කළු වඳුරු හොරු වත්තලින් අත්අඩංගුවට

105

බෙල්ලන්විල අත්තිඩිය වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කළු වඳුරු පැටවුන් සිව්දෙනකු ඉකුත් 09 දා අලුයම සොරකම් කර ඇති බවත්, මංකොල්ලකරුවන් හඳුනාගැනීම සඳහා මහජන සහාය ගැනීම සඳහා ලබාදෙන ලෙස මාධ්‍ය මඟින් දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සොරකමට සම්බන්ධ පුද්ගලයන් බවට සැකකරන වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි දෙදෙනකු ගල්කිස්ස පොලිසියේ විවිධ පැමිණිලි අංශය මගින් ඉකුත් 19 දා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් පොලිසිය පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් ඉකුත් 09 දා අලුයම වඳුරු පැටවුන් ප්‍රතිකාර ලබමින් සිටි කුටියට ඇතුළු වී එහි ආරක්ෂිත කූඩුවල රඳවා සිටි කලු වඳුරු පැටවුන් සිව්දෙනා ගෝනිවල දමා එළියට පැමිණ ඇති අතර ඒ වනවිටත් ජාවාරම්කාර ගැනුම්කරු මෝටර් රථයකින් දොරටුව අභියස රැඳී සිටි බවත්, ඔහු ඒ අවස්ථාවේදීම එක් වඳුරු පැටවකු සඳහා රුපියල් තිස් දහසක් බැගින් රුපියල් එක්ලක්ෂ විසි දහසක් ලබාදී පැටවුන් එම රථයෙන් රැගෙන ගිය බවත් සැකකරුවන් ප්‍රකාශ කළ බව පොලිසිය කියා සිටී. බෙල්ලන්විල අත්තිඩිය වනජීවී පුනරුත්ථාපන මධ්යස්ථානය මධ්‍යස්ථානයෙන් සිදුකල පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු සිදුකරන බවත්, මීට පෙරද අවස්ථා හතරකදී මෙලෙස වඳුරු පැටවුන් සොරාගෙන ගොස් ඇති බව හෙළිවී ඇතැයිද පොලිසිය කියයි. වැඩිදූර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස පොලිස් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. එල්. අමරසේකර මහතාගේ උපදෙස් පරිදි පො.කො. (92576) විජේසූරිය, (93708) හේමාල්, (94952) බණ්ඩාර යන පොලිස් නිලධාරීන් විසින් සිදු කරයි.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment