ටින්මාළු කම්හල්වලට මාළු මිලදී නොගැනීමෙන් ධීවරයන්ට හතේ හත වැදිලා – මාළු කිලෝ ලක්‍ෂ 10ක් පිටරටින් ගෙනැල්ලා

107
ධීවර සමිතියේ සභාපති පී. බී. ගාමිණී
ලංකාවේ සැමන් කර්මාන්ත ශාලා දහඅටම අද වහලා
පොදු ධීවර සම්මේලනයේ සංවිධායක රත්න ගමගේ


ටින්මාළු කම්හල්වලට දේශීය ධීවරයන්ගේ මාළු මිලදී නොගැනීම හේතුවෙන් තම මත්ස්‍ය අස්වැන්න විකුණාගත නොහැකි වී ඇතැයි ධීවරයෝ පවසති.

පසුගිය කාලයේ සැමන් නිෂ්පාදනය සඳහා දේශීය ධීවරයාගේ මත්ස්‍ය අස්වැන්න මිලදී ගනු ලැබූවද කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදනවලට වැට් බදු නියම වීමත් සමඟ දේශීය ධීවරයන්ගේ මාළු, සැමන් කම්හල්වලින් මිලදී නොගන්නා බව ඔවුහු කියති.

මේ හේතුවෙන් දේශීය ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න විකුණා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ධීවර සමූපකාර සමිතියේ සභාපති පී. බී. ගාමිණී මහතා කියයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,

“පිටරටින් පැමිණෙන සැමන්වලට කිසිදු වැට් එකක් නෑ. රුපියල් 200 ටැක්ස් එකක් විතරයි ගන්නේ. අපි පහුගිය කාලේ ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා, ලේකම්තුමා එක්ක සාකච්ඡා කරලා පහදලා දුන්නා මේ කාලෙ මාර්තු වෙනකම් මාළු අස්වැන්න වැඩි කාලේ. මේ කාලය තුළ පිටරට මාළු කිලෝ එකක්වත් ගේන්න එපා කියලා අපි ඉල්ලීමක් කළා. නමුත් මාළු කිලෝ ලක්ෂ දහයකට වැඩිය ගෙනැල්ල තියෙන්නෙ පිටරටින්. රට වටේම තියෙන ධීවර වරායන්වලින් අල්ලන මාළුවලට ධීවරයා මොකද කරන්නේ.

මාළු කිලෝ දහදාහක් ගෙනිච්චත් ලක්ෂ දොළහක් හම්බවෙයි. ඒකෙන් අයිස් ගහන්නයි තෙල් ගහන්නයි ප්‍රමාණවත් නෑ. ඉතින් කොහොමද මේ කර්මාන්තය කරන්නේ. අපිත් ඉදිරි අනාගතයේ එක බෝට්ටුවක්වත් යවන්නේ නැතුව ගැටගහලා තියෙනවා.

මේ රට වටේට මුහුද තියෙනවා. පිටරටින් මාළු කිලෝ එකක්වත් ගේන්න එපා කියලයි අපි යෝජනා කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසුවේ, දැන් මේ ධීවර වරායට ඇවිල්ල බලනකොට මහ ඛේදවාචකයක්නෙ තියෙන්නේ. මාළු ටික ගොඩබාල තියෙනවා නමුත් විකුණා ගන්න විදියක් නෑ. තෙල්, අයිස්, වරාය ගාස්තු, ආම්පන්න යන සියලු දේවල මිල වැඩිවුණා.

බහුදින ධීවර යාත්‍රාවක් මුහුදු ගියේ ලක්ෂ තිස්පහක් හතළිහක් තිස්පහක් වියදම් කරලයි. මුහුදු ගිහිල්ලා අමාරුවෙන් අල්ලාගෙන එන මාළු ටික විකුණා ගන්න බෑ. අද ලංකාවේ තියෙන සැමන් කර්මාන්ත ශාලා දහ අටම වහලා දාලා තියෙන්නෙ.

මෙරට සැමන් කර්මාන්ත ශාලා වැඩිපුරම මිලදී ගත්තේ අපේ ධීවරයාගේ මාළු ටික. වැට් එක ගහලා සැමන් කර්මාන්ත ශාලාවලටත්. මේ නිසා අපේ මාළු ටික විකුණාගන්න බැරි තත්ත්වයට පත්වෙලා. මෙහෙම ගියොත් මේ රටේ ධීවර කර්මාන්තය තව සති දෙක තුනකට වඩා යන්නේ නෑ.

අදාළ බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමුකොට ධීවරයන් වෙනුවෙන් සාධාරණය ඉටුකර දෙන ලෙස ධීවරයෝ ඉල්ලා සිටිති.
ගාල්ල – එස්. කේ. කළුආරච්චි – ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment