ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පිළිගන්න බෑ – බිරිඳ ඇතුළු ඥාතීහු උසාවියට කියති

485

වාර්තා දී ඇත්තේ වෘත්තීය අත්හිටුවූ ජේ. එම්. ඕ. කෙනෙක් – ජනාධිපති නීතිඥ කියයි
මුලින් කිව්වේ ගෙල සිරකරලා කියලා දැන් කියන්නේ සයනයිඩ් ශරීරගත වෙලා කියලා

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරි මොහොමඩ් නිසාර් රුහුල් හක් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවල දැඩි පරස්පරතා පවතින බැවින් එකී වාර්තා පිළිගත නොහැකි වාතාවරණයක් උද්ගතවී ඇතැයි දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳ ඇතුළු අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඊයේ (09දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට පැවසීය.

එකී පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුහුල් හක් මහතා අධිකරණයට ඉදිරිපත් කළ මුල් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව එම මරණය සිදුවී ඇත්තේ තන්තුවකින් ගෙල සිරකිරීමක් නිසා බවට පෙන්වා දී ඇතත් පසුව අධිකරණයට ඉදිරිපත් කළ අවසන් වාර්තාව මගින් එකී මරණයට හේතුව සයනයිඩ් ශරීරගත වීමකින් බවට පෙන්වාදී ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මේ දක්වා සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම හා ජනාධිපති නීතිඥවරයා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විමර්ශන අවසන් කොට අවසන් වාර්තාව තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කොට දිනේෂ් සාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් නියෝගය ලබන මාර්තු 8 වැනිදා නිකුත් කිරීමට දින නියම කළාය.

දිනේෂ් සාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස් ඇතුළු ව්‍යාපාරිකයන් සිවුදෙනකු සමග සිදුකළ ව්‍යාපාරික කටයුතුවලදී රුපියල් කෝටි 244 කට අධික පාඩුවක් හා ඔහු නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් මිලදී ගැනීමේදී රුපියල් කෝටි 300 ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්‍ෂක මනෝජ් ගයන්ත මහතා ඊයේ (09දා) අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවේදී සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කළේය.

පෙරකී රුපියල් කෝටි 244ක අලාභයෙන් රුපියල් කෝටි 140 ක් සිදුවී ඇත්තේ බ්‍රයන් තෝමස් මහතා සමඟ සිදුකළ ව්‍යාපාරික කටයුතු නිසා බවත් පිළිවෙළින් එස්. කුගනාදන්, ඊලියන් ගුණවර්ධන හා දීප්ති පෙරේරා යන ව්‍යාපාරිකයන් සමග සිදුකළ ව්‍යාපාරවලදී ඔහුට රුපියල් කෝටි 82, කෝටි 12 හා රුපියල් කෝටි 10 ක සෙසු අලාභයන් සිදුවී ඇති බවත් එම නිලධාරියා විවෘත අධිකරණය හමුවේදී සාක්‍ෂි දෙමින් ඊයේ (09දා) ප්‍රකාශ කළේය.

දිනේෂ් සාෆ්ටර් මහතා පෙරකී ව්‍යාපාරිකයන් සමග සිදු කළ ව්‍යාපාරික කටයුතුවලදී මත ගැටුම් ඇති වී තිබූ බවට හා සාෆ්ටර් මහතා බ්‍රයස් තෝමස් මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නඩුවක් පවරා තිබූ බවටද තොරතුරු අනාවරණය වූ බවද හෙතෙම දිවුරුම් පිට ප්‍රකාශ ලබාදෙමින් අධිකරණයට පැවසීය. මරණකරු අවසන් වරට අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී බොරැල්ලේ පොදු සුසාන භූමිය තුළ ඔහුගේ කාර් රථය තුළ සිටියදී සොයාගත් බවත් එම කාර් රථය එදින පිටස්තර කිසිවකු පැමිණි බවට හෝ අන් කිසිවකු එම මරණය සිදුකළ බවට සාක්‍ෂි අනාවරණය වී නැති බවත් උප පොලිස් පරීක්‍ෂකවරයා සාක්‍ෂි දෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එබැවින් එම මරණය ආහාර සමග සයනයිඩ් විෂ ශරීරගත වීමෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීමට එම නිලධාරියා උත්සාහ දැරූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එම උත්සාහය වැළැක්වීය. එය තීරණය කළ යුත්තේ ගරු අධිකරණය මිස විමර්ශන නිලධාරීන් නොවන බව පැවසූ ජනාධිපති නීතිඥවරයා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවන ලද මරණකරුගේ ලේ සාම්පල තුන තුළ ඇති සයනයිඩ් සංයුතියක් පිළිබඳව රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තා අනුව එය සයනයිඩ් විෂ ශරීරගත වීමක් බවට කිසිසේත්ම පිළිගත නොහැකි වන්නේ යැයිද අධිකරණයට පැවසීය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පසුගිය දෙසැම්බර් 20 වැනිදා සිට මාස 8 ක කාලයකට වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම් කළ රුහුල් හක් මහතාගෙන් ලබාගත් පාශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව වන්නේ යැයිද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කීවේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment