මීගොඩ ආර්ථිකයේ කොල්ලයේ මහමොළකරු හා වෙඩික්කරු අත්අඩංගුවට

130

කොල්ල රැසක තොරතුරුත් එළියට

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කඩාවැදී එහි මුදල් අයකැමිවරියකට වෙඩි තබා මුදල් කොල්ල කෑමේ සිද්ධියේ මහමොළකරු සහ වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (18 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලය සැලසුම් කළ මහමොළකරු හම්බන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර වෙඩික්කරු කොටුවී ඇත්තේ ගොඩකවෙල ප්‍රදේශයේ සැඟවී සිටියදීය.

තරුණියට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සහ යතුරුපැදිය ද රක්වාන ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සමත් වූහ.

මෙම කොල්ලය මෙහෙයවූ පුද්ගලයා කොල්ලකරුවන් ද සමඟ ඉකුත් 12 වැනිදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ එහි පොලිස් මුරපළ අසල ඔත්තු බලමින් ත්‍රිරෝද රථයකට වී සිට ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම මහමොළකරු කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ධනවත් ව්‍යාපාරිකයන්ගේ නිවාස හා ව්‍යාපාර ස්ථාන කොල්ලකෑම් සැලසුම් කර මෙහෙයවා ඇති බව අනාවරණය වී තිබේ.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසලෙන් කොල්ලකෑමට හැකි වූ මුදල රුපියල් 45,000 ක් නිසා මොවුන් එම කොල්ලයෙන් පසු පූගොඩ ප්‍රදේශයේ නිවසක් ද කොල්ලකා රුපියල් ලක්‍ෂ 7 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් රැගෙන ගොස් ඇති බව හෙළිවී තිබේ.

කොල්ලය මෙහෙයවූ පුද්ගලයා සහ වෙඩික්කරු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. වෙඩික්කරු යුද හමුදාවෙන් පලාගිය සෙබළකු වන අතර ඔහුට එරෙහිව තවත් අපරාධ රැසක් ඇති බව පොලිසිය පවසයි.

මෙම කොල්ලය සඳහා යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් සමත්ව නැත.

මෙම කොල්ල කණ්ඩායම තවත් කොල්ලකෑම් රැසක් සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ද ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් නුගේගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.

ඉකුත් 12 වැනිදා අලුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කඩාවැදී එහි සේවිකාවකට වෙඩි තබා තුවාල කර මෙම මුදල් කොල්ලය සිදුකර තිබිණි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment