ඖෂධ මාෆියාව ගිය ආණ්ඩුවේ නිර්මාණයක්… රාජිතගේ පනත හොරකම නීති ගතකළ එකක්…

591

රාජ්‍ය දත්තයන් පෞද්ගලික පරිහරණය ප‍්‍රශ්නයක්….
ඖෂධ මාෆියාවෙන් වාසි ගත් අය ආණ්ඩුවටත් හේත්තු වෙලා අපිටත් ගහනවා….

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය මැකී යෑම මේ වනවිට සමාජයේ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇත. ගෙවෙන සතියේ පාර්ලිමේන්තුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති කිරීමට මෙම සිදුවීම සමත්ව තිබිණි. හිටපු විෂය භාර ඇමැති රාජිත සේනාරත්න සහ වත්මන් විෂය භාර රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මෙම දත්ත මැකී යෑමේ සිද්ධිය අරබයා එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිති. මේ සම්බන්ධයෙන් සහ ඖෂධ මාෆියාව පිළිබඳ චන්න ජයසුමන මහතා කෙලින්ම ඇඟිල්ල දිගු කරනුයේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා වන රාජිත සේනාරත්න මහතා වෙතය.

එකිනෙකා වෙත එල්ල කරන චෝදනා පිළිබඳව හිටපු අමාත්‍යවරයාගෙන් සහ වත්මන් රාජ්‍ය අමාත්‍යවරයගෙන් දිවයින ඉරිදා සංග‍්‍රහය විමසා සිටියෙමු.

පහතින් පෙළගැසෙන්නේ එම සාකච්ඡාවන්ය.

ප‍්‍රශ්නය- ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම පසුගිය රජය යටතේ ක‍්‍රියාත්මක වූ ඖෂධ මාෆියාවට සම්බන්ධ කටයුත්තක් විය හැකි යැයි ඔබ චෝදනා එල්ල කළත් විපක්ෂය චෝදනා කරන්නේ කොරෝනා වසංගතයේ මුදල් උපයාගනු ලබන වත්මන් ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් ඊට සම්බන්ධ බවයි .

පිළිතුර- මෙම දත්ත මැකී යාම සඳහා වත්මන් රජයේ කිසිදු සම්බන්ධයක් හෝ අනුබලයක් නැහැ . එහි සාධාරණ සැකය යොමු වන්නේ පසුගිය 2015 -2019 යහපාලන ආණ්ඩු සමය තුළ ඖෂධ මාෆියාව ක‍්‍රියාත්මක කළ අය වෙතටයි. ඔවුන් ඖෂධ ගෙන්වීමේ ඒකාධිකාරය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඉඩප‍්‍රස්ථාව මේ තුළින් ඉටුකරගත්තා ද යන සැකය මතුව තිබෙනවා. වත්මන් රජය බලයට පත්වූූ පසු එම ඒකාධිකාරය බිඳ දමා අනෙක් අයටත් අප සාධාරණ අවස්ථා ලබා දී තිබෙනවා .

ඇත්තටම අපි මෙතනදී බලන්න ඕනා මෙම දත්ත මැකී යාමේ වැඩිම වාසිය යන්නේ කාටද කියල. බැලූ බැල්මට එම දත්ත මැකී යාමේ වාසිය යන්නේ මම ඉහතින් සඳහන් කළ අයට . නමුත් එසේ කියා අප මේ පිළිබඳ වගකීමෙන් මිදෙන්නේ නැහැ. ඒ නිසා තමයි අප මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ. මේ වන විට පරීක්ෂණ කටයුතු නිසි පරිදි සිදුවෙමින් තිබෙනවා . මෙම විමර්ශනයෙන් අනතුරුව වැරදිකරුවන් හෙළි වූ පසු ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට අප අනිවාර්යයෙන්ම කටයුතු කරනවා .

ප‍්‍රශ්නය- මෙම දත්ත පද්ධතිය පවත්වාගෙන යන අදාළ තාක්ෂණික සමාගම මෙරට ඉතා වැදගත් ආයතන ගණනාවක දත්ත පවත්වාගෙන යනවා. ජාතික ආරක්ෂාවට, ආර්ථිකයට සෘජු ලෙස බලපාන දත්ත මෙවැනි සමාගමක් සතුවීම බරපතළ තත්වයක් නොවේද ?

පිළිතුර- පැහැදිලිවම. ඒ සම්බන්ධව මේ වන විට රතු එළියක් තමයි මේ දැල්වී තිබෙන්නේ. මෙවැනි ආයතනයන් සම්බන්ධව නැවත වරක් සලකා බලන්න වෙනවා. ආරක්ෂක සහ ආර්ථික ක්ෂේත‍්‍රයේ රාජ්‍ය දත්තයන් පුද්ගලික අංශයේ අයවලූන්ට පරික්ෂා කිරීමට හැකි වීම ප‍්‍රශ්නයක්. එම සමාගම වගකීම් පැහැරහැර තිබෙනවා. කෙසේ වෙතත් නැවත වරක් මෙවැනි හානියක් නොවීම සඳහා අප පියවර ගනිමින් සිටිනවා.

ප‍්‍රශ්නය- ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට ඔබ එල්ලකළ ප‍්‍රධාන චෝදනාවක් වුණේ ඖෂධ අධික මිලට මිලදී ගැනීම සම්බන්ධවයි. නමුත් දැන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට පිළිතුරු දීල තියෙනව. ඔහු පවසන්නෙ ඒ ඖෂධ මිලදීගත් අගයන් නොව, ටෙන්ඩර් දැමූ පසුව ඉදිරිපත්වූ මිල ගණන් බවයි. දැන් එතකොට කවුද හරි….

පිළිතුර – මම පාර්ලිමේන්තුවෙදි ලේඛන දෙකක් සභාගත කළා. එක ලේඛනයක තිබුණෙ හදිසි මිලදී ගැනීම හැටියට මිලදීගත්ත ඖෂධ මිල ගණන් පිළිබඳ විස්තර. ඒකෙ තේරුම තමයි සාමාන්‍ය ක‍්‍රියාපටිපාටිය ඇතුළෙ රටට අවශ්‍ය වන ඖෂධ නිසි පරිදි ගෙන්වන්නෙ නැතිව හිඟයක් ඇතිවෙන්න සලස්වල, ඊට පස්සෙ ඒව හදිසි මිලදී ගැනීම් ලෙස හුවා දක්වල වැඩි මිලක් දීල මිලදී ගැනීම. මේ සම්පූර්ණ ඖෂධ ලැයිස්තුව සභාගත කළා. ඒකෙ වගකීම සම්පූර්ණයෙන් මම භාරගන්නව. අනෙක් ලයිස්තුව තමයි 2019 දි මිල ගණන් කැඳවා තිබුණු එක. ඒවා සඳහා එක සැපයුම්කරුවෙක් විතරයි ඉන්නෙ, ඒක තමයි Quotation Price කියල කියන්නෙ. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා කියනව Quotation Price විතරයි, ඊට වඩා අඩුවෙන් ගත්ත කියල. ඒක වෙන්නෙ කොහොමද ඉන්නෙ එක නිශ්චිත සැපයුම්කරුවෙක් විතරයි. එහෙම වෙද්දි ඒ ඉදිරිපත් කරල තියෙන මිලටම තමයි ගන්න වෙන්නෙ. ඒක තමයි මම කිව්වේ මේක මාෆියාවක් කියල. එක්කෙනක් විතරක් ඉතිරි කරනව අනෙක් අයට ලියාපදිංචිය නොදී. එතකොට ඒ සැපයුම්කරුගෙන් පමණයි අනිවාර්යයෙන් මිලදී ගන්න ඕන. දැන් අපි මේව නවත්වල තියෙනව. ඒ ඖෂධ ලැයිස්තුව තමයි සභාගත කළ අනෙක් එක. ඖෂධ ලැයිස්තු දෙක ගැන සම්පූර්ණ වගකීම මම දරනව. රාජිත සේනාරත්න මැතිතුමා මේ Quotation Price කියල වචනයක් දාගෙන සම්පූර්ණයෙන්ම ජනතාව මුළාවෙ දැමීමක් තමයි මේ කරන්නේ.

ප‍්‍රශ්නය- ඒ වුණත් 2019 ඖෂධ වර්ග 48ක මිල පාලනය කර රුපියල් කෝටි 440ක් ඉතුරු කළ බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

පිළිතුර- ඒකත් සැබෑ කතාව වසන් කිරීමක්. මේ කියන්නෙ රජයට මිලදී ගැනීම නොවේ. එතුමා 2016 අවුරුද්දෙ තෝරාගත්ත ඖෂධ වර්ග 48කට පසුව එයට තව 12ක් එකතු කළා. උපරිම සිල්ලර මිලක් නියම කළා. ප‍්‍රතිපත්තියක් විදිහට මූලධාර්මික වශයෙන් එතුමා ඒ කළ වැඬේ හොඳයි. දැන් ඉන්න අමාත්‍යවරයා විදිහට මමත් ඒක අගය කරනව. හැබැයි ඒ මෙහෙයුම ක‍්‍රියාවට නැංවීමේදී ප‍්‍රශ්නයක් වුණා. ඉහළ මිල ගණන් ඉදිරිපත් කර තිබුණු සැපයුම්කරුවො ඉවත්වුණා. ඒත් එක්කම මිල පාලනය තුළින් ඕනම රටක වෙන දෙයක් තමයි තත්ත්වයෙන් බාල, ඒ කියන්නෙ ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වගේ රටවල හදන ඖෂධ ගලා ඒමේ අවදානමක් ඇතිවීම. ඒක වහන්න එතුමා ක‍්‍රියාකළේ නෑ. ඒකෙ ප‍්‍රතිඵලයක් විදිහට අපි මේක බාරගනිද්දි ලංකාවට විදේශවලින් විශේෂයෙන් ඉන්දියාවෙන්, පකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් ගෙනාපු ඖෂධවල තත්ත්වය 30%ක් දක්වා ඉතා පහත් මට්ටමක තිබුණෙ. නිසි ප‍්‍රමිතිය තිබුණෙ නෑ. Only sale for Sri Lanka කියල ගහල තිබුණ ඖෂධ ගත්තාම ඒවයෙ තිබිය යුතු ප‍්‍රමිතිය තිබුණෙ නෑ. දැන් අපි ඒ සියයට 30 සියයට 3 දක්වා අඩු කරල තියෙනව.

ප‍්‍රශ්නය – 2015 සංශෝධනය කළ ඖෂධ නියාමන අධිකාරි පනත ගැන ඔබ පසුගියදා පාර්ලිමේන්තුවෙදි කතාකළා. එතනදි ඒ පනත නිසා ඖෂධ මාෆියාකරුවන්ට අවස්ථාව උදාකරදීල තියෙන බව ඔබ චෝදනා කළා. ඒත් රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා කියන්නෙ මේ පනත පාර්ලිමේන්තුවෙ ඒකමතිකව සම්මත වුණු එකක් බව. ඒ මගින් ජනතාවට අඩු මිලට ඖෂධ ලබාගැනීමට අවස්ථාව උදා වූ බව. එම පනත ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවල ප‍්‍රශංසාවට පවා ලක්වූ බව.

පිළිතුර – අපට වැදගත් වෙන්නෙ ජාත්‍යන්තර ප‍්‍රශංසා නෙමෙයි. මේ රටේ ඖෂධ මාෆියාකරුවන්ගෙන් ජන තාව බේරා ගැනීම. තත්ත්වයෙන් බාල ඖෂධ ගලා ඒම වැළැක්වීම සහ ඖෂධ සමාගම් ලබන අසාධාරණ අධික ලාභයන් පාලනය කිරීම. ඔය කියන පනත මගින් සුවඳ විලවුන් සඳහා තිබුණු කාරණා සම්පූර්ණයෙන්ම ඉවත්වෙලා තියෙනව. ඒවා නියාමනය සම්පූර්ණයෙන් ඉවත්වෙලා. සීමාන්තික ඖෂධීය ආහාර ද්‍රව්‍ය පිළිබඳ අර්ථ දැක්වීම පැහැදිලි නෑ. ඒ තුළින් වංචාවන්ට ඉඩ සලස්වල තියෙනව. ඒ විතරක් නෙමෙයි එතුමා ඔය හොඳයි කියන පනතෙ තියෙනව ජාතික උපදේශක කමිටුවක් පිහිටුවන්න කියල. එතුමන්ල පරාද වෙනකම් ඒ ජාතික උපදේශක කමිටුව පිහිටුවල තිබුණෙ නෑ. මොකද ඒකෙ සංයුතිය දරාගන්න බැරි සංයුතියක්. ඒ වගේම වරදක් කළාට පස්සෙ ඉතාම සුළු දඬුවමකින් පස්සෙ පැනල යන්න පුළුවන් විදියෙ නීති තමයි මේකෙ තියෙන්නෙ. බාල ඖෂධ, පෞද්ගලික ඔසුසැල් වරදක් වුණත් ඒවා වළක්වන්න තියෙන දඬුවම් ප‍්‍රමාණවත් නෑ. ඒ නිසා තමයි පසුගිය කාලයෙ අපි දැක්කෙ කල් ඉකුත්වුණු ඖෂධ ලේබල් එක වෙනස් කරල විකුණනව. ඒ වගේම පිටරටවල කල් ඉකුත්වුණු ඖෂධ මෙහෙට ගෙනල්ල අලූත් දින දාල වෙළඳපොළට දානව. ඒව කරපු ලියපදිංචි නැති පුද්ගලික ඔසුසල්වලට පුවත්පත්වල පුංචි දැන්වීමක් දාල නැවත තමන්ගෙ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. මොකද ඔවුන්ට ලැබෙන දඬුවම ඉතාම කුඩා එකක්. මහා පරිමාණයෙන් ලාබ ලබන ඔවුන්ට රුපියල් ලක්ෂයක් දෙකක් කියන්නෙ සුළු ගාණක්. සරළ භාෂාවෙන් කියනව නම් හොරකම නීතිගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයල තියෙනව මේ පනතෙන්.

අපි මේ වෙද්දි මේ පනත පිළිබඳ පියවර දෙකක් අරගෙන තියෙනව. එකක් තමයි පනත සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තියෙනව. ඒ හැර මේ ආයතනය හදපු දවසෙ ඉඳන් මේ අවුරුද්දෙ අපේ‍්‍රල් මාසය දක්වා මෙම ආයතනය තුළින් සිදුවුණු දූෂණ විමර්ශනයට පස් දෙනෙක්ගෙන් යුත් කමිටුවක් දාල තියෙනව. මේ ආයතනය තුළ සිදුවුනු දේවල් ගැන පැමිණිලිි 102ක් අපිට මේ වෙද්දි ලැබී තියෙනව.

ප‍්‍රශ්නය- මොනවද ඒ පැමිණිලි…?

පිළිතුර- ඖෂධ ප‍්‍රමාදයන් පිළිබඳව, ඖෂධ නිසි වෙලාවට ලියාපදිංචි නොකිරීම, එක සමාගමකට විතරක් ඒකාධිකාරියක් ලබාදීම, ආදී වශයෙන් තමයි ඒ පැමිණිලි ලැබී තියෙන්නෙ. ඒ ගැන දීර්ඝ විමර්ශනයක් සිදුවෙනව. තව දින කීපයකින් ඒ පිළිබඳ වාර්තාවක් අපට ලැබෙයි. ඒ වාර්තාව මත පදනම්වෙලා පනතේ සහ පනත යටතෙ ස්ථාපිත කළ ආයතනයේ දුර්වලකම් නිවැරැුදි කරන්න කටයුතු කරනව. මම නැවත කියනව මේ පනත දුර්වලයි. හොරකම නීතිගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම තමයි මේකෙන් ලබාදීල තියෙන්නෙ. ඒ හිල් ටික වහන්න අපි මේ වෙද්දි කටයුතු කරමින් ඉන්නව.

ප‍්‍රශ්නය- රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිව සිටි කාලයෙ යහපාලන ආණ්ඩුවෙ අවසන් භාගයෙදි ගෙන ආ ගැසට් එකක් මේ රජය විසින් ක‍්‍රියාත්මක කරන්නේ නම් ඖෂධ මිල අඩුවන බවත් ඒ ගැන අවධානය යොමු නොකර මෑතකදී නිකුත් කළ ගැසට් එකක් නිසා ඖෂධ මිල වැඩිවී ඇති බවත් චෝදනා නැගෙනව. ඒ නිසා නියම මාෆියාව ක‍්‍රියාත්මක කරන්නෙ මේ ආණ්ඩුවම බවයි පවසන්නෙ..

පිළිතුර- ඒක මුළුමනින්ම නොමග යැවීමක්. එතුමා ඖෂධ හා වෛද්‍ය උපකරණ හැට ගණනක මිල පාලනය කිරීමට කටයුතු කළා. ඒක හඳුන්වල දුන්නට පස්සෙ ඩොලරයේ ඉහළ යෑම මත එතුමාගෙ කාලයෙදිම දෙතුන් වතාවක් ඩොලරයේ මිලට සමානුපාතිකව මිල ඉහළ නංවල තියෙනව.

ප‍්‍රශ්නය- දත්ත මැකී යාම, ඖෂධ මාෆියාව ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිනවා. ඒ අතරේ ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා එම ධුරයෙන් ඉවත් විය යුතු බවට තවත් සමහරෙක් සඳහන් කරන කාරණයක් .
පිළිතුර- අද මෙම දත්ත මැකී යාම ගැන කතාකරන වෘත්තිය සමිති, වෘත්තිය සමිති නායකයින්, ඇතැම් චරිත ඇතුළු බොහෝ දෙනා එදා ඖෂධ මාෆියාවෙන් නඩත්තවුන අයයි. ඇතැම් වෘත්තීය සමිති නායකයන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගේ ආශිර්වාදය මැද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පවා ගියා. එදා ඖෂධ මාෆියාව ගැන කතා නොකළ ඔවුන් අද ඖෂධ මාෆියාවක් ගැන කතාකරනවා. ඖෂධ මාෆියාව හරහා විදේශ සංචාර, රැකවරණ සහ මුදල් ඉපයූ අය අද චන්න ජයසුමනට ඇමැතිකමින් ඉවත් වෙන්න කියනවා. අපි ඖෂධ මාෆියාවට විරුද්ධව කටයුතු කරන කොට ඒ අය ඇවිස්සිලා. ඒ කවුරුන්ද කියලා රටේ ජනතාවට විමසිලිවත්ව බලා ගන්න පුළුවන්. වාසි නො ලැබෙන කොට තමයි මේ කුලප්පු වෙලා තිබෙන්නේ.

ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕනා. අපේ රජයට හිතවත් බව පෙන්වන ඇතැම් පාර්ශ්ව මේ සඳහා සහාය ලබාදෙමින් සිටිනවා වෙන්න පුළුවන්. ඖෂධ මාෆියාවෙන් වාසි ගත්ත ඇතැම් අය අපේ ආණ්ඩුවටත් හේතු වෙලා, ඇතුළට රිංගලා ඇතුළතින්ම අපට පහර දෙන ක‍්‍රියාවලියක නිරත වන බව පෙනෙන්න තිබෙනවා .

ප‍්‍රශ්නය- ආණ්ඩුව ඇතුළට රිංගා ඇතුළතින් පහර දෙන්නේ කවුද ?

පිළිතුර- ඒ කවුරුද කියලා අපි දන්නවා. ඉදිරියේදී ඒ පිළිබඳ හෙළි කරන්නම්. ඒ මොනවා වුවත් මේ රටේ ජනතාවට අඩු මිලට ප‍්‍රමිතියෙන් යුතු ඖෂධ ලබාදීමට අප ඇප කැපව කටයුතු කරනවා.

සාකච්ඡා කළේ සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment