පසුගිය ජනවාරි 16 දින ඉරානය පාකිස්තාන භූමිය වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ඉරානයේ බලවත් ඉස්ලාමීය විප්ලවවාදී බළකාය (Islamic Revolutionary Guard Corps) පවසන පරිදි ඔවුන් විසින් දියත් කරන ලද මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ පාකිස්තානයේ, බලුකිස්තාන් පළාතේ බලූච් සටන්කාමී කණ්ඩායමක් වන ජයිෂ් අල්-ඇඩ්ල් (Jaish al-Adl) කඳවුරකි. ජයිෂ් අල්-ඇඩ්ල් යනු සුන්නි සටන්කාමී කණ්ඩායමකි. මෙම ප්‍රහාරයට දින කිහිපයකට පෙර ඉරානය විසින් ඉරාකය හා සිරියාව තුළ ද එවැනිම ගුවන් හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කරන ලදී. ජනවාරි 3 වැනිදා ඉරානය තුළ සිදු වූ කර්මන් බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරාකය හා සිරියාවට එකී ප්‍රහාර එල්ල කරන ලද බව ඉරානය පැවසුවේය.

පසුගිය වසරේ ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය වූ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී බළකායේ කර්නල්වරයකු වූ කාසීම් සුලෙයිමාන්ගේ සොහොන පිහිටියේ නැගෙනහිර කර්මන් නගරයේය. පසුගිය ජනවාරි 3 වැනිදා කර්මන්හිදී පවත්වන ලද කාසීම් සුලෙයිමාන් සැමරුමට එල්ල වූ බෝම්බ ප්‍රහාර ද්විත්වයකින් පුද්ගලයන් 94 දෙනෙක් මිය ගියහ. ඊශ්‍රායල මොසාඩ් ඔත්තු සේවය විසින් මෙහෙයවනු ලබන සිරියාව හා ඉරාකය තුළ සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම් එම ප්‍රහාරයට වගකිව යුතු බව ඉරානය පවසයි.

පාකිස්තානයෙන් දැඩි ප්‍රතිචාරයක්

ඉරානය විසින් තම ගුවන් සීමාව ආක්‍රමණය කළ ද සිරියාවට හා ඉරාකයට ඊට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ශක්තියක් නැත. සිරියානු රජය ඉරානයේ ප්‍රහාරය හෙළා දැක ඇති නමුත් අදාළ මිසයිලයන් කැරලිකරුවන්ගේ ප්‍රදේශයට වැටී ඇතැයි කියා ඇඟ බේරා ගෙන ඇත. ඉරාන හිතවාදී දේශපාලනඥයන් විසින් බලය හොබවනු ලබන ඉරාක ආණ්ඩුව ද ඉරානයේ ක්‍රියාවන් නිසා කැළඹීමට පත්ව ඇත. නමුත් ඔවුන් සිදුකළේ සිය තානාපතිවරයා නැවත කැඳවීම හා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශයක් කිරීම පමණි. ඉරානයේ ආක්‍රමණශීලී ක්‍රියාදාමයට වචනයෙන් හැර වෙනත් ආකාරයකින් පිළිතුරු දිය හැකි එකම රාජ්‍යය වූයේ පාකිස්තානයයි.

පාකිස්තානයට එල්ල කළ ප්‍රහාරයේ වගකීම පැකිළීමකින් තොරවම ඉරානය විසින් භාරගන්නා ලදී. පාකිස්තාන රජය මෙම අනපේක්ෂිත ප්‍රහාරය හෙළා දකිමින් ඉරානය ළමයින් දෙදෙනකු මරා දැමූ බව ප්‍රකාශ කළේය. තම පාර්ශ්වයෙන් කිසිදු ආකාරයේ ප්‍රකෝප කිරීමක් සිදු නොවූ පසුබිමක ඉරානය විසින් එල්ල කරන ලද පදනමක් නැති ප්‍රහාරය තම රටේ ගුවන් සීමාව උල්ලංඝනය කිරීමක් බව පාකිස්තානය පවසයි. එයින් නොනැවතුණු පාකිස්තානය ඉරානයේ සිස්තාන් සහ බලුකිස්තාන් පළාත් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඒ පාකිස්ථානයට එරෙහිව ගැටුම්වල නියැළී සිටින බලූච් බෙදුම්වාදී කැරලිකරුවන් සැඟවුණු ස්ථානවලට පහර දුන් බව පවසමිනි. පසුව ඉරාන රජය ප්‍රකාශ කළේ පාකිස්තාන ගුවන් ප්‍රහාරවලින් කාන්තාවන් තිදෙනකු සහ ළමුන් හතර දෙනකු ඇතුළු විදේශීය පුරවැසියන් නව දෙනකු මිය ගිය බවයි.

දෙරටටම හිසරදයක් වූ බලූච් බෙදුම්වාදය

ලෝකයේ බහුතර ඉස්ලාම් ප්‍රජාව සුන්නිවරුන්ගෙන් සමන්විත වන අතර එහි ප්‍රබලම විකල්ප බෙදීම ෂියා ආගමික ප්‍රජාවයි. පාකිස්තානය සුන්නි බහුතරයක් ජීවත්වන රාජ්‍යයක් වන අතර ඉරානය ෂියා ලෝකයේ නායකත්වය උසුලයි. දෙරට අතර කිසි විටෙකත් ඓතිහාසිකව දැඩි මිතුරු සබඳතාවක් නොපැවතියත් අසල්වැසියන් ලෙස සාමාන්‍ය මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික, වෙළෙඳ සහ හමුදා ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට දෙපාර්ශ්වයම සමත් වී ඇත.

ඉරානය හා පාකිස්තානය අතර කිලෝමීටර් 900 ක පමණ අස්ථාවර දේශසීමාවක් ඇත. දේශසීමාව විහිදී ඇති බලූව් කලාපය පාකිස්තානය, ඉරානය පමණක් නොව ඇෆ්ගනිස්තානය අතර ද බෙදී වෙන් වී ඇත. බලූච් බෙදුම්වාදී සටන්කාමීන් මේ කලාපයේ ජීවත්වන අතර ඒ හේතුවෙන් රටවල් දෙකම කලාපය පිළිබඳව ආතතියකින් පසුවේ. එකිනෙකාගේ දේශසීමා දෙපස ක්‍රියාත්මක වන බෙදුම්වාදීන්ට එරෙහිව පාකිස්තානය සහ ඉරානය කරන සටන අලුත් දෙයක් නොවේ. බලූච් කලාපයේ සාමාන්‍ය ජනතාව ද ඉස්ලාමාබාද් හෝ ටෙහෙරාන් ආණ්ඩු යටතේ පාලනය වීම පිළිබඳව නොසතුටකින් පසුවන අතර දශක ගණනාවක් තිස්සේ කැරලි ගසමින් සිටිති. බෙදුම්වාදීන්ගේ අවසාන ඉලක්කය ඉරානයේ සිස්තාන් සහ පාකිස්තානයේ බලුකිස්තාන් පළාත් එකතු කර බලූච් කලාපය සඳහා නව නිදහස් රාජ්‍යයක් පිහිටුවීමයි. එම නිසා රටවල් දෙකටම මෙම බෙදුම්වාදී සටන්කාමීන් පොදු සතුරකු වන අතර හිසරදයකි. රටවල් දෙකම තමන්ට එරෙහි බෙදුම්වාදී කණ්ඩායම්වලට එරෙහිව සටන් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවද එකී සටන් සියල්ල තමන්ට අයිති භූමි තුළ පමණක් බොහෝ විට සිදුවෙයි. ඉන් ඔබ්බට ගොස් අනෙකාගේ දේශසීමාව උල්ලංඝනය කරමින් ප්‍රහාර එල්ල කිරීමට මෙවර ඉරානය විසින් මුල පුරා ඇත. එය මැදපෙරදිග කලාපය හා ඉන් ඔබ්බට වර්තමානයේ දිග හැරෙමින් පවතින භූ දේශපාලනික ආතතිය තව තවත් වර්ධනය වීමකි. අතිශයින්ම අසාමාන්‍ය දෙය නම් එකිනෙකාට දැනුම් නොදී එම දේශසීමා හරහා තම ඉලක්ක වෙත පහර දීමට එක් එක් පාර්ශ්ව පෙළඹී සිටීමයි.

සංහිඳියාව සඳහා වූ චීන මැදිහත්වීම

තම අසල්වැසි රාජ්‍යයන් තුළ සිටින සතුරු පාර්ශ්වයන් වෙත එල්ල කළ ඉරාන ප්‍රහාරයන්ගේ අරමුණ කුමක් වුව ද එය ඉරානයේ උපාය මාර්ගික ළදරු බව පෙන්වීමකි. කෙසේ නමුත් ඉරානය හා පාකිස්තානය අතර මතභේදය විසඳීමේ මැදිහත්කරුවෙකු ලෙස චීනයේ ඉදිරිපත් වීම ද මේ මොහොතේ කැපී පෙනේ. දිගු කාලීන පසමිතුරන් ලෙස කටයුතු කළ සෞදි අරාබිය සහ ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රතිෂ්ඨාපනය කිරීම උදෙසා පසුගිය වසරේ චීනය විසින් සිදුකරන ලද කාර්යභාරය සුළුපටු නොවේ. එය චීනයේ දිගු කාලීන මූලෝපායික උපක්‍රමයකි. ඉරාන-පාකිස්තාන සංහිඳියාවක් නැවත ඇති කිරීම උදෙසා චීනයේ මැදිහත්වීම විශේෂිත කරුණු කිහිපයක් මත සිදුව තිබේ.

පාකිස්ථානය තුළ චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝවේ (CPEC) ව්‍යාපෘතිවල හා චීන සමාගම්වල සේවකයන් ඇතුළුව, කලාපයේ ජීවත්වන චීන ජාතිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව චීන රජයට විශාල වගකීමක් ඇත. ඉරාන ප්‍රහාරය සිදු වූ පාකිස්තානයේ බලුකිස්තාන් පළාත තුළ චීන සමාගම් රාශියක් ක්‍රියාත්මක වේ. තවද “සාමූහික අනාගතයක් සඳහා ගෝලීය ප්‍රජාවක් ගොඩනැගීම” උදෙසා වූ චීනයේ රාජ්‍යතාන්ත්‍රික අභිප්‍රාය ජනාධිපති ෂී ජින්පින්ගේ උරහිස මත පැටවී තිබේ. එසේම චීන පුනර්ජීවනය සඳහා ඇෆ්ගනිස්තානය සහ මැද පෙරදිග කලාපයේ දේශපාලන අස්ථාවරභාවය වාසි සහගත ලෙස කළමනාකරණය කර ගැනීමට චීනයට අවශ්‍යව ඇත.

තලේබාන්වරුන් විසින් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත්කර ගැනීමෙන් පසු කලාපය තුළ එක්සත් ජනපද බලපෑම අවම වී ඇත. එසේ වුවත් පාකිස්තානය හා ඉරානය අතර ආතතියක් වර්ධනය වුවහොත් එය එක්සත් ජනපදයට අමතර වාසියකි. ගාසා තීරය තුළ හමාස් සටන්කරුවන් විනාශ කිරීමට හා රතු මුහුදේ හූති බලපෑම් ඉවත් කිරීමට මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දී ඇති එක්සත් ජනපදය මෙම අර්බුදයට එක එල්ලේම පාර්ශ්වකරුවකු වන බවක් පෙනෙන්නට නැත. මැදපෙරදිග කලාපයේ තම පැවැත්ම චීනය සමඟ වූ වෙළඳ තරගය මත තීරණය වන බැවින් වොෂින්ටන් උපාය මාර්ගියකයන් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

බලුකිස්තාන් කලාපයේ අස්ථාවරත්වය චීන ආර්ථික කොරිඩෝරයේ පැවැත්ම උදෙසා ඍණාත්මකව බලපාන බවට සැකයක් නැත. චීනයට ඉරානයේ සහ පාකිස්ථානයේ ඩොලර් බිලියන ගණනක ආයෝජන ඇති අතර රටවල් දෙකම චීන දේශපාලන සහ ආර්ථික සහයෝගයෙන් ප්‍රතිලාභ ලබන ඉහළ මට්ටමේ හවුල්කරුවන් වේ. පාකිස්තානය සහ ඉරානය යන රාජ්‍ය දෙකම චීනය ප්‍රමුඛ කර ගත් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (Shanghai Cooperation Organization) සාමාජිකයන් වන අතර එයට ඉන්දියාව, රුසියාව සහ මධ්‍යම ආසියානු රටවල් ද ඇතුළත් වේ. ගෝලීය දකුණට නායකත්වය දෙමින් ලෝක ආර්ථිකයේ ප්‍රමුඛයා වීම සඳහා වූ චීන අභිලාෂයට මෙම එදිරිවාදිකම් අහිතකර බලපෑමක් ඇති කරයි. එකී හේතු නිසා චීනයට මෙම අර්බුදය විසඳීමට අත්හළ නොහැකි වගකීමක් ඇත.

ඉරානය හා පාකිස්තානය අතර ආතතිය වර්ධනය වෙද්දී චීනය පෙරට ආවේ මේ අනුවය. මුලින්ම ඉරාන ප්‍රහාරය පිළිබඳව ප්‍රසිද්ධියේ කනස්සල්ල පළ කළ චීන විදේශ අමාත්‍යාංශය “සියලු රටවල් අනෙකුත් රටවල ස්වෛරීභාවයට, ස්වාධීනත්වයට සහ භෞමික අඛණ්ඩතාවට දැඩි ලෙස ගරු කළ යුතුය” යි සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය. විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා ගැටුමට මැදිහත්ව ඇති පාර්ශ්ව දෙකෙන්ම විශේෂයෙන් ඉල්ලා සිටියේ තමන් “සමීප අසල්වැසියන් සහ ප්‍රධාන ඉස්ලාමීය රටවල්”ය යන කාරණා සැලකිල්ලට ගෙන සංයමයක් පෙන්වන ලෙසයි. ඉන් පසුව ඉරානය වෙත එල්ල කරන ලද පාකිස්තාන ප්‍රතිප්‍රහාරයෙන් පසුව ද දෙරටටම සන්සුන් වන ලෙස චීනය නැවත ආයාචනා කළේය. එපමණක් නොව 2023 ජුනි මාසයේ බීජිං නගරයේදී ගිවිස ගත් පරිදි “ත්‍රස්තවාදය වැළැක්වීම සහ ආරක්ෂාව පිළිබඳව වූ පාකිස්තාන-චීන-ඉරාන ත්‍රෛපාර්ශ්වික උපදේශනය (Pakistan-China-Iran Trilateral Consultation on Counter Terrorism and Security)” හරහා දෙපාර්ශ්වය අතර මැදිහත්කරුවාගේ භූමිකාව ඉටු කිරීමට තමන් සූදානම් බව ද මතක් කර දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද දෙරටෙන්ම ඉල්ලා සිටියේ “තවදුරටත් ආතතීන් උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයක් අනුගමනය කරන ලෙස” ය. මේ වන විට ඉරානය සහ පාකිස්තානය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. ආපසු කැඳවන ලද තම තානාපතිවරුන් නැවත තම රාජ්‍යතාන්ත්‍රික කාර්යාල වෙත යවන බව දෙරට එක්ව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක සඳහන් කර ඇත. ඉරාන විදේශ අමාත්‍යවරයා පාකිස්තානයට පැමිණෙන බව ද ප්‍රකාශ කර ඇත. ඒ අනුව දකුණු ආසියානු කලාපයට මායිම්ව ඇවිලෙන්නට ගිය තවත් ගින්නක් ඉක්මනින් නිවී ගියේය. කවුරුන්ගේ මැදිහත්වීමකින් වුවද මේ අර්බුදය ඉක්මනින් සමථයකට පත්වීම ලෝකයටම සුබදායකය.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment