කොටුවේ හෝටලයේ වැසිකිළියෙන් ජීව උණ්‌ඩ 205 ක්‌ හමුවේ… ප්‍රහාර සැලසුමකට ගෙනාවේදැයි සැකයක්‌

483

කොළඹ කොටුවේ බි‍්‍රස්ටල් වීදියේ පිහිටි බි‍්‍රස්ටල් ගොඩනැගිල්ලේ සිව්වැනි මහලේ වැසිකිළියක සඟවා තිබූ ටී. 56 ජීව උණ්ඩ ඇතුළු ජීව උණ්ඩ තොගයක් කොටුව පොලිසිය මගින් ඊයේ (14 වැනිදා) දහවල් සොයාගෙන ඇත.

කොළඹ කොටුවේ ප‍්‍රධාන පෙළේ ආර්ථික මර්මස්ථාන රැසක් පිහිටි අධි ආරක්ෂිත කලාපයක මේ ආකාරයට ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීම ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් බව පොලිසිය පවසයි.

බි‍්‍රස්ටල් ගොඩනැඟිල්ලේ සිව්වැනි මහලේ වැසිකිළියක සඟවා තිබියදී සොයාගත් ජීව උණ්ඩ අතර ටී. 56 ජීව උණ්ඩ 176 ක් මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 29 ක් ඇති බව පොලිසිය පවසයි.

මෙම ජීව උණ්ඩ තොගය මාස කීපයකට පෙර මෙම ස්ථානයට ගෙනවිත් සඟවා තබන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

බි‍්‍රස්ටල් ගොඩනැඟිල්ලේ සිව්වැනි මහලේ කාමර 12 ක් ඇති අතර එහි එක් වැසිකිළියක් ඇති බව පොලිසිය පවසයි. මෙම වැසිකිළිය සහ ඒ අවට ප‍්‍රදේශය පසුගිය මාස කිහිපය පුරා සුද්ධ පවිත‍්‍ර කර නැත. කොවිඞ් වසංගතය නිසා මෙම ගොඩනැඟිල්ලේ බොහෝ කාර්යාල පසුගිය මාස කිහිපයේ වසා දමා තිබී ඇත.

ඊයේ දහවල් සේවකයන් කිහිප දෙනෙකු මෙම සිව්වැනි මහලේ ශුද්ධ පවිත‍්‍ර කරමින් සිට ඇති අතර වැසිකිළියට යාබදව පිහිටි බිත්තියක් අතර සඟවා තිබූ ජීව උණ්ඩ තොගය හමුවී තිබේ.

සිද්ධිය සැලවූ වහාම එහි ගිය කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ මහතා ඇතුළු නිලධාරීහු මෙම ජීව උණ්ඩ තොගය සිය භාරයට ගෙන විමර්ශන කටයුතු ආරම්භ කළහ.

මෙම ජීව උණ්ඩ සියල්ල පාවිච්චියට ගත හැකි අලූත්ම තත්ත්වයේ පවතින ඒවා බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් බි‍්‍රස්ටල් ගොඩනැඟිල්ලේ ආරක්ෂකයන්ගෙන් සහ සේවකයන්ගෙන් පොලිසිය මේ වනවිට ප‍්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

ගොඩනැඟිල්ලේ ඇති සීසීටීවී කැමරා පද්ධතිය ද පරීක්‍ෂා කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

කොටුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර ලියනගේ සහ කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment