4000 ට ආසන්න පිරිසකට කොළඹ මහ රෝහලෙන් තුන්වේලටම කන්න දෙනවා…

කොළඹ මහ රෝහලේ කුස්සියේ මාසෙක වියදම මිලියන 90ට වැඩියි…

ජාතික රෝහලේ කෑම ටෙන්ඩරය වසර 30ක් එකම ව්‍යාපාරිකයෙක්ට…

දත් රෝහලේ, වකුගඩු රෝහලේ රෝගීන්ටත් කෑම දෙන්නෙ ජාතික රෝහලේ කුස්සියෙන්…

රෝගීන්ට, සේවකයන්ට දෙන කෑම මෙනු එක ලබාදෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්…

රෝගීන්ට දෙන කෑම එකෙන් කට්ට තියන සෙට් එකක් ඉන්නවලු…

හාල්වල ගුල්ලො පරිප්පු මලුවල වෙළෙඳ නාමයක්වත් නෑ ලැබෙන එළවළු බාගයක් කුණු වෙලා මාළු මාස ගණන් අයිස් වෙලා බිත්තර වෙනුවට සොයාමීට්…

ජාතික රෝහලේ කෑමට වියදම් කරන මුදලෙන් තරුපහේ හෝටලයකින් සුපිරි කෑම් වේල් තුනක් දෙන්න පුළුවන්…
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්ෂාන් බෙල්ලන

පිසින ආහාර කෝකිවරුත් නොකන අමුතු මුළුතැන්ගෙයකට අපි ගියෙමු. 1967 වර්ෂයේ ආරම්භ කර ඇති එම මුළුතැන්ගෙය පසුව සුදු පිරියම් කර ඇති බවක් නම් නොපෙනෙන තරම්ය. අවර්ණ වූ බිත්තිවල කපරාරු ඉරි තැලි, තැන, තැන පොතු ගැල වී බලන්න බැරි තරමට අප්‍රසන්න පෙනුමක් විද්‍යමාන විය. වාහල ඊට දෙවැනි නැත. තෙත බරිත වූ පොළොවේ ද අලුත්වැඩියාවක් කළ සේයාවක් හෝ නැත. තැන, තැන ටයිල් කැට පුපුරා ගොස්, ඒ අතර කළු වී තිබෙන අයුරු දකිනවිට ගත හිරිවැටිණි.

මුළුතැන්ගෙයි බඩු මුට්ටු ද කෞතුක භාණ්ඩ වැනිය. විසල් හැළි වළං ද පරණය. ගෑස් ළිප් මළ කා දිරාපත් වෙමින් පාවිච්චියට නුසුදුසු තත්ත්වයට පත් වී තිබෙන අයුරු දකිනවිට එම ළිප් අසල වැඩ කරන මිනිසුන්ගෙ ජීවිත ගැන බය සිතිණි. මුළුතැන්ගෙය කෙළවරක හිටුවා තිබූ මාළු, කරවල කපන විසල් කොට කළු පැහැගැන්වී තිබුණේ අපිරිසිදුකමට ද කියා අපි නොදනිමු. වාට්ටුවලට කෑම රැගෙන යෑමට ඇත්තේ ප්ලාස්ටික් බාල්දිය. කෑම පිරුණු බාල්දි තබා තල්ලු කරගෙන යන ට්‍රෝලි ඉඳුල් හැලී අපවිත්‍ර වී තිබිණි. එකට බද්ධව පිහිටි විසල් මුළුතැන් ගෙවල් දෙකේම බාහිර පෙනුම බලන්න කැතය. හිරිකිතය. එහෙත් මේ මුළුතැන්ගෙවල් දෙක පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවේ නොවේ. වෙනත් දිළිඳු රටක, නොදියුණු මිනිසුන් බහුලව ජීවත්වන ප්‍රාන්තයක ද නොවේ. මෙරට ප්‍රධාන නගරයේ කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙවල් යැයි කියන විට සාමාන්‍ය පුරවැසියන් වන ඔබට බියක් දැනීම සාධාරණය. ඒ මාරාන්තික ලෙඩක් හැදුණුවිට ඔබටත්, මටත් ප්‍රතිකාර ලබාගැනීමට තිබෙන ප්‍රධාන රෝහල බැවිනි.

බද්ධව පිහිටි මුළුතැන් ගෙවල් දෙකෙන් එකක කෑම පිළියෙල කරනුයේ රෝහලේ වැඩ කරන සෞඛ්‍ය කාර්ය සහායකයන්ට ය. අනෙක් මුළුතැන්ගෙයි කෑම හදනුයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ටය. එම මුළුතැන්ගෙයිම කෙළවරක තරමක කුටියක් තුළ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවල ප්‍රතිකාර ලබන රෝගීන්ට වෙනම කෑම පිළියෙල කරනු ලැබේ. මේ මුළුතැන්ගෙවල් දෙකටම ආහාර අමුද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇත්තේ මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. වාර්ෂික ටෙන්ඩර් කැඳවීමකින් පසුව ලබාදෙන ජාතික රෝහලේ ආහාර අමුද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුව වසර තිහක කාලයක සිට එකම ව්‍යාපාරිකයෙක් ලබාගැනීම ද පුදුමයට කාරණයකි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ටෙන්ඩර් කැඳවීම්වල දෝෂ තිබිය නොහැක. එම ආයතනයේ රාජකාරි කරන බලධාරීන් සහ නිලධාරීන්ගේ දෑත් හරිම පිරිසිදුය. නිතරම වැඩ කරනුයේ සෞඛ්‍ය ආරක්‍ෂිතව ඇඟ බේරගෙනය. ඔවුන් කරන ජනතා සේවය බලා සිටීමට නොහැකි පිරිස් වංචා දූෂණ එළියට දැම්ම ද සැකකරුවන් බවට පත් වී කල්දේරම් බත් කෑමට බන්ධනාගාරයට නියම වනුයේ නිලධාරීන්ය. සෞඛ්‍ය බලධාරීන්ගේ ‘සෞඛ්‍ය ආරක්‍ෂිත රාජකාරිය’ ඉනිදු පැහැදිලිය. මනසේ පෙළගැසෙන අතුරු කතාවට විරාමයක් තබා රෝගීන්ට කෑම පිළියෙල කරන මුළුතැන්ගෙයි සේවය කරන නිලධාරිණියක් සමඟ මම කතා කළෙමි. ඇයගේ නම, තනතුර හෙළිදරව් නොකර වචන පමණක් සටහන් තැබීමට අපි අදහස් කළෙමු.

“දවල් කෑම යවල ඉවරයි. තව පැයකින් විතර රෑ කෑම හදන්න ගන්නවා. පාතෝල කපලා තියෙනවා. සුප් එක ළිපේ තැම්බෙනවා. බත් එකට වතුර රත් වෙනවා…” විසල් ගෑස් ළිප් මත රත් වෙන කල්දේරම් දෙසට දෑස් යොමු කරමින් ඇය කතා කරන්නීය.

අද දවල් කෑමට තිබුණේ මොනවද? මම, ඇයට පැනයක් යොමු කළෙමි.

“අල හොදියි, කරවල හොදියි කැකුළු හාල් බතුයි…”

වෑංජන දෙකද? අතුරු ප්‍රශ්නයකි.

‘ඔව්… වෑංජන තුනක් තියෙන්නෙ බිත්තර දෙන දවසට විතරයි. බිත්තර දෙන්නෙ සතියෙ එක දවසයි. අනිත් හැම දවසකම වෑංජන දෙකයි…

කෑම මෙනු එක ලබාදෙන්නෙ කවුද?

“සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. දවසෙ කෑම මෙනු එක අපිට ලබාදෙන්නෙ රෝහල් ආහාර අංශයෙන්…”

අද උදේ කෑම වේල මොනවද?

‘රතු බතුයි. පරිප්පුයි…’

දියවැඩියා රෝගීන්ටත් ඒ කෑම ම ද?

“උදේ කෑම වේල හැමෝටම එකයි. මෙනු එකට අනුව සතියෙ දවස් හතරක් උදේට ඇට වර්ග දෙන්න ඕනෑ. ඒත් දැන් දෙන්නෙ දවස් තුනයි. දැන් දවස් හතරක්ම දෙන්නෙ රතු බතුයි, පරිප්පුයි. නැති නම් සම්බෝලයි. මෙනු එකෙ හැටියට සාමාන්‍ය රෝගීන්ගෙ දවල් කෑම වේලට දින දෙකක් කරවල. එක දවසක් මාළු. බිත්තර දවස් දෙකක්. ඒත් දැන් බිත්තර දෙන්නෙ එක දවසයි. අනිත් දවස් තුනට සෝයාමීට්, එළවළු. රෑ කෑම වේලට මාළු, බිත්තර, කරවල නෑ. දියවැඩියා රෝගීන්ගේ දවල්, රාත්‍රී කෑම වේල් දෙකටම සෑම දිනකම මාළු සමඟ එළවළු දෙකක් ඇතුළත් කරන්න ඕනෑ. ඒත් දැන් එහෙම වෙන්නෙ නෑ. අද දවල්ට දියවැඩියා රෝගීන්ගෙ කෑම වේල රතු බතුයි, මාළුයි. ගෝවා තෙම්පරාදුවයි. ගෙවන වාට්ටුවල රෝගීන්ගේ ඉල්ලුමට අනුව කෑම හදලා දෙනවා…”

කොළඹ ජාතික රෝහලේ මුල්තැන්ගෙට අපි ගියේ පසුගිය දිනක සවස 1.30 ට පමණය. එදින දහවල් නේවාසික රෝගීන් 2539 ට කෑම පිළියෙල කර තිබිණි. ඒ අතර දියවැඩියා රෝගීන්ට, අධි ප්‍රෝටීන් ආහාරලාභීන්ට විශේෂ කෑම වේල් සහ ගෙවන වාට්ටුවල රෝගීන්ට සුවිශේෂී ආහාර වේලක් ද ඇතුළත් වී තිබිණි. ප්‍රතිකාර ලබන ළමයි ඇතුළු සෙසු රෝගීන්ට කැකුළු හාල් බතුයි, අල හොදියි, කරවල හොදියි. සුප් සහ කැඳ වර්ග පමණක් ලබාදෙන රෝගීන්ට අවශ්‍ය ආහාර පිළියෙල කරනුයේ ද මේ කුස්සියෙනි. අප යන දින එවැනි ආහාර ලබාදෙන රෝගීන් 367 ක් සිටියහ. ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට මෙන්ම දත් රෝහලේ සහ මාලිගාවත්ත වකුගඩු රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට ද තුන් වේල කෑම ලබාදෙනුයේ ජාතික රෝහලේ රෝගීන්ට කෑම පිළියෙල කරන මුළුතැන්ගෙයිනි. උදේට, සවසට තේ ලබාදෙනුයේ ද එම කුස්සියෙනි. දිනකට සාමාන්‍යයෙන් සෞඛ්‍ය කාර්ය සහායකයන් 1500 ට උදේ, දවල් ආහාර සහ රාත්‍රියට 400 ට පමණ ආහාර පිළියෙල කරනුයේ ජාතික රෝහලේ සේවකයන්ට කෑම පිළියෙල කිරීමට වෙන් වූ මුළුතැන්ගෙයිනි. මුළුතැන් ගෙවල් දෙකේම සේවය කරන කෝකිවරු සංඛ්‍යාව 21 කි. සෞඛ්‍ය සහායකයන් 25 කි. ආහාර නිරීක්‍ෂක 10 කි. ප්‍රධාන ආහාර කළමනාකරණ සහායක ඇතුළු වාට්ටු කළමනාකරණ සහකාර 24 ක් රාජකාරියේ නිරතව සිටිති. කෝකිවරු සහ සහායක සේවකයන් වැඩ මුර දෙකක් යටතේ සේවය කරන අතර මුළුතැන්ගෙයි නිලධාරිණියන්ගේ වැඩ මුරය උදේ 6 සිට සවස 6 දක්වා පැය 12 ක් බව ද වාර්තා විය. කතාව එසේ පෙළගැසෙන විට අප අසල සිටි නිලධාරිණියට නැවත මම පැනයක් යොමු කළෙමි.

ආහාර පිළියෙල කිරීමට යොදාගන්න අමුද්‍රව්‍ය කෝ…?

“හාල්, තුනපහ, වියළි ආහාර කිසිවක් තොග රැස් කරගෙන තියාගන්නෙ නෑ. දවසෙ මෙනු එකට, කෑම ලබාගැනීමට සිටින රෝගීන්, සුව සේවක සංඛ්‍යාව ගණනය කරලා කෑම වේලට ප්‍රමාණවත් ආහාර තොග ආහාර අංශයෙන් ඉල්ලුම් කරනවා. ඒ අනුව ආහාර අමුද්‍රව්‍ය සැපයීමේ ටෙන්ඩරය භාරගෙන තියෙන කොන්ත්‍රාත්කරු මිරිස්, තුනපහ, පොල් කිරි පැකට්, ලුණු පැකට් එකේ ඉඳලා ආහාර තොග ගෙනත් දෙනවා…” ඇය කිසිවක් නොසඟවා පිළිතුරු දෙන්නීය.

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙට අප යන විට රාත්‍රි ආහාර වේලට ප්‍රමාණවත් හාල්, පරිප්පු හැර වෙනත් කිසිදු වියළි ආහාරයක් නොතිබිණි. රාත්‍රී ආහාර වේලට එකතු කිරීමට කපා තිබුණු රට ලූනු සුදුය. අරක්කැමියන් පවසන ආකාරයට වෙළෙඳපොළේ තිබෙන තත්ත්වයෙන් බාල, මිල අඩුම රට ලූනුය. රෝගීන්ට ලබාදෙන රතු හාල්වල ගුල්ලෝය. වෙළෙඳපොළේ තිබෙන මිල අඩුම හාලය. පරිප්පු ද එසේම ය. පරිප්පු මිටියේ වෙළෙඳ නාමයක් හෝ නැත. සීනි, තේ කොළ, කෝපි, කිරි පිටි බහාලුම් සහිත වෙනම කාමරයකි. එහෙත් ඒ සියලු බහාලුම් හිස්ය. වාර්තා වන ආකාරයට ඉදිරි දින තේ වේල් තුන සඳහා කිරිපිටි කිලෝ 56 ක්, සීනි කිලෝ 31 යි ග්‍රෑම් 900 ක්, තේ කොළ කිලෝ 10 ග්‍රෑම් 800 ක් එදින සවස 3 ට පෙර ලැබිය යුතුව තිබිණි. සෑම දිනකම උදේ සහ දහවල් කෑම් වේල් දෙක සඳහා අවශ්‍ය වියළි ආහාර තොග ද පෙරදා සවස 03 ට පෙර ලැබිය යුතුය. ජාතික රෝහලේ රෝගීන්ට කෑම පිළියෙල කරන මුළුතැන්ගෙයි ‘විස්තරේ’ එසේ පෙළගැසෙනවිට සෞඛ්‍ය කාර්ය සහායකයන්ට (සුව සේවකයන්ට) කෑම හදන කුස්සියට ද අපි ගියෙමු. දෙපැත්තෙම බාහිර පෙනුම එකම විදිහකි. රෝහල් ආහාර අංශයෙන් ලබා දී ඇති කෑම වට්ටෝරු පමණක් වෙනස් වී ඇත. සුව සේවකයන්ගේ එදින උදේ කෑම වේල බත් සමඟ පරිප්පු ය. දවල් කෑම වේලට නාඩු බත් සමඟ සෝයාමීට්, ගෝවා, පරිප්පු වෑංජනයක් ඇතුළත් වී තිබිණි. එදින රාත්‍රී කෑම වේලට කට්ට කරවල හොදි සහ පරිප්පු වෑංජනයක් සමඟ බත් පිසීමට සූදානම් කරමින් තිබිණි. එදින උදේ සහ දවල් සුව සේවකයන් 1631 ට ආහාර ලබාදී තිබිණි. එම සේවක සංඛ්‍යාව අතර ජාතික රෝහලේ, දත් රෝහලේ සහ මාලිගාවත්ත වකුගඩු රෝහලේ සුව සේවකයන් ද ඇතුළත් ය.

“අද දවල් කෑමට බිත්තර දෙන්න ඕන දවසක්. ඒ වෙනුවට දුන්නෙ සොයාමීට්. දැන් සති දෙකක ඉඳලා බිත්තර වෙනුවට දෙන්නෙ සොයාමීට්. තක්කාලි වෙනුවට අඹ එවනවා. එක දිගට දවස් හතරක් අඹ වෑංජනය දුන්නා. ඒ අඹත් පට්ට ඇඹුලයි. සිකුරාදාට සැමන් හොදි දෙනවා. ඒ හොද්දෙ සැමන් කෑලි හිටින්නෙ නෑ. සැමන් කෑලි දිය වෙලා ගිහින් පිටි හොද්දක් වගෙ වෙනවා. ඒ ගැන පී.එච්.අයි. මහත්වරුන්ටත් දැනුම් දුන්නා. ඒත් ඒ සැමන් එවන එක නතර වුණේ නෑ. මාළු අයිස් කුට්ටි වගෙයි. මාස ගාණක් අයිස් වෙලා. සමහර දවස්වලට අයිස් ගියාම මාළුවලින් කුණු ගඳක් එනවා. කරවල කුඩු හැළෙනවා. නාඩු හාල් හේදුවම පට්ටෙ වගෙ සෙවල තට්ටුවක් අල්ලෙ බැදෙනවා. ඒ සෙවල තට්ටුව පිහියකින් හූර දාන්න ඕනෑ. කොච්චර හේදුවත් යන්නෙ නෑ. ඒ වගේම හාල්වල ගුල්ලො. නමක්, නිකුත් කිරීමේ, කල්ඉතුක්වීමේ දිනයක් නැති මිරිස් කුඩු එනවා. හොදිවලට දාන්න බය හිතෙනවා. තුනපහ, කහ කුඩුත් එහෙමයි. මිනිස්සුන්ට දෙන ආහාර සෞඛ්‍ය ආරක්‍ෂිත වෙන්න ඕනෑ. පෝය දවසට බලු, කපුටු දානය දෙන්න මීට වඩා වගකීමක් සහිතව කුළු බඩු දාලා අපි කෑම හදනවා. ඒ වගේම ලැබෙන සම්පත්වලින් උපරිම රසට කෑම හදන්න උත්සාහ කරනවා. ඒත් දහයියා කුඩු වගෙ කුළු බඩු දාලා කෑම රස කරන්න බෑ. මේ කුස්සියට කියලා වෙනසක් නෑ. මුළුතැන් ගෙවල් දෙකටම වියළි ආහාර තොග ලබාදෙන්නෙ එකම කොන්ත්‍රාත්කාරයෙක්. වෙනස් වෙන්නෙ කෑම වට්ටෝරු විතරයි. හදන කෑම අපිට අයිති නොවීම ගැන සතුටු වෙනවා. ගෙදරින් කෑම ගෙනත් කන එක අපේ සෞඛ්‍යයට හොඳයි…”අරක්කැමියන් සහ මුළුතැන්ගෙයි සෙසු කාර්යමණ්ඩලයේ පොදු හඬ එසේ වචන වන විට එක් අයෙක් බොයිලේරුවක් දෙසට දකුණතට දිගු කළ මෙසේ කීවේය.

“මේ බොයිලේරු දෙක කැඩිලා මාස හත, අටක් වෙනවා. තවම හැදුවේ නෑ. මේ වයර් කැඩිලා කරන්ට් එක ලීක් වෙනවා. පොළවේ නිතරම වතුර රැඳෙනවා. අපේ එකෙක් කරන්ට් එක වැදිලා මැරිලා වැටෙනකම් මේක හදන්නෙ නෑ. පෑන් එකක් නෑ. දවාලට ළිප් පත්තු වෙනකොට පෝරණුව වගෙ තැම්බෙනවා. කපන, කොටන පිහි අපි සල්ලි දීලා ගන්න ඕනෑ. කාලෙකින් මුළුතැන්ගෙට කිසිම උපකරණයක් දීලා නෑ. අඩු පාඩු ගොඩයි…” ඔවුන් පවසන ආකාරයට ගැටලු වැලකි. එම ප්‍රශ්න පත්තරය කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට ඉදිරිපත් කිරීමට අපි අදහස් කළෙමු.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබෙන කෑම වට්ටෝරුවට අනුව රෝගීන්ට කෑම ලබාදෙනවද?

සමහර දවස්වලට ඒ කෑම වට්ටෝරුවට කෑම නොදෙන බව වාර්තා වෙනවා…

බිත්තර වෙනුවට සොයාමීට්, තක්කාලි වෙනුවට අඹ ආදේශ කරන්න පුළුවන්ද?

රටටම ලෙඩ්ඩු වැඩි කරන ජාතික රෝහලේ කුස්සිය
හිස් තේ කාමරය…

‘බෑ… ඒකට හේතු දක්වන්න ඕනෑ. ඒත් දැන් මේකත් මාෆියාවක් වෙලා. රෝහලේ කෑම එකෙන් කට්ට තියෙන සෙට් එකක්ම ඉන්නවා. ඒ මාෆියාවත් බාල බෙහෙත් ගෙනත් කට්ට තියාගන්නවා වගේම තමයි. මුළුතැන්ගෙට දෙන සෑම වියළි ආහාරයක්ම තත්ත්වයෙන් බාලයි. ලැබෙන එළවළු තොග කුණු වෙන්න ළඟයි. බාගෙට, බාගයක් අපතේ යනවා. තලපත් වෙනුවට සප්පරු දෙනවා. ඒ මාළුත් අයිස් කැට. මේ කෑම ටෙන්ඩරය වෙනස් කරන්න ඕනෑ. ඒත් අමාත්‍යාංශයට කොච්චර දැනුම් දුන්නත් ඵලක් නෑ. අවුරුදු 30 ක් එක දිගට ජාතික රෝහලේ කෑම ටෙන්ඩරය ගන්නෙ එකම ව්‍යාපාරිකයෙක්.

බිත්තර වෙනුවට සෝයා දුන්නට ටෙන්ඩර්කරුට බිත්තරවලට ගෙවන්න ඕන නේද?

“අනිවාර්යෙන්ම… බිත්තර මිල, එළවළු, ඇට මිල වැඩි වුණත් ටෙන්ඩර් පටිපාටියට අනුව නියම ප්‍රමිතියෙන් යුක්තව ආහාර අමුද්‍රව්‍ය ලබාදීමට ටෙන්ඩර්කරු බැඳී සිටිනවා. ඒත් දැන් ඒ ව්‍යාපාරිකයා මිල වැඩි ආහාර ලබාදීම මඟහරිනවා…”

මුළුතැන්ගෙවල් දෙකේම අඩුපාඩු ගොඩයි. ඒවා අලුත්වැඩියා කරන්න ඕනෙ රෝහලෙන් නේද?

“ඔව්. ඒත් ප්‍රතිපාදන නෑ. ආහාර අමුද්‍රව්‍ය ගෙවීම් කරන්න විතරයි අමාත්‍යාංශයෙන් මුදල් අනුමත කරන්නෙ. ගෑස් ළිප්, බොයිලේරු අලුත්වැඩියාවට අමාත්‍යාංශය මුදල් පාස් කරන්නෙ නෑ. මේක මෙහෙම කරන්න බෑ. රෝහලේ කුස්සිය කොම්පැණියකට භාරදීලා මාසෙකට ගානක් ඒ කොම්පැණියට ගෙවන්න ඕනෑ…”

‘දැනට ආහාර අමුද්‍රව්‍යවලට සහ මුළුතැන්ගෙය නඩත්තුවට මාසෙකට කීයක් වියදම් වෙනවාද?

‘ආහාර අමුද්‍රව්‍ය ලබාගැනීමට පමණක් ටෙන්ඩර්කරුට මාසෙකට මිලියන 76 ක් විතර ලබාදෙනවා. ලයිට් බිල්, වතුර බිල්, ගෑස්, සේවක වේතන සහ වෙනත් නඩත්තු වියදම් ඇතුළුව මාසික වියදම රුපියල් මිලියන 90 ට වැඩියි. ඒ වියදමත් එක්ක බලනකොට තරුපහේ හෝටලයකින් සුපිරි කෑම් වේල් තුනක් දෙන්න තිබුණා. ඒත් දැන් රෝගීන්ට, සුව සේවකයන්ට කෑම දෙන්නෙ සතුන්ට අන්ත විදිහට. කෑම ගන්න රෝගීන් පෝලිමේ ඉන්න ඕනෑ. සුව සේවකයො වැඩ නතර කරලා කෑම ගන්න යනවා. මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනෑ…” ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාගේ අවසාන වචනය ‘සිස්ටම්’ එක වෙනස් විය යුතු බව සැබෑය. ඒත් කබලෙන් ළිපට වැටිය නොහැකිය. රටේ මිනිසුන්ට තවත් පිච්චෙන්නට බැරිය.

පෙළගැසෙන සටහනට තවත් අඩු වැඩි එකතු කර කතාව පිළිණු කිරීමට අකැමැතිය. අසරණ රෝගීන්ගේ කුසගින්දර නිවීමට ලබාදෙන කෑම වේලෙනුත් ගසා කන රටක ජීවත්වීමට ලැබීම ගැන මම දුක් වෙමි.

තරංග රත්නවීර
ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment