බද්ද සුද්ද කරන්න මහින්දානන්දගෙන් සද්දයක්

303

උපයන විට ගෙවීමේ නව ආදායම් බද්ද බලපානුයේ රාජ්‍ය අංශයේ සියයට පහක් පමණක් වන පුද්ගලයන් 76,166දෙනකුට බව මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09දා) පැවසීය.

මේ වන විට පනවා ඇත්තේ නව බදු ක්‍රමයක් නොව 2019 වසරේ පැවැති බදු යැයි ද හෙතෙම කීය.

කෙසේ වෙතත් මේ වන විටත් බදු ගෙවනුයේ මෙරට පුද්ගලයන්ගෙන් තිස් දහසක් පමණක් බවත් රටේ ප්‍රධාන සමාගම් එක්ලක්ෂ පන්දාහෙන් සමාගම් පහළොස් දහස් හැට නවයක් පමණක් බදු ගෙවීම සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.

බද්ද සුද්ද කරන්න මහින්දානන්දගෙන් සද්දයක්

මෙහිදී මෙරට රුපියල් මිලියන 300ට වැඩි බදු ගෙවන එක් පුද්ගලයකු, මිලියන 50ත් 100ත් අතර බදු ගෙවන තිදෙනකු, මිලියන 50ත් 25ත් අතර බදු ගෙවන 16 දෙනකු, මිලියන 25ත් 10ත් අතර බදු ගෙවන 60 දෙනකු වශයෙන් මිලියන 10ට වැඩිය බදු ගෙවන පුද්ගලයන් සිටිනුයේ 83 දෙනකු පමණක් යැයි ද හෙතෙම කීය.

එසේම මෙම නව බදු පැනවීම සමස්ත රාජ්‍ය සේවකයන් වෙත සිදු කර නැතැයි ද කී ඒ මහතා රාජ්‍ය සේවයේ දාහතර ලක්ෂ අනූතුන්දහස් හාරසීය හැත්තෑ දෙකකින් සියයට 95කටම බද්ද බලපාන්නේ නැති බවත් බද්ද බලපාන්නේ, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ඉංජිනේරුවන් වැනි අයට පමණක් බවත් කීය.

මෙහිදී වරායේ සේවකයන්ගෙන් 10092දෙනකුගෙන් සියයට 47කට මේ බද්ද බලපාන්නේ නොමැති බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් 2691 දෙනකුගෙන් සියයට 20ක් මෙන්ම විදුලි බල මණ්ඩලයේ 20655 දෙනකු අතරින්, සියයට 48කට උපයන විට බදු බල නොපාන බවත් හෙතෙම පැවසීය.

මෙරට විශාලතම වී මෝල් හිමියා, ඉඩම් කැබලි කර විකුණන සමාගම්, සුපිරි වෙළෙඳසල් ජාල විසින් බදු නොගෙවන බව ද මන්ත්‍රීවරයා කීය.

බදු අය කරන්නේ නැතුව කොහොමද රජයක් රටේ වැඩ කරන්නේ යැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා බදු පැනවීම පමණක් නොව ඒවා නිසි පරිදි අය කර ගැනීම ද කළ යුතු යැයි කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment