ජොන්ස්ටන්ට එරෙහි නඩුවල පැමිණිල්ලේ පළමු සාක්‍ෂිකරු රට ගිහින්

270

හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව තම කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවල පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකරු ලෙස නම්කර තිබූ සතොස හිටපු පරිපාලන නිලධාරි විපුල කිත්සිරි සිල්වා නමැත්තා පදිංචි ස්ථානයේ නොමැති බවත්, ඔහු පසුගිය අප්‍රේල් මාසයේ විදේශගත වී ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව පෙනී යන බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (20 දා) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට වාර්තා කළේය.

පෙර කී විත්තිකරුවන්ට 2022 වසරේදී නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය විසින් එම සාක්‍ෂිකරුට නිකුත් කළ සිතාසි භාරදීමට උත්සාහ දැරූ නමුත් ඔහු විදේශගත වී ඇති බවට තොරතුරු ලැබීම මත සිතාසි නිසියාකාරව භාරදීමට නොහැකි වූ බව ද, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා එමගින් අධිකරණයට පෙන්වා දී තිබිණි. එම සාක්‍ෂිකරු නොමැති නිසා පැමිණිල්ලේ තුන්වන සාක්‍ෂිකරුගෙන් පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය මහාධිකරණයට පෙන්වා දුන්නාය.

එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ලබන ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ කිරීමට දින නියම කර, එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ තුන්වන සාක්‍ෂිකරුට සිතාසි යැවීමට නියෝග කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය අතරතුරදී සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යෙදවීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සහ දූෂණය නමැති වැරැද්ද සිදුකළේ යැයි චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති සරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ කාජා මොහිදීන් සාකීර් යන තිදෙනාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment