගකිව යුතුය. ඉහතින් මියගිය අයගෙන් යැපෙන්නන්ට මින් පසු පිළිසරණක් නැත. ආණ්ඩුව අගතියට පත් මේ පවුල්වලට වන්දි ගෙවිය යුතුමය.

ආණ්ඩුව කියන්නේ කොරෝනා වසංගතය නිසා හටගත් ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් ඉන්ධන ගෙන්වාගනු පිණිස මුදල් වැය කිරීමට නොහැකි බවය. එය ඇත්ත වෙන්නට ඇති. එහෙත් ඒ වගකීමෙන් වගකිව යුතු රජයකට ස්වකීය සමාජ වගකීමෙන් කිසිදු ලෙසකටවත් ගැලවිය නොහැකිය. කොරෝනා නිසා අපට වඩා අල වූ රටවල් සෑහෙන ගණනක් තිබේ. උදාහරණයක් වශයෙන් බංග්ලාදේශය කොරෝනාව නිසා නැට්ටටම වැටුණේය. එසේම මේ වනවිට බංග්ලාදේශයේ සිව්වන කොරෝනා රැල්ල ද ආරම්භ වී තිබේ. මේ රැල්ල ඉතා දරුණු වනු ඇතැයි ඒ රටේ සෞඛ්‍ය අංශ බිය පළකර ඇත. කොරෝනා පළමු රැල්ලේදී ඉතා දරුණු ලෙස ඇදවැටුණ ද ඒ මොහොතේත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250 ක ණයක් ලබාදීමට බංග්ලාදේශයට හැකි විය. මීට අවුරුදු පනහකට පෙර බංග්ලාදේශය, සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල් ප්‍රාර්ථනා කළේ එවකට තිබූ ශ්‍රී ලංකාවේ තත්ත්වයට පැමිණීමටය. අද වනවිට ඒ සිහිනය හත්අට සිය ගුණයකින් සැබෑ වී තිබෙන අතර ණය ඉල්ලා ඒ සියලු රටවල් පසුපස හිඟා කමින් ඇවිදීමට ශ්‍රී ලංකාවට සිදුවී ඇත. කිසි කෙනෙක් සත පහක්වත් මේ මොහොතේදී ශ්‍රී ලංකාවට ණයට දීමට කැමැති නැත. ඉන්දියාව අප විසින් ඇණවුම් කරන ලද තෙල් නැව් හතරක් රඳවාගෙන සිටින අතර මුදල් දුන්නොත් පමණක් ඒවා ලංකාවට එවන බවට කියා තිබේ. ජපානය අපත් සමග හොඳටම තරහය. ඒ මදිවට අපි ඒ රටට ඩොලර් බිලියන තුනහමාරක පොල්ලක් තබා ඇත්තෙමු.

ශ්‍රී ලංකාව මේ වනවිට ණය අංශය සම්බන්ධයෙන් අසාදුලේඛනගත වූ රටකි. ඇමරිකානු අධිකරණයක් අපට එරෙහිව නඩුවක් ද ගොනුකර තිබේ. ණයට දීමෙන් මුදලත් මිතුරාත් යන දෙකම නැති වේ. ලංකාවට ණයට දීමෙන් මුදලත් මිතුරාත් දෙකම පමණක් නොව ණය හිමියා වූ රට ද නැති වේ. ඉදිරියේදී පිටරටවල පිහිටි මේ රටේ තානාපති කාර්යාලවලට සහ ව්‍යාපාරික ආයතනවලට ස්ථිර වශයෙන්ම ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනවා ඇත. අපට ණයට දී පොලු කෑ රටවල් ඒ රටවල පිහිටි අපේ තානාපති කාර්යාල එලවා දැමීමට පවා ඉඩ තිබේ. මෙහිදී විද්වත් දේශපාලන අංශ කියනු ඇත්තේ ජාත්‍යන්තර නීති රීතිවලට අනුව හෝ වියානා සම්මුතිවලට අනුව හෝ දැනට අත්සන් කර තිබෙන හෝ නොඑසේනම් ඉදිරියේදී අත්සන් කිරීමට බලාපොරොත්තු වන හෝ ගිවිසුම්වලට අනුව තානාපති කාර්යාල පලවාහැරීමක් සිදුකිරීමට නොහැකි බවය. ඒවා නිකම් බයිලා කතා වෙති. මේ ලෝකයේ සිදුවිය නොහැක්කක් නොමැත. අපට මේ ආකාරයෙන් කෙලවෙතැයි කවුද හිතුවේ?

දැනට ශත වර්ෂ කිහිපයක පටන් ලෝකයේ හැම රටක්ම ඉදිරියට යන්නේ ඉන්ධන වලිනි. ශිෂ්ටාචාරය මුලදී කවුරුවත් ඉන්ධන ගැන දැන නොසිටියහ. සියලු දෙනා දැන සිටියේ අතේ පයේ හයිය ගැන පමණි. මීට අවුරුදු දෙදහකට පමණ පෙර ලෝකයේ විවිධ තැන්වල පිහිටි රාජ්‍ය කිහිපයක් තෙල් නමැති ඉන්ධනයක් තිබෙන බව සොයා ගත්හ. එකල ඒවා පොළොවෙන් උකහා ගන්නා ලද්දේ කළු තාර ලෙසය. චීන ජාතිකයෝ මේ තාර ගුලිය යම් ප්‍රමාණයකට පිරිපහදු කිරීමට ඉගෙන ගෙන ඒවායින් පහන් පත්තු කිරීමට පටන් ගත්හ. ඒ අතර 1800 දී පමණ පෙට්‍රෝලියම් සම්පූර්ණයෙන් පිරිපහදු කරන විදිය සොයාගනු ලැබීය. එතෙක් ජල වාෂ්පවලින් දුවවන ලද වාහන මේ සොයා ගැනීමත් ඩීසල් එන්ජිමට මාරු කරනු ලැබේ. ඒ අතර හටගත් යුරෝපීය කාර්මික විප්ලවයේදී පෙට්‍රෝලියම් ඉන්ධනය රෙදි විවීමේ කර්මාන්තය සඳහා මහත් සේ දායක විය. මේ පෙට්‍රෝලියම් එතැනින් නැවතුනේ නැත. එය දිග දුර මිසයිලයක් මෙන් ලොව පුරා විවිධ තැන්වලට ගමන් කර පුපුරන්නට පටන් ගත්තේය. මේ පිපිරීම ප්‍රාතිහාර්යජනක පිපිරීමකි. නූතන කාර්මීකරණයේ මල් වෙඩිල්ලක් වූ එම පිපිරීම මගින් බස්, කාර්, මෝටර් සයිකල්, ට්‍රැක්ටර් වැනි ප්‍රවාහන අංගෝපාංග ලක්‍ෂ ගණනින් පහළ විය. ශිෂ්ටාචාරය දිගේ පයින් පැමිණි මිනිසා අශ්ව කරත්තවලටත් බර කරත්තවලටත් නගිමින් සිටියදී පෙට්‍රල්වලින් වැඩ කරන මෝටර්රථ දැක බරකරත්තවලින් බැස වහා ඒවා වැළඳ ගත්හ. මෙසේ ඒවා වැළඳ ගත් රටවල් අතරින් ශ්‍රී ලංකාවට ප්‍රමුඛ තැනක් හිමිවෙයි.

අපේ රටේ තිබෙන රථ වාහනවලින් විශාල ප්‍රමාණයක් අධික ලෙස ඉන්ධන වැයවන සුඛෝපභෝගී රථවාහනය. එක් යුගයකදී ගෙදරක ප්‍රිජ්එකක් තිබීම ලාංකිකයන්ට ආරම්බරයකි. අදවන විට ප්‍රිජ්එක අත්‍යවශ්‍ය භාණ්ඩයකි. එක් යුගයකදී ගෙදර කාර් එකක් තිබීම එම ගෙදර නිවැසි නෝනාට සහ මහත්තයාට ආරම්බරයකි. අද මෝටර් රථයක් යනු අත්‍යවශ්‍ය ද්‍රව්‍යකි. කෙසේ වුවද මේ මොහොතේදී ලොකුම ආඩම්බරය වන්නේ ගෙදර පෙට්‍රල් ලීටර් එකක් හෝ කිහිපයක් තිබීමය. අද වනවිට පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙදහක් පන්සීයකි. තිනර්, භූමිතෙල් යනාදිය මිශ්‍ර කර සාදන පෙට්‍රලුත් නොවන තිනරුත් නොවන භූමිතෙලුත් නොවන මේ අරුම පුදුම තෙල් වර්ගය නිසා වාහනවල එන්ජින් විනාශයට පත්වී නන්නත්තාර වෙයි. එහෙත් ප්‍රවාහනය මේ රටේ ජනතාවගේ ජීවිතයේ මූලික අංගයක් වන නිසා එකී බාල බඩු දමාගෙන හෝ මිනිස්සු තම ගමන් බිමන් ගොස් අවසානයේදී පරිප්පු කති. මේ සමාන වන්නේ විස්කි බීමට නැති එකා අරක්කු බීමටත් අරක්කු බීමට නැති එකා කසිප්පු බීමටත්ය. කසිප්පුවලින් බොක්ක දිරන ප්‍රමාණය ඉතා වැඩිවන අතර අරක්කුවලින් වන හානිය ඊට ටිකක් අඩුය. විස්කිවලින් වන හානිය ඊටත් ටිකක් අඩුය.

advertistmentadvertistment
advertistmentadvertistment