තට්ටු මාරු ක්‍රමයට රවටන, රැවටෙන මිනිස්සු

මෙම වර්ෂය බොහෝ දුරට මැතිවරණ වර්ෂයක් වනු ඇතැයි දේශපාලන විචාරකයන්ගේ අදහසයි. පෙර මැතිවරණ සමයන් සියල්ලේදීම පාහේ සිදු වූයේ මිනිස්සුන්ගේ සිහින සමග ඡන්ද අපේක්ෂකයන් සෙල්ලම් කිරීමය. නොඑසේ නම් මිනිසුන්ගේ බලාපොරොත්තු සුන්නත්දූලි කිරීම ය. රටේ ජීවත් වන අනෙක් පුරවැසියන්ට සේම උඩරට, මැදරට, පහතරට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතුවල කම්කරුවන්ට ද, පෞද්ගලික වතු සමාගම්වල කම්කරුවන්ට ද පමණක් නොව ඉඩම් හිමි වැවිලිකරුවන්ගේ වතුවල සේවය කරන කම්කරුවන්ට ද ඔවුන්ගේම සිහින තිබේ. වසර දෙසියයක් තිස්සේ ඔවුන් බලා සිටින්නේ ඒ සිහින එළිවන තුරුය. නමුත් ඒ සිහින පොරොන්දුම තවත් පිරිසකට සුර සැප විඳින්නට හේතු වන බව ඔවුන් නොදන්නෝ ය. මේ වසර ගණනාවක සිට මැතිවරණ සමයන් හි දී වතුකරයට ලබා දුන් සහ ලබා දෙන ඡන්ද පොරොන්දු පිළිබඳ සටහනකි.

කම්කරුවන්ගේ මනාපය තීරණය කරන තලවර්

මහා ලිංගම් ජීවත් වන්නේ බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් තෙල්බැද්ද වත්ත ප්‍රදේශයේ ය. හැත්තෑ දෙවෙනි වියේ පසු වන ඔහුට මේ වන විට ඇත්තේ දරුවන්ගේ පිහිට පමණකි. මේ වන තුරු පැවති මැතිවරණ සියල්ලටම ඔහුගේ මනාපය සටහන් කොට ඇතත් එය යම් අවබෝධයක් ඇතුව කළ කටයුත්තක් නොවේ. ඔහු ඔහුගේ ඡන්ද අයිතිය පිළිබඳ එතරම් තැකීමක් කරන්නේ නැත. මැතිවරණය සම්බන්ධයෙන් විමසූ විට මහාලිංගම් පැවසුවේ මෙබන්දකි. “ඡන්දෙ ඉල්ලන්න එන අයගෙන් හොඳම කෙනා කවුද කියලා කියන්නේ තලවර්. තලවර් කියන කෙනකුට අපේ ඡන්දෙ දෙනවා. ගොඩාක් අය ඡන්දෙට කලින් වත්තේ අඩුපාඩුවක් බලලා හදලා දෙනවා. එතකොට අපි කොහොමත් ඒ අයට ඡන්දෙ දෙනවා. ඡන්දෙන් පස්සේ කොහොමත් කවුරුත් එන්නේ නැති නිසා ඡන්දෙට කලින් වත්තට උදව් කරන කෙනකුට අපේ ඡන්දෙ දෙනවා.” මහාලිංගම්ට අනුව තලවර් කියන ඕනෑම ඡන්ද අපේක්ෂකයකුට ඔවුන්ගේ මනාපය පිරිනමයි. මැතිවරණයෙන් පසුව ඡන්දය ලබා ගත් පුද්ගලයා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා ද නැද්ද යන්නවත්, ඔවුන්ගේ ප්‍රතිපත්තිවත් මහාලිංගම්ලාට අදාළ වන්නේ නැත. තලවර්ගේ මතයට එපිටින් සිතන්නටවත් මහාලිංගම්ට වුවමනාවක් නැත. මහාලිංගම් පමණක් නොව ඔහුගේ වතු යායේ ද ලංකාවේ අනෙකුත් වතුවල ජීවත් වන බහුතරයක් ද සිතන්නේ ඊට නොවෙනස් ආකාරයටය. එය වෙනත් ආකාරයකින් කිවහොත් මහාලිංගම්ලාගේ මනාපය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ වත්තේ තලවර් මුණගැසීම පමණකි. ඇතැම් අවස්ථාවල එය සිදුවන්නේ අපේක්ෂකයා සහ තලවර් අතර සිදුවන පෞද්ගලික ගනුදෙනුවක් ආකාරයටය.

රන් ජුබිලියත් පසු කළ පැකිං හවුස්

නමුනුකුල කනවැරැල්ලේ පදිංචි ජී. රාජාරාම් සිව් දරු පියෙකි. ඔහුගේ පියා ද, නැගණිය ද සිටින්නේ ද ඔහුගේ නිවසේම ය. කුඩා නිවසේ ඇති තදබදය නිසාම මැතිවරණවල දී ඔහු වැඩිපුරම රැවටී ඇත්තේ නිවාස පොරොන්දුවලටය. ඔහුට මෙතෙක් කාලයක් තිස්සේ ලැබුණු නිවාස පොරොන්දු පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය. “අපි ඉන්න ගෙවල් හදලා අවුරුදු හැත්තෑවකටත් වැඩියි. එදා ඉඳන් අද වෙනකල් කිසිම අලුත්වැඩියාවක් කරලා දීලා නෑ. ගේ ඇතුළේ සිමෙන්ති ඔක්කොම ගැලවිලා ගිහින් තියෙන්නේ. මගේ පවුලේ ඔක්කොම අට දෙනෙක් ඉන්නවා. වර්ග අඩි දහයක් තරම්වත් නැති ඉඩක තමයි අපි හැමෝම නිදාගන්නෙ. මම අසනීපෙන් ඉන්න නිසා මගේ බිරිඳත්, නංගිත් තමයි වත්තේ වැඩට යන්නේ. ඒ ලැබෙන මුදලින් තමයි අපි හැමෝම ජීවත් වෙන්නෙ. ලොකු ළමයි තුන් දෙනාම ඉස්කෝලෙ යනවා. පොඩි පුතා ලබන අවුරුද්දෙ ඉඳන් ඉස්කෝලෙ යවන්න තියෙනවා. දරුවො තුන් දෙනෙක් ඉස්කෝලෙ යවලා අපිට ජීවත් වෙන්නත් වත්තේ වැඩ කරලා ලැබෙන මුදල මදි. ඉඩමක් අරන් අලුත් ගෙයක් හදාගන්නවත්, මේ ගේ පිළිසකර කර ගන්න එකවත් කරන්න අමාරුයි.

මේ වත්තට ඡන්දෙ ඉල්ලන්න ආව හැම කෙනෙක්ම මට පොරොන්දු වෙලා ගියේ ගෙයක් හදලා දෙන්න. පොරොන්දු දෙන වෙලාවට කිසිම විදියකට හිතෙන්නේ නෑ ඒක බොරුවට කියනවා කියලා. හරිම හැඟීමෙන් තමයි ඒක ගැන කතා කරන්නේ. ඉතින් මමත් හිතනවා ගිය වතාවෙ මාව රැවැට්ටුවාට මේ වතාවෙ නම් කොහොම හරි ගෙයක් හදාගන්න උදව් කරයි කියලා. එහෙම හිතලා කතිරෙත් ගහලා එනවා. ඒත් හැමදාම වුණ එකම දේ අපි රැවටුනා විතරයි.”

වතුකරයේ උග්‍ර නිවාස ගැටලුවක් තිබෙන බව ප්‍රසිද්ධ කාරණාවකි. ඉතා කුඩා ලයින් කාමරයක ඇතැම් විට පවුල් දෙක තුනක් ජීවත් වෙති. එය ඡන්ද අපේක්ෂකයන්ට හොඳ තුරුම්පුවකි. ඔවුන් මැතිවරණය ජයග්‍රහණය කළත්, නිවාස ගැටලුවට විසඳුමක් ලබා දිය හැකි වුවත් එය නොකරන්නේ ද ඒ හේතුවෙනි. නිවාස ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම තුළින්ම වතුකරයේ බොහෝ ගැටලු විසඳෙන බව ඔවුහු දනිති. එය ඡන්ද පොරොන්දු අතර ඉහළින්ම තිබුණ ද නොවිසඳෙන්නේ ද එබැවිනි.

වැසිකිළියේ නතර වුණ අපේක්ෂකයන්

90ක්‍ මඩුවත්තේ පදිංචි ආර්. අරුල්ජෝති හතළිස් හතර හැවිරිදි ය. එදා මෙදා තුර මැතිවරණ සමයන් තුළ දී ඇයට ලැබුණු ඡන්ද පොරොන්දු පිළිබඳ ඇය මෙසේ සිහිපත් කළාය. “එදා ඉඳන් අද වෙනකං ඡන්ද කාලෙට දුන්න පොරොන්දු ඒ විදියට ඉෂ්ට කළා නම් අද අපේ ජීවිත කොයිතරම් ලස්සන වෙලා තියෙනව ද කියලා අපිට හිතාගන්න බෑ. ජනාධිපතිවරණයේ ඉඳන් ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනකල්ම නොයෙක් පොරොන්දු දෙනවා. ජනාධිපතිවරණයේ දී මහ මැතිවරණයේ දී වගේ ගෙවල් හදලා දෙන්නම් කිව්වට ප්‍රාදේශීය සභා මැතිවරණයට ගෙවල් දෙනවා කියන්නේ නෑ. මැතිවරණයේ බලයත් එක්ක පොරොන්දුවේ බලයත් උස් පහත් වෙනවා. ගෙයක් දෙන්නම් කියන එක ගේ නැතුව ඉඩමක් විතරක් වෙනවා. පළාත් සභා මැතිවරණයට ගෙවල් ඉඩම් මුකුත් නැතුව ඉන්න ගෙදරටම සෙවිලි තහඩු දෙන පොරොන්දුව ලැබුණා. ඡන්දෙ දිනන්න කලින් ටකරන් කොළ පහක් වගේ දුන්න අවස්ථාවකුත් තියෙනවා. ඉතුරු ඒවත් මේ විදියටම කරයි කියලා හිතලා අපි ගිහින් ඡන්දෙ දීලා එනවා. අපි ඡන්දෙ දුන්න කෙනා දිනුවත් ආපහු ඡන්දයක් ළං වෙනකල් එයා දකින්නවත් හම්බවෙන්නෙ නෑ. අන්තිමටම තිබුණ ඡන්දෙට ඉල්ලුව කෙනෙක් වත්තට ඇවිත් කිව්වා වැසිකිළි ටික හදාගන්න බඩු දෙන්නම් කියලා. එයා ඡන්දෙ දිනුවට මේ පැත්තෙ ආවෙවත් නෑ. වැසිකිළි හදන්න බඩු දෙන්න නෙවෙයි මෙච්චර අමාරු කාලෙ අපි ජීවත් වෙන්නෙවත් කොහොම ද කියලා හොයලා බලන්න වුවමනාවක් නෑ”

ඡන්ද දායකයන්ගේ මනාප හිඟා කෑම වැසිකිළි පෝච්චිය දක්වාම පැමිණ තිබීම හාස්‍යජනක ය. එය වතුකරයේ පමණක් නොව දිවයිනේ සෙසු පළාත් වල ද සිදුවන්නකි. එදා වේල කුසගින්න නිවා ගන්නට මගක් සොයමින් සිටින මිනිසුන්ට ජීවත් වන්නට සරිලන ආදායමක් ලැබෙන වැඩපිළිවෙළක් සැකසීම වෙනුවට වැසිකිළි ආධාර ලබා දීම කෙතරම් මුග්ධ ක්‍රියාවක් ද?

කම්කරුවන් වෙනුවට සමාගම් රකින පාලකයෝ

ඔට්ටු දමන දේශපාලනයේ තට්ටු මාරුවට රැවටෙන වතුකරයේ මිනිස්සු

දෙමෝදර ඕතම්බේ වතුයායේ පදිංචි ටී. මීනම්මාට තවමත් අවුරුදු 60ක් වුවද ඇය බොහෝ ලෙඩ රෝග වලින් පීඩා විඳින්නී ය. ඇයත්, ඇගේ ස්වාමිපුරුෂයාත් රැකෙන්නේ වත්තේ සේවයට යන දියණියගෙන් ය. දියණියට ද දරුවන් තිදෙනෙකි. මීනම්මා වඩාත් ආකර්ශනය වී ඇත්තේ දෛනික වැටුප් වර්ධනය සම්බන්ධයෙන් වරින් වර ලබා දුන් ඡන්ද පොරොන්දු වලටය. “වත්තේ වැඩට ගියාම දවසකට ලැබෙන්නේ රුපියල් දාහක් විතරයි. ඒක දෙන්නෙත් දලු කිලෝ විස්සක් කැඩුවොත් විතරයි. ඒත් වැස්ස දවසට කිලෝ විස්සක් කඩන්න බෑ. අවුරුද්දෙ වැඩි කාලයක් මෙහේට වහිනවා. දැන් පෝරත් ගණන් නිසා ඉස්සර වගේ හොඳට පෝර දාන්නෙත් නෑ. ඒක නිසා දලු අඩුයි. කිලෝ විස්සට වඩා අඩු වුණොත් රුපියල් දාහක් ලැබෙන්නේ නැහැ. ළමයි තුන් දෙනෙකුත් ඉස්කෝලෙ යවලා හත් දෙනකුට කන්න බොන්න රුපියල් දාහම හම්බුනත් ඇති ද කියලා බලන්නකො. අද ගිහින් බඩුවක් ගන්න මිලට හෙට ගන්න බෑ. දවසින් දවස බඩු මිල වැඩි වෙනවා. ඒත් එක්ක අපේ ජීවිත පහළට යනවා. අපිට කොහොම වුණත් පුංචි දරුවන්ගේ පිඟානට වැටෙන බත් ටිකත් එන්න එන්නම අඩු කරන්න වෙන එක ගැන තමයි හිතට දුක. අපි නම් කහට කෝප්පයක් බීලා හරි බඩගිනි නිවාගන්න පුළුවන්. පුංචි අයට එහෙම කරන්න බෑනෙ. මෙහේට ඡන්දෙ ඉල්ලන් ආව හැමෝටම මම මේ ප්‍රශ්නෙ කියලා තියෙනවා. කම්කරුවන්ගේ වැටුප් වැඩි කරනවා කියලා ඡන්ද ටික අරන් ඊට පස්සෙ සද්ද නැතුව ඉන්නවා. අපිට බොරු කියලා ගිහින් වතු සමාගම්වල අය එක්ක එයාලා මිත්‍ර සමාගම් පවත්වනවා.”

ඇය වැටුප් වර්ධක පිළිබඳ බලාපොරොත්තු සහගතව පසු වූවාට කම්කරුවන් වතුකරයට සීමා කිරීමට වතු සමාගම්වලට හැකි වන්නේ අවම වේතනයක් ගෙවීමෙන් පමණි. මන්ද වැටුප් වර්ධකයක් යනු සෑම අතින්ම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ළඟා කරගත හැකි සාධකයකි. පෝෂදායි ආහාර, අධ්‍යාපනය, නිවාස ආදී මූලික අවශ්‍යතා පවා තමන් රුචි ආකාරයට සපුරා ගැනීමට හැකි වන්නේ ප්‍රමාණවත් තරම් වැටුපක් ලදහොත් පමණි. වතු කම්කරුවන්ගේ අවම වැටුප නිසා මුලින්ම කප්පාදු වන්නේ වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනයයි. එම වතු වලම දෙමව්පියන් සමග සේවය කිරීම හෝ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ගෘහස්ථ කම්කරුවන් ලෙස සේවයට යොමු වීම හෝ තෝරා ගන්නේ ආර්ථික දුෂ්කරතාවන්ට පිළියමක් ලෙසය. එවැනි අපහසුතා මධ්‍යයේ ඉතා දුෂ්කර ජීවිත ගත කරන මිනිසුන් ලෙහෙසියෙන් රවටා ගත හැකි බවට දේශපාලකයන් කල්පනා කරනවා වන්නට ඇත.

උදව්වට හිලව් කරන මනාප

එස්. රාමසාමි ජීවත් වන්නේ ලුණුගල හෝප්ටන් වත්තේ ය. අවසන් වරට පැවැත් වූ මැතිවරණය සඳහා ඒ ප්‍රදේශයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට මනාප ලබා දීමට හේතු වී තිබෙන්නේ ඔහු සේවය කරන කෝවිලට ටකරන් කිහිපයක් ලබාදීමත් වත්ත දක්වා වැටුණු අඩි තුනක පමණ පළලින් යුතු මාර්ගය කොන්ක්‍රීට් කිරීමත් ය. රාමසාමි පමණක් නොව වත්තේ වෙසෙන සියල්ලෝම ඔවුන්ගේ මනාප ලබා දී ඇත්තේ මැතිවරණය පැවැත්වෙන්නටත් පෙර ඔවුන්ගේ මාර්ගය සහ කෝවිල ගැන සොයා බැලීමට කෘතගුණ සළකන්නටය. “අපේ වත්තට මොනවා හරි දෙයක් කරනවා නම් අපි ඡන්දෙ දෙනවා. හැමෝම දෙනවා දෙනවා කියනවා විතරයි. කවුරුත් දෙන්නෙ නෑ. එහෙම එකේ කවුරුම හරි ඇවිත් පොඩි දෙයක් හරි කළොත් අපි ඉතින් එයාට සළකන්න එපැයි. කවුරුහරි ගමට ආවම අපි කියන්නේ ඡන්දෙ ඕන නම් මේ දේවල් කරන්න කියලා. සමහර අය අපි කියන දේවල් කරනවා. මේ කෝවිලේ ගොඩක් දේවල් කරගෙන තියෙන්නේ ඡන්දෙට කලින් ගමට ආව අයගෙන්. ඡන්ද දිනලා ඇවිත් කරන්නම් කියන ඒවා ගැන අපිට විශ්වාසයක් නෑ කොහොමත්. ඒවා කරන්නෙත් නෑ. අපි බලන්නෙ ඡන්දෙට කලින් පොඩි වැඩක් හරි කරගන්න. එහෙම කරන අයට අපි අපේ ඡන්දය දෙනවා.” ඡන්ද අපේක්ෂකයන්ට අවශ්‍ය වන ආකාරයටම ඡන්ද දායකයන්ගේ සිතුවිලි ද පටු වී ඇති බව රාමසාමිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. මැතිවරණය පැවැත්වෙන්නට පෙරාතුවම යම් යම් ද්‍රව්‍ය ආධාර ලබා දීම් සිදු කර මනාප කොල්ලකෑම පිළිබඳ රාමසාමිලාට එතරම් අවබෝධයක් නැත. බලය ලැබෙන්නටත් පෙර සිටම මුදල් විසි කරන්නේ කුමක් නිසා ද යන්න සොයා බැලීමට ද රාමසාමිලාට වුවමනාවක් නැත. මුදල් විශුද්ධිකරණය පිළිබඳව හෝ කළු සල්ලි පිළිබඳව හෝ රාමසාමිලාට වැඩක් නැත. කප්පරක් ප්‍රශ්නවලින් එකක් හෝ විසඳෙනු දකින්නට පමණක් රාමසාමිලාට අවැසිය.

වතුකරයට අවැසිම මැතිවරණ සාක්ෂරතාව

වතුකරයේ මැතිවරණ සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක ඇති බව මොවුන්ගේ අදහස්වලින් අවබෝධ කරගත හැකිය. දිගින් දිගටම රැවටීමට ලක් වීමට එය ද හේතු වී ඇත. වතුකරයේ ජනතාවගේ මැතිවරණ සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කරන තරුණ කණ්ඩායමක තරුණියකගෙන් අපි ඒ පිළිබඳ විමසුවෙමු. “අවුරුදු ගාණක් තිස්සේ දිගින් දිගටම අපේ දෙමව්පියෝ දේශපාලකයන්ට රැවටෙනවා. අපේ ජීවිත හැමදාම එක තැන පල් වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ නිවැරැදි පාලකයන් තෝරා නොගත් එක. මේ වත්තකට ඇවිත් බොරු ලෙංගතුකමක් පෙන්නුව ගමන් ඒ අයට ඡන්දෙ දෙන්න හිත හදාගන්නවා. ඡන්දෙට කලින් දෙන ටකරන් කොළ දෙක තුන, ගිනි පෙට්ටිය, අරක්කු කාල, බඩු මළු මනාප ගන්න දෙන අල්ලස් කියලා අපේ වැඩිහිටියො දන්නෙ නෑ. වතුකරයේ බොහෝ දෙනකුට මැතිවරණ සාක්ෂරතාවය නැහැ. සමහර අයට මැතිවරණ සාක්ෂරතාව විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ලියන්න කියවන්නත් බැහැ. එහෙම අයට මහා ලොකු ප්‍රතිපත්ති ප්‍රකාශන ගෙනත් බෙදුවට ඒක කියවන්නෙ නෑ. ඒකෙ තියෙන දේවල් නොකළා කියලා ප්‍රශ්න කරන්නෙත් නෑ. ප්‍රශ්න කරන්න ඒ ගැන අවබෝධයක් නෑ. මේ නිසාිශදමඑය ක්‍සඩසජ ඛැ්ටමැ’ අපි හිතුවා මේ සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව දැනුවත් කළ යුතුයි කියලා. මොකද ඉදිරියේ දී මැතිවරණ පැවැත්වෙන්නත් නියමිත නිසා පසුගිය මැතිවරණවල වාගේම දාහක් පොරොන්දු එක්ක ඡන්ද අපේක්ෂකයො වතුකරයට පැමිණේවි. ලාංකික පුරවැසියන්ට හිමි වන වරප්‍රසාද හා අයිතිවාසිකම් පමණයි අපිට අවශ්‍ය වන්නේ. අපි එදා සිටම ඉල්ලීම් කරන්නෙත් අනෙක් පුරවැසියන්ට ලැබෙන, ලබා දෙන අයිතිවාසිකම් අපිටත් ලබා දෙන්න කියලා. ඒත් ඒ වෙනුවට හැමදාම වෙන්නෙ වෙනත් සිල්ලර පොරොන්දුවලට මනාප හොරකම් කරන එක. අපි මෙවර උත්සාහ කරන්නේ මනාප ගන්න අල්ලස් දෙන අයට ඡන්දය ලබා දෙන එක නතර කරන්න. මේ දින වල බදුල්ල, මොණරාගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් කිරීම් සිදු කරනවා.‘Youth Civic League’හි එස්. පුෂ්පාංජලී පවසන්නී ය.

වතුකරයේ දේශපාලකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ට අවැසි වන්නේ වතුකරය සුර පුරයක් කිරීමට නොවේ. ඔවුන්ට පෙර සිටත්, මේ වන විටත්, ඉදිරියේදීත් අවැසි වන්නේ වතුකරයේ දුක් කඳුළු මතින් සුර සැප විඳින්නට ය. ඒ වෙනුවෙන් වතුකරයේ සුර පුරයක් මවා පෙන්වීම ඔවුන්ට කවදත් හුරු පුරුදු ය. වතුකරයේ පමණක් නොව ගැටලු ඇති ඕනෑම තැනක දී ඔවුන් හැසිරෙන්නේ එසේය. වතුකරයේ ජනතාව පමණක් නොව සියලුම ලාංකිකයන් එය අවබෝධ කරගෙන සිටින්නේ නම් දිගින් දිගටම ඔවුන්ගේ සුරංගනා කතාවලට රවටන්නට හැකි වන්නේ නැත.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment