විදෙස් සමාගම් කිහිපයකට ඉඩදී සංස්ථා බලය කැඩීමට විරෝධය

207

සපුගස්කන්ද වැසීම කුමන්ත්‍රණයක්ද – වෘත්තීය සමිති අසයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ඒකාධිකාරිය අහෝසි කොට ඉන්දීය තෙල් සමාගමට අමතරව විදේශ සමාගම් කිහිපයකට මෙරටට තෙල් ගෙන ඒමට හා අලෙවි කිරීමට අවසර ලබාදීමට ගෙන ඇති පියවරට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගැනීමට තෙල් සංස්ථා වෘත්තීය සමිති තීරණය කොට ඇත.

කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට එරෙහිව තෙල් සංස්ථා වෘත්තීය සමිති කිහිපයක් හා සේවකයෝ ඊයේ (30දා) කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය වැටලීමට ක්‍රියා කළහ. එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වුවත් වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනකුට සාකච්ඡා කිරීමට ඉඩ විවර විය.

ඒ අනුව විෂය භාර ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීමට අද (01 වැනිදා) දිනයේ ඉඩ දෙන බවට පොරොන්දු වූ පසු පිරිස විසිර ගියහ.

1961 අංක 27 දරන ලංකා ඛනිජ තෙල් සංස්ථාව ස්ථාපිත කිරීමේ පනත 2001 අංක 33 දරන විශේෂ විධිවිධාන පනත හරහා කොටස් තුනකට කඩා සංස්ථාවේ ඒකාධිකාරිය නැති කළ බවද වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.

එම විශේෂ විධිවිධාන පනත හරහා අයි. ඕ. සී. :ෂධක්‍* තෙල් සමාගම මෙරට තෙල් වෙළෙඳාමට එක් වුවත් ඔවුන්ට පිරිපහදු කළ ඉන්ධන මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමට අයිතියක් නොමැති බවද ඔව්හු පැවසූහ.

මේ වනවිට රට තුළ ඉන්ධන අර්බුදයක් මතුකර තෙල් සංස්ථාව අපකීර්තියට පත්කර විදේශ සමාගම්වලට මෙරටට ඉන්ධන ගෙනැවිත් අලෙවි කිරීමට ඉඩ ලබාදීමට ගත් කැබිනට් තීරණය නීති විරෝධී බවද ඔවුහු කියා සිටියහ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ලියාපදිංචි බංකර්කරුවන්ට (නැව් තෙල්) ජෙට් ඒ 9 ගුවන්යානා ඉන්ධන ආනයනය හා අලෙවියට ද ඒ අනුව අවසර දීමට නියමිතය.

ඊයේ (30 වැනිදා) ඛනිජ තෙල් සේවකයන් විරෝධතා පෙළපාලියකින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ගිය පසු එම වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනකු හා සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය ඉඩ ලබා දෙන ලදී.

ඒ අනුව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන බවද පොරොන්දු වී ඇත.

මේ සම්බන්ධයෙන් පිරිපහදුව සුරැකීමේ එකමුතුව නියෝජනය කරන ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ නීති විරෝධී ලෙස විදෙස් සමාගම්වලට මෙරටේ තෙල් අලෙවිය හා තෙල් ගෙන්වීමට අවසර දීමට පියවර ගතහොත් ඊට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවකි.

රට තුළ තෙල් හිඟයක් ඇති කර සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම පාලකයන්ගේ කුමන්ත්‍රණයක් දැයි සාධාරණ සැකයක් පහළ වී ඇතැයි ද ඒ මහතා කීය.

කටාර් රටේ සමාගමක් සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිර යන කතාව ඇත්තක්ද නැද්ද යන්න හෙළි කළ යුතු බවත් එම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අටදෙනාගෙන් හයදෙනෙක්ම ශ්‍රී ලාංකිකයන් බවත් ඒ මහතා කීය. එහි එක් අධ්‍යක්‍ෂවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්‍ෂවරයකු ද සිටින බවද හෙතෙම කීය.

තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විදේශ සමාගම්වලට මාස හයකට ලබාදීම ඉතා භයානක බවත් අවසානයේදී පෘතුගීසින්ට රටේ කොටස් බාරදුන් ආකාරයට සංස්ථාව විදෙස් සමාගම්වලට නතුවන බවද කීය.

එනිසා තෙල් සංස්ථාවත්, රටත් රැකගැනීමට සියලු සේවකයන් පෙළගැසී ඉදිරි තීරණ ගන්නා බවද රන්වල මහතා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment