බරණ ඝාතක සැකකාර කොස්තාපල්ගේ වැඩ තහනම්

206

නාමල් උයන රක්ෂිතය සහ අවට ප්‍රදේශවල සැරි සැරූ ‘බරණ’ නම් දළ හස්තියා විදුලි සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණ නියෝග මත දැනට ඇප මත මුදාහැර සිටින මෙම අපරාධයේ ප්‍රධාන සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර මහතා ලබාදුන් නියෝගයකට අනුව සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතා විසින් වැඩ තහනම් කිරීම සිදුකර තිබිණ.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු වන හේරත් මුදියන්සේලාගේ අජිත් කුමාර ජයසුන්දර නමැත්තාගේය. සැකකාර පොලිස් කොස්තපල්වරයා පසුගිය ජූලි 31 දා සිට අගෝස්තු 06 දා දක්වා පලාගොස් සැඟව සිටි අතර පසුව ඔහු ඉකුත් 6 වන දා ගල්කිරියාගම වනජීවී කාර්යාලයට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. විදුලි සැර වැදීමෙන් හෘදය වස්තුවට සිදුව ඇති බලපෑම ඇතාගේ මරණයට හේතුව බව බරණ දළ ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වනජීවී පශූ වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ලබාදුන් වාර්තාවේ සඳහන්ව තිබිණ.

මෙම අපරාධයට අදාළ නඩුව ලබන සැප්තැම්බර් මස 1 වන දින යළි කැකිරාව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා හමුවේ කැදවීමට නියමිතය.

ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රේමසිරි විතානගේ මහතාගේ උපදෙස් මත වන සත්ව අඩවි සහකාර එච්. එම්. එස්. බංඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බරණ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment