කාන්තා නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරි ඡායාරූප ශිල්පියා රිමාන්ඩ්

246

තරුණියන්ගේ ඡායාරූප නිරුවත් කාන්තා ඡායාරූපවලට බද්ධ කර අන්තර්ජාලයට මුදාහැරි මංගල ඡායාරූප ශිල්පියකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .සැකකාර ඡායාරූප ශිල්පියා රාගම මහ රෝහලේ මානසික වෛද්‍යවරයා වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් ද එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කෙරිණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මංගල ඡායාරූප ශිල්පියකු වූ නිට්ටඹුව පනාවල ප්‍රදේශයේ විවාහකයෙකි.

ඡායාරූපවල සිටි තරුණියන් පස්දෙනා විසින් නිට්ටඹුව පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අදාළ තරුණියන් පස්දෙනාගේ ඡායාරූප වෙනත් කාන්තා නිරුවත් ඡායාරූපවලට බද්ධකර පරුෂ වචන ද යොදා සමාජ මාධ්‍යවලට මුදා හැර ඇති බවත් අතවර චෝදනාව යටතේ සැකකාර කැමරා ශිල්පියා අධිකරණයට ඉදිරිපත් කෙරුණු බවත් පොලිසිය පවසයි.

සිද්ධියට මුහුණදුන් තරුණියන් පස්දෙනා, සැකකරු සහ සැකකරුගේ බිරිඳ කලකට ඉහතදී නිට්ටඹුව පොදු වෙළෙඳ සංකීර්ණයේ රෙදිපිළි වෙළෙඳ සැලක එකට සේවය කර ඇති බවත් එහිදී ඡායාරූප ලබාගෙන තිබූ බවත් විමර්ශනවලදී හෙළිවී ඇත. එම ඡායාරූප අසභ්‍ය කාන්තා ඡායාරූපවලට බද්ධකර මෙලෙස අන්තර්ජාලයට මුදා හැර ඇති බව විමර්ශනවල දී හෙළිවී ඇත.

බද්ද කර සකසන ලද අසභ්‍ය ඡායාරූපවල සිටින තරුණියන් පස්දෙනා සැකකරුගේ බිරිඳගේ හොඳම මිතුරියන් බවත් මීට පෙරද සැකකරු විසින් එම කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියක් වාර්තා වන බවත් එම සිද්ධිය අදාළ කාන්තාවන් සමග සාකච්ඡාකර සමථයකට පත් කර ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

අන්තර් ජාලයට මුදාහැරි අසභ්‍ය ඡායාරූපවල සිටින එක් තරුණියකගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය ඡායාරූප ගත කර ඇත්තේ මෙම සැකකරු විසින් බවත් එම මංගල ඡායාරූප ද අසභ්‍ය කාන්තා ඡායාරූප සමග බද්ධ කර අන්තර්ජාලයට මුදාහරී ද යන්න අදාළ විවාහක තරුණිය මේ වන විට දැඩි බියකින් පසුවන බවත් වාර්තා වේ. නිට්ටඹුව පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment