ජනතා සාපයට ලක්වනු බැරි නිසා අස්වෙනවා – මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙමින් චමින්ද විජේසිරි කියයි

363

සමාජය තුළ දරුවන් විශාල වශයෙන් දුක් විඳිනවා

225 පිළිබඳවම ජනතාවගේ කලකිරිමක් තිබෙනවා

වෙන දේශපාලන බලවේගයක් මට නෑ

සමගි ජනබලවේගය නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විජේසිරි මහතා ඉල්ලා අස්වීමේ ලිපිය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාර දී තිබේ.

සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් චමින්ද විජේසිරි මහතා මෙසේ කියා සිටියේය.
“අයවැය අවසන් දිනයේ මා මෙම ප්‍රකාශය කරන්න හිටියත් එදින ඒ ප්‍රකාශය කළා නම් පක්ෂයට ද්‍රෝහියෙක් වෙනවා. ඒ නිසා මම ටික කාලයක් අරගත්තා. මගේ පාර්ලිමේන්තු ජීවිතයට අවුරුදු අටක් වෙනවා. මම හිතනවා මට ඡන්දය දුන්නු ජනතාව වෙනුවෙන් මා උපරිමය කළා කියලා. නමුත් මම පුද්ගලිකව මුහුණු දුන්නු කාරණා තිබෙනවා. මේ 225 පිළිබඳව ජනතාවට විශාල එපාවීමක් තිබෙනවා.

පසුගිය දිනක දියවන්නාවෙන් කිඹුලෙක් ගොඩට ඇවිත් තිබුණා. මමත් ගියා බලන්න. එහිදී ජනතාව කිඹුලාට කිව්වේ මේ 225 ම කාපන් කියලයි. මාත් ඒක අහගෙන හිටියා. මම එදා වී එයිට් එකකින් පාර්ලිමේන්තු ආවේ. නමුත් අපට අද වී එයිට් එකක් නෑ. සමාජය මුහුණ දෙන ප්‍රශ්නවලදී ජනතාව අපේ දරුවන්ටත් සාප කරනවා. මේවා ඉවසගෙන දේශපාලනයේ තවත් ඉදිරියට යනවාද කියන ප්‍රශ්නය තිබෙන නිසා මම ඉල්ලා අස්වීම භාර දුන්නා. ඒක ගෞරවයෙන් පිළිගන්න කියා ඉල්ලනවා.

පාර්ලිමේන්තුවේ නීතිය සහ සම්ප්‍රදාය තිබුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. මන්ත්‍රීවරු හැසිරෙන විදිහ ගැන සභාවේ පටිගත වෙනවා. අපි කතා කරන ඒවා හැන්සාඩ් වෙනවා. නමුත් මම නොකියපු දේවල් හැන්සාඩ් ගතවෙලා තිබෙනවා. ඒක බරපතළ කාරණයක්. මේ පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නෑ. ඒ ජනවරම දැන් ගිලිහිලා ගිහින්. දැන් නව මැතිවරණයක් අවශ්‍යයි.

විපක්ෂ නායකතුමා මට පියෙක් වගේ පිහිට වෙලා තිබෙනවා. එතුමා සමග කටයුතු කිරීම ගැන මම සතුටු වෙනවා. සමහරු තාත්තලා වගේ දරුවන් වඩා ගත්තා. නමුත් විපක්ෂ නායකතුමා ඇත්තටම පියෙක් වගේ ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න කැප වෙනවා. එතුමා දරු සුරතල් බලන නායකයෙක්. ඒ නිසා මට විශ්වාසයක් තිබෙනවා එතුමා අපේ රටේ දරුවන් ගැන බලා ගනීවි කියලා. අද සවස පහ හය වෙන කොට එතුමාව හොයා ගන්න බෑ. හොයලා බලනකොට දරු සුරතල් බලන පියෙක් වෙලා. මා මේ තීන්දුව ගන්නේ සජබය තුළ තිබෙන පීඩන නිසා නොවෙයි. නායකතුමාට කිසිම අවැඩක් වෙන පියවරක් මම ගන්නේ නෑ. මම නායකතුමා එක්ක ඉන්නවා. සමගි ජන බලවේගය ඇරෙන්න වෙන දේශපාලන බලවේගයක් මට නෑ. සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ නායකත්වයට පත්වෙන මොහොතක මම මගේ දේශපාලනය නැවත පටන් ගනීවි. මම කියන්නේ පිටකවරය බලන්නේ නැතුව සජිත් ප්‍රේමදාසගේ සම්පූර්ණ කතාව බලන්න කියලයි. මම කියන්නේ මේ ලේකම්තුමියටත් 225 ටත් යහපතක් කරන්න කියලායි. මම සතුටින් මේ තීරණය ගත්තේ. සමාජය තුළ දරුවන් විශාල වශයෙන් දුක් විඳිනවා. ඒ ප්‍රශ්න විසඳන්න නම් නීති ගරුක 225ක් හදන්න ඕනෑ.

මේ අතර 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ අසුන හිස්ව ඇති බව මහලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment