අසිත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සවිය ගෙනෙයි

361

ආරම්භක පිතිකරු අසිත වන්නිනායක නොදැවී රැස් කරන ලද ලකුණු 132 ක ඉනිම හේතුවෙන් එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (22 වෙනිදා) තරගය නිමා කරන විට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 86 ක තරම් වූ අවම පරතරයකට ලකුණු පුවරුව තබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකියාව ලැබිණ.

දිනයේ විශිෂ්ටතම පිතිහරඹයට හිමිකම් කී අසිත වන්නිනායක තරගය නිමා වන විට පන්දු 307 කදී ලකුණු 132 ක් සහ නායක රවීන් ද සිල්වා පන්දු 22 කදී ලකුණු 19 ක්ද ලබා සිටියහ. දෙවැනි දිනට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 99 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 301 ක් ලබා සිටියේය.

මිනිත්තු 402 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි වමත් ආරම්භක පිතිකරුවා මනරම් කවර් ඩ්‍රයිව් පහර කීපයකින්ම එල්ල කරන ලද හතරේ පහර ද සමඟ තම ඉනිම හතරේ පහර 19 කින් වර්ණවත් කරගැනීමට ද සමත්ව සිටියේය. අසිත මෙම තරගයට පෙර ශ්‍රී ලංකා පිලට හිමි තුන් දින පුහුණු තරගයේදීද ලකුණු 100 ක් වාර්තා කරමින් සාර්ථකව තරගාවලියට පෙරහුරුවක් ලබා ගත්තේය.

අසිත සමග දිනය ආරම්භ කළ ෂෙවෝන් ඩැනියල්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 22 ක් පමණි. මුළු ලකුණු සංඛ්‍යාව 50 ක්ව තිබියදී ඩැනියෙල් පිටියෙන් ඉවත්ව ගිය පසු අසිතට එක් වූ පවන් පතිරාජ ශ්‍රී ලංකා පිල ස්ථාවරත්වයකට රැගෙන ඒමට දායකත්වය දැක්වීය.

අනතුරුව අසිතට එක්වූ රනුද සෝමරත්න මෙතෙක් ඉනිමේ විශිෂ්ටතම සම්බන්ධතාව එක් කිරීමට දායකත්වය දැක්වූහ. ලකුණු 137 ක සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳී ගියේ එඩී ජැක්ගේ පන්දුවකට රනුද සෝමරත්න ෆෝර්මන් අතට උඩ පන්දුවක් ලබා දීම නිසාය. පන්දු 114 කට මුහුණ දී සිටි දකුණත් පිතිකරුවා පිටියෙන් ඉවත්වන විට ලකුණු 65 ක් ලබා සිටියේ හතරේ පහර 8 ක්ද තම ඉනිමට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.

එංගලන්ත යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 78.3 කදී සියලු දෙනා දැවී ලකුණු 387 යි – ජෝර්ජ් බෙල් 107, බර්ටී ෆෝර්මන් (නොදැවී_ 58, රොස් වයිට්ෆීල්ඩ් 86, හැරී සිං 27, බෙන් මැකිනි 33, දුවිඳු රණතුංග 100/4, දුලාජ් සමුදිත 105/2, වනුජ සහන් 56/2)

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 99 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 301 යි – (අසිත වන්නිනායක 132, රනුද සෝමරත්න 65, පවන් පතිරාජ 32, ෂෙවෝන් ඩැනියල් 22, සදීෂ රාජපක්ෂ 11, රවීන් ද සිල්වා 19, බෙන්ජමින් ක්ලිෆ් 57/2)

advertistmentadvertistment
advertistmentadvertistment