පිටරටින් එන කුරුල්ලන්ගේ පාරාදීසයක්

වැව් දෙකක් වෙන්වන්නේ එකම වැව් බැම්මකින්

මෙවර අපගේ සංචාරය ආනවිලුන්දාව නම් තෙත්බිම් පරිසර නිකේතනය වෙතය. ‘ආනවිලුන්දාව’ යනු ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර රැම්සා තෙත්බිමයි. අප මීට පෙර සංචාරය කළ බුන්දල ජාතික උද්‍යානයට පසු ජාත්‍යන්තර රැම්සා තෙත්බිම් ලේඛනයට එක්වූ ආනවිලුන්දාව, පසුගිය සතියේ අප කතා කළ විල්පත්තුවට පමණක් නොව, මාදුගඟටත් පෙර රැම්සා ජාත්‍යන්තරයට ගිය තෙත්බිමකි.

මෙසේ රැම්සා තෙත් බිම් ලේඛනයට ඇතුළත්වන්නට පෙර ආනවිලුන්දාව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ප්‍රකාශයට පත්කරන ලද අභයභූමියකි. පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ හලාවත සිට කිලෝමීටර් 15 ක් පමණ දුරකින් පුත්තලම පැත්තට වන්නට පිහිටි ආනවිලුන්දාව නමැති ගම් ප්‍රදේශයේ පිහිටි බැවින් මෙම තෙත්බිම ‘ආනවිලුන්දාව’ නමින් හැඳින්වේ. ආනවිලුන්දාව නම් දුම්රිය ස්ථානය අසලින් බටහිර දෙසට වැටී ඇති මාර්ගයේ අභ්‍යන්තරයට ගමන් කරන කල්හි මෙකී තෙත් බිම් පරිසරය ඔස්සේ සුරුවිල හා මුතුපංතිය ගම්මාන දක්වා ගමන් කළ හැකිය. එසේ ගමන් කරන විට පැරණි ඕලන්ද ඇළද මුණගැසෙන අතර, තවත් කිලෝමීටරයක්, දෙකක් ගමන් කරන කල මුතුපන්තිය ගම්මානය හා මහා සාගරය මුණගැසේ.

අපේ දෙවැනි රැම්සා තෙත් බිම ආනවිලුන්දාව
අපේ දෙවැනි රැම්සා තෙත් බිම ආනවිලුන්දාව
අපේ දෙවැනි රැම්සා තෙත් බිම ආනවිලුන්දාව

දකුණු දෙසින් බත්තුළු ඔයෙන්ද, උතුරෙන් උඩප්පුව දක්වා දිවෙන මාර්ගයෙන්ද, නැගෙනහිර දෙසින් හලාවත-පුත්තලම දුම්රිය මාර්ගයෙන් හා බටහිර දෙසින් පුත්තලම සිට දකුණු දෙසට ගලායන පැරණි ඕලන්ද ඇළෙන්ද සීමාවන ආනවිලුන්දාව අභයභූමිය අක්කර 450 ක් පමණ පුරා පැතිර පවතින අතර, මෙම තෙත්බිම ජලාශ්‍රිත කුරුල්ලන්, උරගයන්, උභයජීවීන්, සමනලුන්, ක්ෂීරපායින් ඇතුළු සත්ත්ව සම්පතට නිවහනක් වනවා සේම, වී ගොවිතැන හා මත්ස්‍ය කර්මාන්තය සිදුකරනු ලබන ප්‍රදේශයේ ජනයාට ආදායම් මාර්ග උත්පාදනය කර දෙන ක්ෂේම භූමියක්ද වේ. එනම්, මෙම තෙත් බිම උදව්වට ගෙන මෙයින් දිවිය සරිකරගන්නා ගැමියන් බොහෝය. පාරම්පරික ධීවර කර්මාන්තය ඉන් එකකි. එසේම මෙම තෙත්බිම උදව්වට ගෙන අස්වද්දන කුඹුරු අක්කර ප්‍රමාණය දහස ඉක්මවයි.

ආනවිලුන්දාව තෙත්බිම හරිම අපූරු තැනකි. හරිම අපූරු නිර්මාණයකි. එම නිසාම ආනවිලුන්දාව නොදුටු දෑසකින් වැඩක් නැත. එහි සුන්දරත්වය සහ පහස නොලැබුණු ජීවිතයකින් වැඩක් නැත. එනිසාම අපගේ මෙවර සංචාරය ආනවිලුන්දාවට යොදාගත් අතර, එයින් ලද පහස මෙතෙකැයි කියා කිව නොහැකිය. සැබැවින්ම හිරු නැග එන උදෑසනත්, හිරු බැස යන සවස් යාමයත් ආනවිලුන්දාවේ අසිරිය විඳින්නට කදිමය. සිය ගණනක් ඔබ-මොබ සැරිසරන සියොත් කැල මෙන්ම, වතුරේ බැස ගෙන, ගස් අතු මත කැදලි තනාගෙන ගොදුරු සොයන ජලාශ්‍රිත කුරුල්ලන්ගෙනුත් අඩුවක් නැති මේ තෙත්බිමේ වටිනාකම කියා නිම කළ හැක්කක් නොවේ.

ආනවිලුන්දාව තෙත් බිම හරිම අපූරු නිර්මාණයක් යයි අප කියන්නේ ඒ තුළ පවතින අතීත කතාව සහ මෙම තෙත් බිමේ සියයට අනූවක් පමණම මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් වන නිසාය. එනම්, මහා පරාක්‍රමබාහු රජු එනමින් රජවෙන්නට පෙර ඔහුගේ තරුණ වියේදී මෙම තෙත්බිම තුළ වැව් පද්ධතියක් නිර්මාණය කර ප්‍රදේශය සහලින් ස්වයංපෝෂණය කරවන ලද බව ඉතිහාසය කියයි. එනම්, ක්‍රිස්තු වර්ෂ 1140 දී හෙතෙම රජ වන්නට පෙර පොලොන්නරුවේ සොලී ආක්‍රමණය පලවා හැරීම සඳහා මෙසේ රටේ බොහෝ තැන් අස්වද්දා ඇති බවත්, ඉන් ප්‍රධාන තැනක් ගන්නා ලද මෙම ආනවිලුන්දාව සංයුක්ත තෙත් බිම පරිසර පද්ධතිය නොහොත්, ආනවිලුන්දාව සංයුක්ත වැව් පද්ධතිය කරවා ප්‍රදේශය සශ්‍රීක කරවා ඇත, යන්න ප්‍රදේශයේ පවතින මතයයි.

වැව් හතක (7) සංකීරණයක් ලෙස ගෙන මෙහි එල්ලංගා පද්ධතියක් සකසා ඇත්තේ අතීතයේදී දැදුරු ඔයෙන් වතුර ගෙන එමින් බව හඳුනාගෙන ඇත. දැන් එම ජල මාර්ග අවහිර වී ඇතත්, තවමත් එහි ශේෂයන් දැක ගත හැකිය. වර්ෂාව අධික කාලයේදී මේ සියලු ජල මාර්ග සක්‍රීය වී එකම තෙත්බිමක් ලෙස ක්‍රියාත්මක වේ. ඒ නැතත්, වියළි කාලයේදීත් ප්‍රදේශයට සිසිල, බෙදන මෙම වැව් පද්ධතිය කිසිදා ජලයෙන් හිස්වන්නේ නැත. මෙහි පවතින වැව් පද්ධතිය වන්නේ ආනවිලුන්දාව, පිංකට්ටිය, මරදන්සෝල, සුරුවිල, මයියාව සහ වෙල්ලාවෙල හා ඉරක්කාවෙලයි. මෙයින් අවසන් වැව් දෙක දැන් බොහෝ සෙයින් ගොඩවී ඇතත් අනිකුත් වැව් වර්ෂා කාලයේදී තම උපරිම ධාරිතාව දරාගෙන කුඹුරු අක්කර දහසකටත් වඩා පෝෂණය කිරීමට තම දායකත්වය ලබාදෙයි.

මේ වැව් පද්ධතියේ ඇතැම් වැව් දෙකක් දෙපසට වෙන්වන්නේ එකම වැව් බැම්මකිනි. එක වැවක් පිරුණු පසු තවත් වැවක් පිරෙන පරිදි එකල දැදුරු ඔයෙන් වතුර ගෙන ආනවිලුන්දාව දක්වා ගෙන ආ විශිෂ්ට වාරි තාක්ෂණයක් භාවිත කර ඇති බව පැරැන්නෝ කියති. ගොවිතැනටත් වඩා කර්කශ ප්‍රදේශයේ සෞම්‍ය දේශගුණික තත්ත්වයක් ඇතිකිරීමට මෙම තෙත්බිම භාවිත කරන්නට ඇති බවද මතයක් ඇත. කෙසේ හෝ මෙම තෙත්බිම මගින් අස්වද්දන කුඹුරු විශාල ප්‍රමාණයක් ප්‍රදේශයේ ඇත. සැබැවින්ම මෙම නිර්මාණය පරාක්‍රමබාහු කුමාරයාගේ විය හැකි බව එහි ගිය අපට ද පසක් වූ කාරණයකි. “අහසින් වැටෙන එක දිය බිඳක් හෝ භාවිතයට නොගෙන මුහුදට නොයවනු” ලෙස සිංහ නාද කළ මෙම නරපතියා පොලොන්නරුව රාජධානිය භාරගන්නට පෙර මෙවන් වික්‍රමයන් සිදුකර ජාතියක් පෝෂණය කරන්නට ඇත.

මෙසේ අද්විතීය ලෙස නිර්මාණය කරන ලද තෙත් බිමක් නොහොත් වාරි වික්‍රමයක් අද අභයභූමියක් පමණක් නොව, ජාත්‍යන්තරය පිළිගත් (රැම්සා) තෙත්බිමක් ලෙස ද නමක් දිනාගෙන සිටින්නේ අප මේ කියන ජෛවවිවිධත්ව වටිනාකම්, පර්යටනික කුරුල්ලන්ගේ අභයභූමියක් වීම, ප්‍රදේශයේ ජනයාට ජීවිකාව සපුරා දෙන පරිසර නිකේතනයක් වන නිසාය.

ඒ නැතත්, ආනවිලුන්දාව යනු ගත, සිත, මනස සුවපත් කරන නෙත පිනවන අපූරු ක්ෂේම භූමියකි. කුරුල්ලන් බලන්නට තෝතැන්නකි. එනිසාම මෙවර අපි අපගේ “සංචාරේ” විශේෂාංගයට මේ ආනවිලුන්දාව තෝරාගත් අතර, ඔබට ද මේ පරිසරයේ සුවය විඳගත හැකිය. නමුත් ඒ සඳහා එහි යන ඔබ එහි වෙසෙන කුරුල්ලන් ඇතුළු සතා සිව්පාවුන්ට අබමල් රේණුවක තරම්වත් හිංසාවක්, පීඩාවක්, බාධාවක් නොකළ යුතු අතර, පොලිතීන්, ප්ලාස්ටික් නැති පරිසර හිතකාමියකු වීම ද අතිශය වැදගත්ය.

අපේ දෙවැනි රැම්සා තෙත් බිම ආනවිලුන්දාව

සැරිසර – ජගත් කණහැරආරච්චි
කැමරාව – වාසල සේනාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment