ඡන්දයත් ඕනේ කැටේ සල්ලිත් නෑනේ

125

පළාත් පාලන මැතිවරණය නිසැකයෙන්ම ලබන මාර්තු මස 09 වැනි දිනට පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනෙක් කල්පනා කරති. එහෙත් තවමත් ඒ පිළිබඳ සැක සංකා විදුලි කොටීම්ද දැකගත හැකිය. කුමක් වුවත් මැතිවරණ කොමිසම හා අදාළ අංශ එම මැතිවරණ ක්‍රියාවලිය අත්නොහැර සිටීමත්, විපක්‍ෂය ප්‍රමුඛ මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් දක්වන අවධානයත් නොවන්නට මේ මැතිවරණය තව ස්වල්ප කාලයකට හෝ කල්දමා ගැනීමේ ආණ්ඩුවේ අරමුණ ජයග්‍රහණය කිරීමට ද ඉඩ තිබුණි. දැන් මැතිවරණය පැවැත්වීමට තිබෙන එකම බාධකය මුදල් නොමැතිකම බව ද පෙනේ. ඇත්ත වශයෙන්ම මුදල් ඇමැති හා ජනාධිපති වන රනිල් වික්‍රමසිංහත්, ඔහුට උපදෙස් දෙන කණ්ඩායමත් මෙම මුදල් කෙසේ හෝ ලබා දිය යුතුය යන අධිෂ්ඨානයෙහි පිහිටා ක්‍රියා කරන්නෝ ද නොවෙති. මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේදී මැතිවරණ කොමිසම ප්‍රමුඛ පාර්ශ්වයකින් එම මැතිවරණය පවත්වන බවට තහවුරුවක් ද ලබා දී තිබේ. මැතිවරණය කල්දැමීම සඳහා නියෝගයක් ඉල්ලමින් ගොනු කරන ලද පෙත්සමක් ද ලබන 23 වැනිදා විභාගයට ගැනීමට නියමිතව තිබේ. එහෙත් ඒ වනවිට මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිතය පවා අවසන් අදියරට පැමිණ තිබෙනු ඇත. එසේම මැතිවරණය කල්දමා ගැනීම වෙනුවෙන් පෙනී සිටි ආණ්ඩුවේ පක්‍ෂ පවා මේ වනවිට සිය ඡන්ද ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබීම නිසා මැතිවරණය පැවැත්වෙනු ඇති බව නිගමනය කළ හැකිය.

කෙසේ හෝ මේ මැතිවරණය ආණ්ඩුවට බියකරු අත්දැකීමක් බව එහි නායකයෝ කල්පනා කළහ. ඔවුන් එය මගහැරීමේ හෝ තවත් කාලයකට කල්දමා ගැනීමේ හෝ ප්‍රයත්නයක් කෙරෙහි යොමු වූයේ ද එනිසාමය. අද පොළොවේ දේශපාලනය කිසිම ආකාරයකින් පාලක පක්‍ෂයට යහපත් නොවන බව ද ඔවූහු වටහාගෙන සිටිති. මැතිවරණය කල්දමා ගැනීමේ නීත්‍යනුකූල මාර්ග පිළිබඳ ආණ්ඩුව අවධානය යොමු කළේ ද ඒ අනුවය. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ වූ පසුබෑම ජනතාවට ද පැහැදිලිවූවකි. එහෙත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවාගේ ස්ථාවරය වූයේ මෙම මැතිවරණය පැවැත්වීම තම වගකීම හා යුතුකම බවය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනතුරක නොහෙළිය යුතු බව ඔහු මාධ්‍යවලට පවා ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපති රනිල්ට යටත් කර ගැනීමට නොහැකි වූ මැතිවරණ කොමිසමට තිබුණු තර්ජන ගර්ජන ගැන වුවද පොලිසිය එතරම් උනන්දු නොවූ බව විපක්‍ෂයේ චෝදනාවකි. කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට එල්ල වූ දුරකථන තර්ජන පිළිබඳ සියලු ත්ත්ත්වයන් ද පොලිසියට සොයාගත නොහැකි විය. එය ඩුබායිවලින් ලැබුණු නාඳුනන ඇමතුමක් බව පැවසුණි. මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකුගේ නිවාසය, වාහන ඇතුළු දේවල් ඇතුළත් වීඩියෝ පටයක් ගැන ද තොරතුරු හෙළි වුවත් එහි සුලමුල සොයාගැනීමට ද පොලිසිය අසමත් විය. මේවා විපක්‍ෂයේ මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හා මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම්වල විමතියට හේතු වූ දේවල්ය. මැතිවරණ කොමිසම මුහුණ දුන් තත්ත්වය කිසිසේත් යහපත් නොවීය. විශේෂයෙන් පී. එස්. එම්. චාල්ස් නමැති කොමිසමේ සාමාජිකාව මුල්කර ගනිමින් ඇතිවූ ආන්දෝලනය මෙන්ම ඇගේ චර්යාවන් පිළිබඳ පළවූ වාර්තා ද මෙරටේ ස්වාධීබ කොමිසම්වල ස්වරූපය විදහා පාන්නක් විය. මේ හැම සිද්ධියක්ම කොමිසමේ සභාපති පුංචිහේවාගේ සීමාවෙන් පිටත සිදුවූ දේවල්ය. ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂකවරයා ද මේ කටයුතුවලට මැදිහත්ව විවේචනයට ද ලක්වූහ.

ඡන්දයත් ඕනේ කැටේ සල්ලිත් නෑනේ

මෙම මැතිවරණයේදී තවත් ආන්දෝලනාත්මක සිද්ධියක් වූයේ රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ භූමිකාවය. කැබිනට් මණ්ඩලයේ අවසරය අනුව යැවූ බව සඳහන් ඔහුගේ චක්‍රලේඛයක් ද ප්‍රශ්නකාරී විය. පසුව එය ආපසු කැඳවූ ලේකම්වරයා මැතිවරණ කොමිසමෙන් සමාව ද අයැද සිටියේය. ඇත්ත වශයෙන්ම මෙම මැතිවරණය වැළැක්වීමේ අමන මෙහෙයුම ව්‍යාර්ථ වූයේ එහි පදනම අසත්‍ය මත ගොඩනැඟුණු නිසාමය.

මෙම මැතිවරණයට බාධා කිරීමේ දුෂ්ට ව්‍යාපෘතියෙහි මෙහෙයුම්කරුවෝ කවරහුදැයි මෙතෙක් හෙළි නොවූව ද ඒවා පිළිබඳ සැකයත්, විවේචනයත් එල්ල වූයේ ආණ්ඩුවටමය. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මෙහිදී සෘජුවම සිය කාර්යභාරය වෙනුවෙන් පෙනී සිටීම ද අගය කළ යුත්තකි. එසේම සීමා නිර්ණය කොමිසමේ සභාපති වූ මහින්ද දේශප්‍රිය පවා පෙනී සිටියේ පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පැවැත්විය යුතුය යන ස්ථාවරය වෙනුවෙනි. මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම ද එයට එරෙහි වූ පාර්ශ්වයෙහි ප්‍රබල පියවරක් විය.

ආණ්ඩුවේත්, මැතිවරණය කල්දමා ගැනීමට මුල්වූ පිරිසත් කෙබඳු මෙහෙයුම් සිදු කළත් විපක්‍ෂය ප්‍රමුඛ මැතිවරණය වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් හා මැතිවරණ නිරීක්‍ෂණ හා සිවිල් සංවිධාන ද දිගින් දිගටම පෙනී සිටියේ මැතිවරණය දිනා ගැනීම වෙනුවෙනි. මෙම පිල් දෙක උඩින් මෙන්ම යටින් ද ගෙනගිය විවිධ මෙහෙයුම් දෙස ජනතාව ද විමසිලිමත්ව බලා සිටියහ. එහෙත් මැතිවරණයක් වෙනුවෙන් මුදල් වියදම් කිරීම නොමනා දෙයක් හෝ රටට ඔරොත්තු නොදෙන මහා ධනස්කන්ධයක් නාස්ති කිරීමක් ලෙස හෝ ජනතාව පිළිගත්තේ ද නැත. එයට එක් හේතුවක් වූයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ රටට දේශනා කරමින් ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙළය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිරන්තරවම ක්‍රියා කළේත්, කැප වූයේත් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා බව බොහෝ දෙනෙක් පිළිගත්හ. එහෙත් එබඳු ආර්ථික දුෂ්කරතාවක හිරවී අර්බුදයකට පත්වූ රටක කටයුතු සිදුවූ ආකාරය ගැන විවේචන තිබුණි. ආර්ථික බිඳවැටීමක් ගැන පවසමින් විශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කිරීම ගැන විවෘත විවේචන තිබුණි. ජනජීවිත මත දැඩි පීඩනයක් වැටෙද්දීත් අසංවේදී වූ පාලකයන්ගේ තාලයත් ක්‍රියාදාමයනුත් ජනතාවගේ අප්‍රසාදයට ලක්විය. ඈත ගම් දනව්වල පමණක් නොව, කොළඹ මධ්‍යම පන්තිකයන්ගේ ද ජීවිත රටාව එහෙම පිටින්ම අර්බුදයකට ලක්විය. මැද පන්තියට එල්ල වූ බදු පීඩනය ද අසාමාන්‍ය එකක් විය. යම්කිසි ආකාරයක ජීවන මට්ටමකින් යුතුව විසූ මැද පන්තිය, ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට දැක්වූ දැඩි විරෝධතාව මෙතෙක් මෙරටේ වෘත්තිකයන්ගෙන් අප නොදුටු ප්‍රතිචාරයක් විය.

රජයේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම බැංකු ක්‍ෂේත්‍රවල නිලධාරීන් හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාවසායකයන් ආදීන් ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන ප්‍රතිචාර නිසා වින්දිතයෝ බවට පත්ව සිටියහ. වෙනත් වෘත්තීය සංගම් ද ආණ්ඩුව සමග එකඟතා නොමැතිව වීදිබැසීම ද සිදුවිය. මේ හැම කණ්ඩායමක් තුළම තිබුණු විවේචනය වූයේ ජනතාවගේ බදු මුදල්වලින් දේශපාලනඥයන්, ඔවුන්ගේ පවුල් හා හිතවතුන් නඩත්තු වන බවය. ගසාකෑම් යටිමඩි ගැසීම් දූෂණ, ගනුදෙනු ආදිය ගැන විවිධ චෝදනා පවා නැඟුණි.

පසුගිය දිනක (10 දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු උත්සයකදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කරන ලද විවේචනය වූයේ මේ රට වසර 75 ක් තිස්සේ ආපසු ගමන් කළා වූද දූෂිතයන්, ජාවාරම්කාරයන් විසින් විනාශ කරන ලද්දා වූද එකක් බවය. ආර්ථික වශයෙන් පමණක් නොව සදාචාරාත්මක වශයෙන් ද පරිහානියට පත්ව, සියලු මානව ගුණධර්ම වියැකී ගිය, මුදල් ලබා ගැනීම එකම අරමුණ බවට පත්කර ගත් සෝදාපාළුවට ලක්වූ සමාජයක් අද අපට ඉතිරි කර තිබෙන බවය. කාදිනල් හිමියන් විසින් මෙහිදී භාවිතා කරන ලද්දේ “සම්තිං එක්ක ලබාගැනීම” යන යෙදුමය. මේ වූ කලී මුදල් පසුපස හඹා යන සමාජ දේශපාලන ක්‍රමයක දුෂ්ට ප්‍රතිඵලය බව ද නිසැකය.

කෙසේ හෝ කාදිනල් හිමියන්ගේ නිර්දය ආර්ථික හා දේශපාලන විවේචනය සමග එක්වීම හැර අලුත් සමාජ වෙනසක් මෙම පාලනයෙන් ද අපට අපේක්‍ෂා කළ නොහැකිය. කව්රුන් කෙසේ කීවත් අප අද සිටින්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තත්ත්වයකය. ලොවට ප්‍රදර්ශනය වන්නට මහා ආඩම්බරයකින් නිදහස් උත්සවය සැමරුවත්, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ලක්‍ෂණ සුරකිමින් එහි අභිනව සැසිවාර විවෘත කළත්, මේ හිඟන රටක් නොවේ යැයි අපට කිව හැකිද? මේ වනවිට සමස්ත රෝහල් පද්ධතියම මුහුණ දී තිබෙන ඖෂධ හිඟයෙහි නිසැක ගොදුර වන්නේ පාලකයන් හෝ ධනවතුන් හෝ නොව සාමාන්‍ය ජනතාවය. රෝහල්වල බෙහත් නැත. බොහෝ රෝහල්වල ඉතා සුළු වෛi පරීක්‍ෂණයක් කිරීමට හෝ නොහැකිව තිබේ. සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදේශය වී ඇත්තේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව අත්‍යවශ්‍ය සැත්කම් පමණක් සිදු කළ යුතු බවය. නිසි ඔසු නැති කිසි සැත්කමක් කළ නොහැකි සුව සේවයක් ජනතාවට උරුම කර දුන් සෞඛ්‍ය බලධාරීන්ට ශාප කරන ජනතාවගේ දුක්ගැනවිලිවල ද නිමක් නැත.

මේ සියලු ආර්ථික, සමාජ, දේශපාලන ක්‍රියාකාරකම් එකින් එක පෙළගස්වා බලන විට අප බොහෝ දෙනකුට වැටහී යන්නේ මැතිවරණ කොමිසමට සිය ක්‍රියාන්විතයේ අවසාන ඉලක්කය සපුරා ගැනීම අභියෝගයකට ලක්ව තිබෙන බවය. මේ ලියන මොහොත වනවිට ජනමාධ්‍යවල සඳහන් වී තිබුණේ එම මැතිවරණ කටයුතු සඳහා කොමිසම ඉල්ලූ මිලියන 700 න් ඔවුන්ට ලබා දී ඇත්තේ මිලියන 100 ක් බවය. අයවැයෙන් මුදල් වෙන් කළත්, ඒ මුදල පාර්ලිමේන්තුවෙන් අනුමත කර තිබුණත් භාණ්ඩාගාර බලධාරීන් අතේ පිච්චියක් හෝ නොමැතිනම් ඒ මුදල් ලබා දිය නොහැකි බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඇත්ත වශයෙන්ම මෙතෙක් මහ භාණ්ඩාගාරය අනෙක් හැම කටයුත්තක් සඳහාම මුදල් වෙන්කර දුන් බව ද රහසක් නොවේ.

ආණ්ඩුව දැඩි කැපවීමකින් හා උද්‍යෝගයකින් පැවැත්වූ 75 වැනි ජාතික නිදහස් දින උළෙල මෙන්ම පාර්ලිමේන්තුවේ අභිනව සැසිවාරය විවෘත කිරීමේ නිල උත්සවය ද කන්කෙඳිරියකින් තොරව පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහා භාන්ඩගාරයට හැකි විය. ඒ මුදල් ලබාදීමේදී කිසිදු ගැටලුවක් මතුවූයේ ද නැත. 75 වැනි නිදහස් උළෙල මෙන්ම පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීම යන අවස්ථා දෙකටම විපක්‍ෂයේ බහුතරයක් එක්වූයේ ද නැත. එසේම ඒ එකම උත්සවයකටවත් පොදු ජනතාවගේ සහභාගිත්වයක් වූයේ ද නැත. ඒවා හුදෙක් ආණ්ඩුවේ සැණකෙළි බවට පත්විය. මේවා සම්බන්ධයෙන් තිබෙන විවේචන උපුටා දැක්වීම අනවශ්‍ය වුවත් ඒ සියල්ලකම හරය වන්නේ ආණ්ඩුව විසින් ඒවාට මහජන මුදල් වෙන් කරමින් දේශපාලන ප්‍රතිරූප පුම්බාගත් බවය. මෙහිදී අප අවධානයට යොමු වූ එක් සුවිශේෂ කරුණක් ද ඇත. එනම් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම මෙන්ම එය යළි විවෘත කිරීම ද කිසිසේත් අනුමත කළ නොහැකි බවට ඉදිරිපත් වූ විවේචනයයි. එසේම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි වුව ද සුවිශේෂත්වයක් නොවූ බව සමහරු කීහ.

කෙසේ හෝ එම උත්සව දෙකට මෙන්ම ලබන මාර්තු 9 වැනි දිනට යෙදී තිබෙන පළාත් පාලන මැතිවරණයට ද වැය වන්නේ ආණ්ඩුවේ නායකයන්ගේ මුදල් නොව පොදු ජනතාවගේ මුදල් බව ද සිහිපත් කළ යුතුය. එනිසා එම මැතිවරණයට වෙන්කළ මුදල් ලබා නොදී එයට බාධා කිරීම ආණ්ඩුව කරන වරදක් හෝ නොසැලකිල්ලක් නොවේද? එය ආණ්ඩුව දිගින් දිගටම චේතනාන්විතව, අවබෝධයකින් යුතුව ගෙනගිය මැතිවරණය කල්දැමීමේ කූට ප්‍රයත්නයෙහි අවසාන ප්‍රතිචාරය දැයි කෙනකු තුළ සාධාරණ සැකයක් ද ඇතිවිය හැකිය. විපක්‍ෂයේ වේදිකාවලින් නිබඳවම ප්‍රකාශ වූයේ ද මේ ආණ්ඩුව මැතිවරණයට බියවී සිටින බවය. ඔවුන් ඡන්දය කල් දමන්නේ සල්ලි නැති නිසා නොව ඡන්ද නැති නිසා බවය. කොටින්ම මෙම මැතිවරණයෙන් ආණ්ඩුවේ වස්ත්‍රය ගැලවී යන නිසා ඇතිවූ බියත් චකිතයත් පැහැදිලි වීම නිසාය.

අනෙක් අතට ජනාධිපතිවරයාගේම තර්කය අනුව 75 වන නිදහස් දිනය සැමරීමට නොහැකි රටක් ලෙස ලෝකයා ඉදිරියේ අවඥාවට ලක්වීමට සිදු වන්නේ නම් රටේ විශාල උද්‍යෝගයක් ඇතිවී තිබෙන පළාත් පාලන ආයතන සඳහා ජනතා නියෝජිතයන් තෝරා ගැනීමේ එකම ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව අසමත්වීම ලෝකයාගේ අවධානයට යොමු නොවේද? ලංකාව දැන් ඡන්දයක්වත් තියා ගන්න බැරි තරම් හිඟන රටක් ලෙස එයින් අපට අවමානයක් ඇති නොවේද? මෙහිදී අපට වැදගත් වන්නේ ඒ එකක්වත් නොවේ. දේශපාලන අවස්ථාවාදීන් විසින් විනාශ කරන ලද හිඟන රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව තිබෙන දූෂිත චිත්‍රය ගැන ලේකයා අපට වඩා දනී. එනිසා අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකමක් වන එම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමය. ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීමට මේ වචීපරම ප්‍රජාතන්ත්‍රවාදී නඩවලට ඉඩදිය යුතු නැත.

මෙම පළාත් පාලන මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවද එයින් ක්‍ෂණික දේශපාලන පෙරළියක් සිදු නොවන බව මෙරටේ පුරවැසියෝ දනිති. මෙම මැතිවරණයෙන් සජිත් දිනුවත්, අනුර කුමාර දිනුවත් ඒ කිසිවෙක් මාර්තු 10 වැනිදා සිට මෙරටේ විධායක ජනාධිපති ධුරයට පත් නොවන බවද පුරවැසියෝ දනිති. එසේ වුව ද ඒ ඡන්ද ප්‍රතිඵලය විසින් සජිත්ට හා අනුර කුමාරට දෙනු ලබන සහතිකය ආණ්ඩුවේ බලධාරීන් පමණක් නොව රාජපක්‍ෂ කඳවුරම භීතියට පත් කරනු ලබන අර්ථවත් සංඥාවක් වනු නිසැකය. එසේම ජාත්‍යන්තරයට යන පණිවිඩය වන්නේ ද මෙම පවතින ආණ්ඩුවට ජනවරමක් නොමැති බවය.

දේශපාලන කෞටිල්‍යයකු ලෙස ප්‍රකට ජේ. ආර්. ජයවර්ධනගේ සකලවිධ දේශපාලන භාවිතාවන් හා සූත්‍ර ක්‍රමවේද පිරිසිඳ දත් ජනාධිපති රනිල්, ඒ මැතිවරණ ප්‍රතිඵලය ලෝකයට යෑම වැළැක්වීමට ක්‍රියා නොකරනු ඇතැයි කාටවත් කිව හැකිද? ඇත්ත වශයෙන්ම ජනාධිපති රනිල් එදා, ජේ. ආර්. අනුගමනය කළ කෞටිල්‍යගේ සූත්‍රය වන සාම, දාන, භේද, දණ්ඩ යන ක්‍රම හතරම ඉතා මැනවින් වටහා ගත් චරියකි. බලය ලබා ගැනීම සඳහා ඉහත කී සිව්වැදෑරුම් ක්‍රම දේශපාලනයේදී අභ්‍යාස කළ යුතු බව කෞටිල්‍ය නියමයයි. එනිසා මෙම පළාත් පාලන ඡන්දය පිළිබඳ මතුපිට චිත්‍රයට වඩා ඉඳුරා වෙනස් අභ්‍යන්තර චිත්‍රයක් ද තිබෙන බව අප වටහා ගත යුතුය. ඇත්තටම මේ දේශපාලන විකෘතිය පසක් කර ගත යුත්තේ ද ප්‍රවේශමින් කියැවීමෙන් පසුවය.

මෙම පළාත් පාලන මැතිවරණයෙන් එජාපයට අහිමිවීමට විශේෂ දෙයක් ද නැත. ජනාධිපති රනිල් වේලාසනින්ම ප්‍රකාශ කළේත් තමන් මැතිවරණ කටයුතුවලට දායක නොවන බවය. එහෙත් රාජපක්‍ෂවරුන්ට මේ මැතිවරණ ප්‍රතිඵලය වැදගත්ය. ඔවුන්ට ද ජනතාව අතරට පැමිණ සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබේ. එයට ප්‍රතිචාර දැක්වීම ඡන්දදායකයාගේ අභිමතය පරිදි සිදුවනු ඇත.

මෙම මැතිවරණය මෙරටේ ප්‍රභූ දේශපාලනය වෙනස් කෙරෙන අලුත් ආරම්භයක් බව ජ. වි. පෙ. අනුර කුමාර කියයි. ස. ජ. බ. නායක සජිත් කියන්නේ හොරුන් ඇල්ලීම පමණක් නොව හොරකම් කළ මුදල් පවා යළි රටට ලබා ගැනීමට ක්‍රියා කරන බවය. ඒ අතර පොහොට්ටුව හා සජබ සෘජුවම ජ. වි. පෙ. භීෂණ අතීතය ගැන සිහිපත් කරයි. ඇත්තටම යම් පක්‍ෂයකට සිය සදොස් හා කෲර ක්‍රියාකාරකම් අතහැර ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිසීමට බාධාවක් ද නැත. එදා කොටි සංවිධානයේ සිටි ඇතැම් නායකයෝ ද සිය කෲර අතීතය අමතක කර මේ දේශපාලනයේම ගමන් කරති. ඒ හැම දෙයක්ම ප්‍රබුද්ධව කියවා, නිදහස්ව සිය මතය ප්‍රකාශ කිරීමට ලබන මාර්තු 09 වැනි දින ඡන්දදායකයන්ට ඉඩ ලැබෙනු ඇත. එනිසා ඒ ඡන්ද අයිතිය වළක්වාලීමට කිසිවකුට ඉඩ දිය යුතු ද නැත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment