එල්.පී.එල්.වලින් ඩොලර් මිලියන දෙකහමාරක්

297

තරුණ ක්‍රීඩකයන්ට හුස්මක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා

ඩොලර් මිලියන දෙකහමාරක ආදායමක් අපේක්ෂාවෙන් හා තරුණ ක්‍රීඩකයන්ට නැඟීසිටීමට අවස්ථාවක් උදාකර දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියර ලබන දෙසැම්බර් 6 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඊයේ (17 වැනිදා) මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ඊයේ සවස පැවැති එම මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා තවදුරටත් සඳහන් කර සිටියේ පසුගිය අදියර දෙකේ දී ලත් අත්දැකීම් මෙවර තරගාවලිය සංවිධානය කිරීම සඳහා මහත් පිටිවහලක් වූ බව ය.

ලෝකය මෙන්ම රටද කොවිඩ් වසංගතයට ලක්ව සිටියදී එවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් එකල පැවැත්වීම ලෝකයේ ද ඇගයීමට ලක්වූ බවත් අද ලෝකයේ අංක එකේ පන්දු වාර විස්සයි විස්ස පන්දු යවන්නා වන වනිඳු හසරංගට අයි.පී.එල්. වරම් හිමි වූයේ ද එල්.පී.එල්. තරගාවලිය හරහා බව මොහාන් ද සිල්වා මහතා එහිදී සිහිපත් කළේය.

මෙම තරගාවලිය පැවැත්වෙන කාලය තුළ දී රටේ හෝටල් කර්මාන්තය, ප්‍රවාහන අංශ මෙන්ම ආහාර සැපයීමේ ආයතනවලට ද තමන්ගේ ආදායම ඉහළ දමා ගැනීමට හැකිවීම තරගාවලිය හරහා රටට අත්වන අතුරු ප්‍රතිලාභ අතරට එක් වන බව ද මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී විනය විරෝධීව හැසිරුනේ දැයි සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බවත් එම කමිටු වාර්තාව ලැබීමෙන් පසුව එවැනි වරදක් සිදුවී ඇත්නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

චාමිකට ආවේ දක්ෂතා පිළිබඳ ප්‍රශ්නයක්

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉදිරි ඇෆ්ගනිස්තාන තරගාවලිය සඳහා තෝරා නොගත්තේ ඔහුගේ දක්ෂතා පිළිබඳ ප්‍රශ්නයක් මත මිසක් ඔහුගේ විනය පිළිබඳ ප්‍රශ්නයක් මත නොවන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා කීය.

එමෙන්ම ත්‍රිපුද්ගල කමිටු වාර්තාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අතින් වරදක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව ද අවධානය යොමු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා තවදුරටත් පැවසීය.

අපිට එල්.පී.එල්. රට වටේටම ගෙන යන්න ඕන

එල්.පී.එල්. තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා

පසුගිය අගෝස්තු මාසයේදී තමයි අපි තරගාවලිය පවත්වන්න හිටියේ. ඒත් රටේ එවකට පැවති තත්ත්වය අනුව අපිට තරගාවලිය කල් දාන්න සිදු වුණා. මේ තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කැලැන්ඩරයේ වටිනා අවස්ථාවක්. පසුගිය අවස්ථා දෙකේදී අපි තරගාවලිය පැවැත්වූයේ කොළඹ සහ හම්බන්තොට පමණයි. අපිට මේ තරගාවලිය රට වටේටම අරන් යන්න ඕන. ඒ අනුව අපි මෙවර නුවරටත් තරග 9ක් ලබා දුන්නා. තරගාවලිය කල් දැමීම හේතුවෙන් අපිට ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අහිමිවුණා. ඒත් ඒ වෙනුවට හොඳ ආදේශක ක්‍රීඩකයන් අපිට හමුවුණා. පසුගිය වර කණ්ඩායම්වල හිමිකාරීත්වය දැරූ පිරිසම මෙවරත් අප සමගම එකතුවී සිටීම සතුටුදායක කරුණක්. ඒත් ඩොලරයේ අගය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඉහළ නැඟීම නිසා කණ්ඩායම් හිමිකරුවන්ට දරන්න සිදු වී තිබෙන පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.

දැවැන්තයෝ තුනක්

ලෝක ක්‍රිකට් පිටියේ අග්‍රගණ්‍ය ක්‍රීඩකයන් තිදෙනකු වන බටහිර ඉන්දීය කොදෙව් හි විවියන් රිචර්ඩ්ස්, පකිස්ථානයේ වසීම් අක්‍රම් සහ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය මෙවර තරගාවලිය සඳහා තානාපතිවරුන් ලෙස සම්බන්ධ කර ගන්නවා. තරගාවලියට වැඩි වටිනාකමක් ලබාදීමේ අරමුණින් අපි ඔවුන්ට එම ආරාධනාව සිදුකළා. ඔවුන් එම ආරාධනාව පිළිගැනීම පිළිබඳව අපේ ගෞරවය ඔවුන්ට පුදකර සිටිනවා.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment