වැඩිහිටි සහ ආබාධිත දීමනා මාස තුනකින් ගෙවා නෑ -චන්දිම වීරක්කොඩි

290

වැඩිහිටි දීමනාව සහ ආබාධිත දීමනාව ගෙවීමට ආණ්ඩුව මාස 03ක් තිස්සේ කටයුතු කර නැතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) චෝදනා කළේය.

එහිදී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ එම දීමනා ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති අතර යම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කර නොමැති නම් ඒ පිළිබඳ සොයා බලන බවය. එහිදී මතු වූ සංවාදය මෙසේය.

චන්දිම වීරක්කොඩි මහතා- මේ මොහොත වන විට අපේ රටේ වැඩිහිටි දීමනාව මාස තුනකින් ගෙවලා නෑ. වැඩිහිටියන් ජීවත් වෙන්නේ බොහොම අසීරුවෙන් ඒ වගේම ආබාධිත දීමනාවත් ගෙවලා නෑ.

මම පෙරේදා ගාල්ලේ සිට එන විට තවත් වාහන 07ක් එක්ක තරු ගහපු වාහනයක් ආවා. මා හිතන්නේ හමුදාපති වෙන්න ඕනෑ. රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවේ ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරන ඉහළ නිලධාරියෙක් මේ විදිහට කටයුතු කිරීම ගැන පියවරක් ගන්න පුළුවන්ද? එක නිලධාරියකුට වාහන හතක් දාගෙන යන්න කවුද මුදල් වෙන් කළේ?

ෂෙහාන් සේමසිංහ මහතා-

අපි සහනාධාර මුදල් ගෙවීම නිසි පරිදි සිදු කර තිබෙනවා. එහිදී යම් කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ඒක ලැබිලා නැත්නම් ඒ ගැන සමාජ සවිබල අමාත්‍යාංශයෙන් සොයා බලන්නම්. ඔබතුමා අහන අනෙක් ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න මට හැකියාවක් නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment