ගාල්ල රදගුරු හෝ බලංගොඩ බුද්ධඝෝෂ හිමි ජූඩ් ශ්‍යාමන්තට ජනාධිපති සමාව ඉල්ලා නෑ-ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

134

ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කර අභියාචනාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ ජූඩ් ශ්‍යාමන්ත ජයමහ නමැත්තා ජනාධිපති පොදු සමාවක් යටතේ මුදාහරින ලෙසට රේමන් වික්‍රමසිංහ ගාල්ල රදගුරුතුමා හෝ බලංගොඩ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව හෝ වාචිකව කිසිදු ඉල්ලීමක් සිදුකර නැතැයි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ඊයේ (20 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

සිය සේවාදායකයන් එම විත්තිකරුව ජනාධිපති පොදු සමාව යටතේ මුදාහරින ලෙසට ඉල්ලීම් කොට ඇතැයි මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම මගින් ඔවුන්ගේ කීර්තිනාමයට විශාල අගතියක් සිදුවී ඇති බවත් එබැවින් එම විත්තිකරු ජනාධිපති පොදු සමාව යටතේ මුදාහැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අතරමැදි පාර්ශ්වයක් ලෙස මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා, එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

පෙර වැරදි නොමැති ජීවිතයේ එක් වරක් පමණක් සිදුකළ වරදකට දඬුවම් විඳින උසස් අධ්‍යාපනය ලබන උපාධි පාඨමාලා හදාරන සිරකරුවන් සමාජගත කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට සිය සේවාදායකයන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පොදුවේ ඉල්ලීමක් කර ඇති නමුත් පෙර කී විත්තිකරු මූලික කරගෙන කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා විනිසුරු මඬුල්ලට පැවසීය.

ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ විනිසුරු මඬුල්ල අධිකරණයේ අවධානය යොමු කරන බව පෙන්වා දුන් අතර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කළ එම කරුණු දැක්වීමට විරුද්ධත්වය දැක්විය. හිටපු ජනාධිපතිවරයා එම විත්තිකරුට ජනාධිපති සමාවක් ප්‍රදානය කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සියලු ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව වන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා විනිසුරු මඬුල්ලට පැවසීය.

ඊට අදාළ ලිපිගොනුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බව දැනුම්දීම නිසා අධිකරණ අමාත්‍යාංශයෙන් විමසීමක් කළ බවත් එදා නැතැයි කිවූ ලිපිගොනුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට ඇති බවත් ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා විනිසුරු මඬුල්ලට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment