මෙරට වැසියෝ ලෙඩ වෙන්න හරි රුසියෝය. රාජ්‍ය අංශය එහි කප් ගසා යෙහෙන් වැජඹේ. සතියකට දෙකකට වරක්වත් එක ලෙඩ නිවාඩුවක් හෝ නොදැම්මොත් නිකම් ඇඟට “උණ” වගේය. “උණ” ක් නැතත් හිතට හරි නැත. වැඩට ගියත් ලෙඩින් වගේය. මෙවැන්නන් සිටින රටක් අද මේ තත්ත්වයෙන් හෝ තිබීම සතුටට කරුණකි.

එහෙත් ක්‍රීඩා පිටියේ ලෙඩ වීම ඊට හාත්පසින් වෙනස් ය. වෛද්‍ය වාර්තා අවැසිය. පිටිය ලොකු වන තරමට එකී නීති තව තදය. ඒ කියන්නේ ලෝක කුසලාන තරගාවලියක වැනි ලොකු තරගාවලියක “හොරට ලෙඩ” වීම අමාරු වැඩකි. එහෙම වාර්තා නිකුත් කරන්නට නොහැක. එපමණක් නොවේ. වෛද්‍ය වාර්තා නිකුත් කළ ද ඔහු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු ආදේශ කිරීමට ද අනුමැතියක් ගත යුතු වේ. ඒ තාක්ෂණික කමිටුවෙනි.

වසීම් ඛාන්, ක්‍රිස් ටෙට්ලි, හැමන්ග් අමීන්, ගෞරව් සක්සේනා, රසල් ආනෝල්ඩ් සහ සයිමන් ඩූල් යන මහත්වරු මෙවර ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුව නියෝජනය කරති. නායක දසුන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචිතයට ඇතුළත් කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නේ එම තාක්ෂණික කමිටුව වේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය 14 වැනිදා ඒ බව නිවේදනය කර තිබුණි.

දසුන්ගේ ආබාධය මත දනෝ වැපිරූහ විවිධ මත

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ද ඒ අනුව ලෙඩ නිවාඩූ ගත්තේය. එහෙත් දසුන් ගේ නිවාඩුවත් ඉහත කී රාජ්‍ය සේවයේ නිවාඩුවක් වැනි යැයි ඇතැම්හු කීහ. දසුන් මෙසේ ලෙඩ වුණේ දෙවෙනි තරග පරාජයෙන් ද අනතුරුවය. පළමු තරගය ද ශ්‍රී ලංකාව පරාජයට පත් විය. (දසුන් නොමැතිව ගිය තෙවැනි තරගය ද පරාජයට පත් වූයේය.) එම පළමු සහ දෙවෙනි තරගවලදී දසුන් ගෙන් කණ්ඩායමට ලකුණු 80 ක් ලැබිණි. කඩුලු නොලැබිණි. එසේ සිටියදී පසුගිය 13 වැනිදා වාර්තා වූයේ ඔහු ආබාධයකට ලක්ව ඇති බවයි. එමෙන්ම එම ආබාධය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සියල්ල අහිමිව යන බව වාර්තා වූයේය.

දසුන් සුපුරුදු දක්ෂතා නොදක්වන අවස්ථාවක මතු වූ මේ ආබාධය සැබෑ එකක් යැයි ඇතැම්හු නොසිතූහ. එය දස්කම් නොදක්වන දසුන්ව ඉදිරි තරගවලදී කණ්ඩායමෙන් එළියේ තබන්නට “ගහපු ගේමක්” යැයි ඔවුහු කීහ. ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය පැවසූයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ඉන්දියාවේ සිට ආබාධයට අවශ්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන අභ්‍යාසවල යෙදෙන බවයි. එසේම අතිරේක ක්‍රීඩකයකු ලෙස ඔහු ශ්‍රී ලංකා පිල සමඟ ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි ද එම තොරතුරු අනාවරණය කළේය. පාදයේ කලව ප්‍රදේශයේ මස්පිඬු ආබාධයක් හේතුවෙන් ඔහු කණ්ඩායමෙන් ඉවතට ගිය අතර, එය එතරම් බරපතළ ආබාධයක් නොවුණද විවේකය අවශ්‍ය බව වෛද්‍යවරු පැවසූහ. එසේම සති තුනක පමණ කාලයක් දසුන්ට විවේක ගැනීම උචිත බවද වෛද්‍ය මණ්ඩලය සඳහන් කළේය.

එහෙත් පසුගිය 19 වැනිදා දසුන් පැයක පමණ කාලයක් පිතිකරණ පුහුණුවීම්වල නිරත වූයේය. එක්දින ජාත්‍යන්තර තරග 69 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති දසුන් ශතක 2 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 1284 ක් රැස්කරමින් කඩුලු 27 ක් බිඳහෙළා ඇත. ඔහු ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායකත්වයට පත් වූයේ 2021 ජූලි මාසයේදී ය. ඔහු යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ඉහළම ජයග්‍රහණය වන්නේ 2022 ආසියානු කුසලානය දිනා ගැනීම වේ.

දසුන්ගේ ආබාධය මත දනෝ වැපිරූහ විවිධ මත

දසුන් ආබාධයට ලක් වූ කතාව පිළිබඳව පෙන්වන්නට ඇති එකම සාක්ෂිය වන්නේ ඔහු පිළිබඳව නිකුත් කළ වෛද්‍ය වාර්තාව සහ අයිසීසීය විසින් දසුන් පිළිබඳව නිකුත් කරන ලද වාර්තාවයි.

තතු දැන හෝ නොදැන විවිධ මත වපුරුවන්නෝ සමාජයේ වන අතර ඒ මත යැපෙන අනුගාමිකයෝ ජාලයක් ද වෙති. බොරුව වුවද සිය වතාවක් කියනවිට ඇත්තක් වේ. දසුන් ගේ ආබාධය පිළිබඳව ගෙතුණු අසත්‍යය තවමත් ශ්‍රී ලංකා සමාජයේ පැතිර යමින් ඇත. ලෙඩක් නැතිව ඔහු නායකත්වයෙන් පමණක් නොව කණ්ඩායමෙන්ද ඉවත් කර තැබීම පිණිස “බොරු ලෙඩක් මැව්වා” යැයි කියති.

කොහොමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තු කිහිපයක් ලෝක කුසලාන තරගාවලිය ආසන්නව තිබියදී ලෙඩ ඇඳට වැටුණාහ. දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග ඒ අතර ප්‍රමුඛයෝ වූහ. එහෙත් පසුගිය 20 වැනිදා දුෂ්මන්ත චමීර ඉන්දියාව බලා පැමිණියේය. ඒ තනිවම නොවේ ය. ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද සමගය. ඔවුහු පළමුව සංචිතයේ අතිරේක ක්‍රීඩකයෝ ලෙස එක් වෙති. ප්‍රධාන සංචිතයට එකතු වීමට නම් එහි ක්‍රීඩකයකු ආබාධයට ලක්ව කණ්ඩායමෙන් එළියට යා යුතුය. චමීර ඉන්දියාවට එන විටත් මතීෂ පතිරණ ආබාධ ලැයිස්තුවේ සිටියේ ය.

කොහොමත් මේ තරගාවලිය නායකයන්ට එතරම් හොඳ නැත. මේ වසරේ අප්‍රේල් මස ඇරඹි එල්පීඑල් තරගාවලියේ පළමු තරගයේ දීම ආබාධයට ලක් වූ නවසීලන්ත නායක කේන් විලියම්සන් ඊට පසුව පැමිණියේ ලෝක කුසලාන තරගාවලියටය. එහෙත් ලෝක කුසලාන තරගාවලියේ ද පළමු තරග දෙකට සිය ආබාධය මත ක්‍රීඩා නොකළ විලියම්සන් ලකුණක් කරා දිව යෑමේදී අතේ පන්දුවක් වැදීමෙන් යළි ආබාධයකට ලක් වූයේය. එවර පිටියෙන් ඉවත් වූ ඔහු ඊළඟ තරගයට ක්‍රීඩා කළේද නැත. බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ද ආබාධයක් හේතුවෙන් ඉන්දියාව සමග තරගයට සහභාගි නොවූයේය. මේ වනවිට තරගාවලියේ හතරෙන් එකක් පමණ අවසන් වී ඇත. දසුන් පසුගියදා පෙන්නුම් කළ සිය ශාරීරික යෝග්‍යතාවය ඉදිරියට ද පෙන්නුම් කරන්නේ නම් ඔහු යළි ලෝක කුසලාන පිටියේ දකින්නට හැකි වනු ඇත. එහෙත් කවුරු නායකයා වුවද කවුරු කණ්ඩායමට එකතු වූවද ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය ජයග්‍රහණ පමණි. නිදහසට හේතු නොවේ.

කුෂාන් සුබසිංහ
ලක්නව් නුවර සිට

advertistmentadvertistment
advertistmentadvertistment