අරක්කු හොර ස්ටිකර් අල්ලන උපකරණය පිස්සු නටනවා

281

හරියටම චෙක් කරන්න ඉන්දියාවට යවන්න වෙනවා
සුරාබදු වෘත්තීය සමිති එකමුතුව

මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර්වල ව්‍යාජභාවය හඳුනා ගැනීමට මෙරට පහසුකම් නොමැති බවත් ඒවා හඳුනා ගැනීමට ඉන්දියාවට යැවිය යුතු බවත් සුරාබදු වෘත්තීය සමිති එකමුතුවේ සම ලේකම් නිරෝෂන් ජයකොඩි මහතා ‘දිවයින’ට ඊයේ (30 දා) පැවැසීය.

ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීම සඳහා සුරාබදු නිලධාරීන්ට උපකරණ ලබාදී ඇතත් නියමිත ස්ටිකරය ස්කෑන් කර හෝ පිටපත් කර මත්පැන් බෝතලයක එම ව්‍යාජ ස්ටිකරය අලවා තිබුණහොත් එය ප්‍රමිතිගත ස්ටිකරයක් ලෙස පරීක්‍ෂා කරන උපකරණයෙන් හඳුනා ගැනීම හාස්‍යජනක යැයි ද ජයකොඩි මහතා කීය.

විවිධ මත්පැන් වර්ග අනුව ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම්වලින් යුත් (උපරිම අංක 10ක්) අනුක්‍රමික අංකයක්, රහස් සලකුණු වැනි වෝහාරික සලකුණු ඇතත් ඒවා ගැන දැනට දන්නේ ඉන්දීය සමාගම පමණක් බව ද ඔහු පැවැසීය.

ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරියෙකු මේ මස මුල දින 04 ක් ඉන්දියාවට ගොස් පුහුණුවක් ලබා පැමිණ ඇතත් එම නිලධාරියාට ද ලබාදී ඇත්තේ සලකුණු වලින් කොටසක් පිළිබඳ තොරතුරු යැයි ද ජයකොඩි මහතා කීය.

2019 යහපාලන කාලයේ එළඹි ගිවිසුමක් අනුව 2022 ජනවාරි 03 දින සිට මෙරට ස්ටිකර් ක්‍රමය ක්‍රියාත්මක කළත් එහි අඩුපාඩු රැසක් පවතින බව ද කී ඒ මහතා මෙම ගිවිසුම අහෝසි වන්නේ 2027 ජනවාරි 02 වැනිදා බව ද කීය. සමාගමේ දුර්වලතා රැසක් පවතිද්දී සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් පිට එම වරදවල් පටවා ආරක්‍ෂිත මුද්‍රා 1000 කට ඩොලර් පහයි දශම අනූ නවයක් (5.99) අයකර ගනිමින් විශාල ඩොලර් ප්‍රමාණයක් ඉන්දියාවට රැගෙන යන බව ද ජයකොඩි මහතා පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment